සරසවි ඇදුරන් රට හැර ය‍යි

සරසවි ඇදුරන් රට හැර ය‍යි


සරසවි ඇදුරන් රට හැර ය‍යි

(06.05.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක ඊයේ (05) දින ප්‍රකාශකර තිබෙනවා.

පසුගිය වසර පහට (5) සාපේක්ෂව පසුගිය මාස කීපයේ විශ්වවිද්‍යාල ආචාර්යවරු රට හැරයෑමට පටන්ගෙන ඇති බවත් රජය වහාම මැදිහත් වී විවෘතව සාකච්ඡා කර මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය යුතුව ඇති බවත් ඔහු කියා සිටියා.

මෙසේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැරයෑම වැඩිවීමත්, එසේම රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් නොකිරීමට රජය ගෙන ඇති තීරණයත් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය බලවත් දෙදරීමකට ලක්ව තිබෙනවා.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 150 ක් පමණ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය පුරප්පාඩු 100 ක් පමණ පවතින බවත් ඇතැම් විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශවල අවශ්‍ය දේශන පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් ආචාර්යවරුන් පිරිසක් නොසිටින බවයි හෙතෙම තවදුරටත් කියා සිටින්නේ.

රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමය නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට 36% පමණ බදු බරක් පැටවී තිබෙනවා.

නමුත් තම වැටුපට ගැලපෙන ලෙස වියදම් කළමනාකරණය කරගෙන තිබුණත් මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසා කලින් ගෙවූ බදු මුදල මෙන් තුන් (3) ගුණයක බදු මුදලක් දැරීමට සරසවි ආචාර්යවරුන්ට සිදුව තිබෙනවා.

මේ අනුව ඇතැම් ආචාර්යවරුන්ගේ වැටුප ඝෘණ තත්ත්වයටත් පත්ව තිබෙන අතර රට හැරයෑම හැර වෙනත් විකල්ප නොමැති බවයි සමිති සම්මේලනයේ සභාපති වැඩිදුරටත් කියා සිටින්නේ ෴


ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

(06.05.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

ඉරාන ජනරජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රදානය කර තිබෙනවා.

ඉරාන තානාපති හෂිම් අෂිද් විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත එම අමාත්‍යාංශයේදී භාරදීම සිදුවුනා.

මෙම පරිත්‍යාගය යටතේ මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ රැසක් හිමිව තිබෙන අතර අතර පිළිකා, හෘද රෝග, සමේ රෝග, වෛරස් ආසාදන, අධි රුධිර පීඩනය, පාකින්සන්ස් ආදී බොහොමයක් රෝග සඳහා වන ඖෂධ ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

වත්මන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි අත්‍යවශ්‍ය ඖෂධ රැසක් එකවර ලැබීම විශාල සහනයක් බවත් ඒ වෙනුවෙන් ඉරාන් ජනතාව ඇතුළු ඉරාන ජනරජයට ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් මහත් සේ ස්තුතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා ෴


හපුතලේ දී ඉන්ධන බවුසරයක් පෙරළෙයි

(06.05.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

හපුතලේ – බත්ගොඩ ප්‍රදේශයේදී ඉන්ධන රැගත් බවුසරයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයකයා තුවාල ලබා හපුතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන්ධන ලීටර් 33,000 ක් රැගත් මෙම බවුසර් රථය අද (06) අළුයම මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

ඉන්ධන අඩංගු බවුසරය නිවසක් මතට පෙරළී ඇති අතර ඒ හේතුවෙන් නිවසටද දැඩි හානි සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් නිවැසියන්ට හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම බවුසරයෙන් ඉන්ධන කාන්දුවෙමින් පවතින අතර ඒවා එක් රැස් කර ගැනීම සඳහා ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

+


විදේශීය රටකට පලා යාමට තැත් කළ පිරිසක් මන්නාරමෙන් හසුවෙයි

(06.05.2023 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම පොලිස් වසමේ ඉස්මොක්කන් තුරෙයි කුඩුව අසලදී ඊයේ (05) දින නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා යාමට තැත් කල සැකකරුවන් 04 ක් හා සැකකාරියන් 02 ක් මන්නාරම නාවික හමුදා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස අවුරුදු 07 ක් හා 14 ක පිරිමි දරුවන් දෙදෙනෙක් (02), අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙක් (01) සහ වයස අවුරුදු 16 ක් හා 37 ක් පසුවන කාන්තාවන් දෙදෙනෙකු (02) ද වනවා.

ඔවුන් වවුනියාව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින්.

වයස අවුරුදු 38 ක බෝට්ටුවේ රියදුරු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔවුන් ගමන් ගත් බෝට්ටුව නාවික හමුදාව භාරයේ ඇති අතර රැගෙන ගිය ඉන්ධන හා අනෙකුත් උපකරණ මන්නාරම පොලිස් ස්ථානයට භාරදි තිබෙනවා.

සැකකරුවන් අද (06) දින මන්නාරම ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්දිය සම්බන්දයෙන් මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි ෴


‘හොරා පොලිස්’ තරුණයා පොලිස් අත්අඩංගුවට

(06.05.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

‘රක්ෂක අමත්‍යාංශය’ලෙස සඳහන් කළ පොලිස්පතිවරයාගේ අත්සන හා නිල මුදා සහිත ව්‍යාජ හැදුනුම්පතකින් රහස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අලවතුගොඩ, දෙල්ගස්ගොඩ පදිංචි වයස අවුරුදු 29 වන තරුණයෙකු බව සඳහන්.

පහර දීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලිස් භාරයට ගත් අවස්ටථාවේ දී ඔහුගේ මුදල් පසුබිමේ තිබී මෙම ව්‍යාජ හැදුනුම්පත සොයාගෙන තිබෙනවා.

මේ හැරුණු විට පුද්ගලික රහස් පරීක්ෂක සේවය නමින් සකස් කළ තවත් ව්‍යාජ හැදුනුම්පතක් මෙම පුද්ගලයා සතුව තිබී ඇති බව සඳහන්.

පොලීසියට ඇති ආසාව නිසා තරුණයා මෙම ව්‍යාජ හැදුනුම්පත සකස් කර අති බවයි ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ප්‍රකාශකර සිටියේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.

+


පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ මූල්‍ය වංචාවක්

(06.05.2023 – 10:55 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කණිෂ්ඨ නිළධාරින්ගේ සංගමයේ අවන්හලට මත්පැන් මිලදී ගැනීමේ දී රුපියල් ලක්ෂ හතළිස් හතරක (44,00,000) වංචාවක් සිදුව ඇති බව සංගමයේ විධායක නිලධාරීන් විසින් එම සංගමයේ සභාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

වසරක (1) කාලයක් තුළ දී මෙම මුදල් ප්‍රමාණය අතුරුදන් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ගිණුම් වාර්තා නිසි ලෙස පවත්වා නොයාම, නිසි පරිදි බිල්පත් නිකුත් නොකිරීම යන කරුණු මෙම වංචාවට මූලික හේතු වී ඇති බවයි විධායක නිලධාරීන් සභාපති අභිමුව ප්‍රකාශකර ඇත්තේ ෴


වෙළඳපොලේ ‘කීරි සම්බා’ හිඟයක්

(06.05.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ කීරිසම්බා හිඟයක් පවතින බව සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදක සංගමය පවසනවා.

එහි සභාපති ඩී.කේ. රංජිත් කියා සිටියේ මෝල් හිමියන් රජයේ පාලන මිල ඉක්මවා කිරී සම්බා අලෙවි කිරීම නිසා එහි මිල රුපියල් 25 ත් 30 ත් අතර අගයකින් ඉහළ ගොස් ඇති බවයි ෴


පහරදීමට එරෙහිව පාරිභෝගික නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක

(06.05.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පළ කරමින් ලබන සඳුදා (08) දිවයින පුරා සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය’ පවසනවා.

එහි සභාපති කෝසල රංගනාත් කියා සිටියේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වන බවයි.

නාරම්මල ප්‍රදේශයේ සත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදී තිබුණේ පසුගිය මැයි 04 වනදායි.

සිද්ධිය සම්බන්ධයෙන් ගොවිපලේ හිමිකරු ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴


“වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒමට යොදාගත හැකියි” – පවිත්‍රා

(06.05.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

සිය දිවි දෙවෙනිකොට රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බවත්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි පවසනවා.

අමාත්‍යතුමිය මේ බව පැවසුවේ පසුගිය මැයි 04 වන දා ගිරිතලේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් අභිනවයෙන් විවෘත කරමින් පැවති උත්සවයේදී පැමිණ සිටි පිරිස අමතමින්.

මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 1,050 ක් පමණ වැයකොට ඇති අතර ඒ සඳහා ඇමරිකානු ආධාර (USAID) හිමිවී තිබෙනවා.

සිය දිවිය දෙවැනිකොට රාජකාරිකරන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය වෙනුවෙන් සහතිකයක් ලැබිය යුතු බවත්, එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවත් අමාත්‍යවරිය කියා සිටියා.

තමන් අමාත්‍යධුරය ලබාගෙන මාස තුනකට (3) ආසන්න කාලයක් තුළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලු රාශියක් විසඳීමට කටයුතු කළ බවත්, එම නිලධාරීන් තෘප්තියෙන් සිය රාජකාරි නොකරන්නේ නම් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බව‍යි ඇය එම අවස්ථාවේ ප්‍රකාශ කර තිබෙන්නේ.

වනජිවී දෙපාර්තමේන්තුව රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ දෙපාර්තමේන්තුවක් බවත්, එම දෙපාර්තමේන්තුවටම අනන්‍ය ජීව ගුණයක් පවත්නා බවත්, වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් ආයතනයක් ඇති කරමින් හොඳ පුහුණුවක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් විෂයය භාර අමාත්‍යවරයා ලෙස තමන් සතුටු වන බවත් ඇය පැවසුවා.

මෙම ආයතනය රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, මෙම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු සැසි නොමැති අවස්ථාවලදී යම් මුදලක් අයකරමින් භාහිර පාර්ශවයනට දිය හැකි නම් එමගින් එදිනෙදා නඩත්තු කටයුතු කරගෙන යාමට හැකියාව ඇති බවයි එතුමිය තවදුරටත් කියා සිටියේ.

අභිනවයෙන් විවෘත කළ වනජීවී පුහුණු ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයටම සුවිශේෂී සම්පතක් බවත්, මෙම පුහුණු ආයතනය තුළ විදේශ නිලධාරීන් පුහුණු කිරීමේ මට්ටමට පවත්වාගෙන යාමට හැකි වුවහොත් අපරටේ ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත්, එම අවස්ථවය එක්වෙමින් අමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියා ෴


සමස්ත ලංකා සෆාරි සංගමයෙන් ඉල්ලීමක්

(06.05.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)

සංචාරක නැරඹුම් ස්ථානවල ඩොලර්වලින් ගණුදෙනු කිරීමට හැකිවන පරිදි ක්‍රමවේදයක් අවශ්‍ය බව ‘සමස්ත ලංකා සෆාරි සංගමය’ පවසනවා.

එම සංගමය මේ සම්බන්ධව නිසි ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් ද සිදුකර තිබෙනවා.

එහි සභාපති සුමේධ ගීත් බණ්ඩාර පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ ද අවධානය යොමුවිය යුතු බවයි ෴


‘කුඩු අංජු’ගේ සමීපතමයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(06.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් ‘රත්මලාන කුඩු අංජු’ගේ ගෝලයා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ සැකකරු ඊයේ (05) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

34 හැවිරිදි වීරවිල ප්‍රදේශයේ පදිංචි සැකකරු බණ්ඩාරගම – වැල්මිල්ල ප්‍රදේශයේදි පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *