විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් රජයට අයවිය යුතුයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් රජයට අයවිය යුතුයි


විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් රජයට අයවිය යුතුයි

(03.05.2023 – 22:38 +0530 – hirunews.lk/sinhala)

උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වී යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් රුපියල් කෝටි 200 කට ආසන්න මුදලක් රජයට අයවිය යුතු බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කෝප් කමිටුවේ දී අනාවරණය කළා.

2022.12 වන මාසය වන විට රුපියල් කෝටි 200 ක් අය කර ගැනීමට ඇති බවයි ඔවුන් අනාවරණය කළේ.

වැඩිම ආචාර්යවරුන් පිරිසක් විදෙස් ගත වී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බවත් වැඩිම මුදලක් අය කර ගැනීමට ඇත්තේ කැළණිය විශ්ව විද්‍යාලයෙන් බවත් කෝප් කමිටුව වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව කැළණිය විශ්ව විද්‍යාලයෙන් රුපියල් මිලියන 237 ද නැගනහිර විශ්ව විද්‍යාලයෙන් රුපියල් මිලියන් 188 ක් ද වශයෙන් අය කර ගැනීමට ඇති බවයි එහි දී අනාවරණය වුණේ.

ආචාර්යවරු 617 කට අධික පිරිසක් මෙලෙස විදෙස් ගත වී පැමිණ නැති බවත් ඔවුන්ගෙන් අය කර ගැනීමට ඇති මුදල රුපියල් බිලියන 2 ට ආසන්න බවත් කෝප් කමිටුව සඳහන් කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ සඳහන් කළේ අදාළ ආචාර්යවරුන්ගේ ඇපකරුවන්ගෙන් හෝ මුදල් ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

+


ණය නොගෙවීම් ඉහලටම.. ව්‍යාපාර අවදානමේ.. දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ගැන බැංකු සංගමයෙන් රතු නිවේදනයක්..

(03.05.2023 – 22:22 +0530 – lankacnews.com)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරමින් යන වැඩපිළිවෙළ අනුව සිදු කිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකු සංගමය සිය මතය ඉදිරිපත් කරයි.

එම සංගමය විසින් ඒ පිලිබදව නිකුත් කර ඇති සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනය මෙසේය :

ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඒ සම්බන්ධයෙන් බැංකු ක්ෂේත්‍රයට ඇති ගැටලු

ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර, එය මෙරට ආර්ථිකයේ සියලු අංශවලට අත්වැලක් සපයයි. බැංකු ක්ෂේත්‍රය යනු, ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවමින් මූල්‍ය වෙළෙඳපොළ සමග සම්බන්ධ වීමට භාවිත කරන ප්‍රධාන යාන්ත්‍රණය වේ. රටේ යහපතට බැංකු පද්ධතියේ ස්ථාවරත්වය අතිශයින් වැදගත් ය.

‘අයවැය ශේෂයේ සහ විදේශ ගනුදෙනුවල දීර්ඝකාලීන හිඟයන් සමඟ, තිරසර නොවන සාර්ව ආර්ථික ආකෘතියක් පවත්වාගෙන යාම හේතුවෙන්, ජාත්‍යන්තර හා දේශීය මූලාශ්‍රවලින් මතු වූ අභියෝග හමුවේ 2022 වසරේ මුල් භාගය වනවිට මෙරට ආර්ථිකයේ ආරක්ෂාව සඳහා යොදා තිබූ සියලු ආරක්ෂක විධිවිධාන භාවිතා කර අවසන් වූ බව’ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට තවදුරටත් ණය වාරික ගෙවිය නොහැකි බවට 2022 අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, ගෙවීම් හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීමේ ක්‍රියාවලිය ආරම්භ විය. මෙම ක්‍රියාවලිය තුළදී, සමාජ හා දේශපාලනික ගැටලු ඇති නොවන ආකාරයට, ප්‍රායෝගික ආපසු ගෙවීමේ ධාරිතා සීමා තුළ ණය ආපසු ගෙවීම ආරම්භ කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා රජයට සහන ලබා දෙන බවට ණය හිමියන් එකඟ කරවා ගැනීම අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂා සහ ණය හිමියන්ගේ අපේක්ෂා යන සාධක සියල්ල සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලිය කළමනාකරණය කිරීම පහසු කාර්යයක් නොවන බව අප පිළිගත යුතු ය. කෙසේ නමුත්, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික බැංකු සමග සිදුකරන ලද සාකච්ඡාවල විනිවිදභාවයක් නොමැති වීම ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය තිරසර මට්ටමකට රැගෙන ඒමේ ක්‍රියාවලියට සම්බන්ධවන සියලුම පාර්ශ්වකරුවන්, එහි ප්‍රතිඵලය පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු බව බැංකු විශ්වාස කරයි. ඉදිරියේදී සිදුවීමට ඉඩ ඇති දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයකදී බැංකු අංශයේ ප්‍රාග්ධනයට සහ ද්‍රවශීලතාවට ඇති විය හැකි බලපෑම හඳුනා ගැනීම සහ ක්ෂේත්‍රයට ඇති විය හැකි අවදානම අවම කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙහිදී අප දැනටමත් පත් වී තිබෙන තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරීමේ අවදානම මගහරවාගත යුතු ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය තුළ බැංකු ක්ෂේත්‍රයට සක්‍රීය භූමිකාවක් ඉටුකිරීමට සිදු වන බව අප මතක තබාගත යුතු වේ. ක්ෂේත්‍රයේ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාත සහ ද්‍රවශීලතා ආවරණ අනුපාත වර්තමානයවනවිට නියාමන අවශ්‍යතා සීමා තුළ පවතී. බැංකුවල ස්ථාවරත්වයට ගැටලු ඇතිවන සහ ජනතාවගේ විශ්වාසය පළුදුවන ආකාරයේ පියවර මගින් මෙම තත්ත්වය නරක අතට හැරීමට අප ඉඩ නොතැබිය යුතු ය.

‘ස්වේච්ඡා’ ණය ප්‍රශස්තකරණය යන්න තවදුරටත් පැහැදිලි කරන මෙන් බැංකු මේ වනවිට ඉල්ලීම් කර තිබේ. එමෙන්ම මෙහිදී ස්වේච්ඡා නොවන තෝරාගැනීමක් තිබේද සහ එය අදාළ වන්නේ කාටද යන්න (විශ්‍රාම දීමනා හා විශ්‍රාම අරමුදල් සහ රජය සතු බැංකු වැනි විශාල භාණ්ඩාගාර බිල්පත් / භාණ්ඩාගාර බැඳුම්කර හිමියන්ට සීමා වේ) මෙන්ම, යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණය සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ නියම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකමට අදාළ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහස කුමක්ද යන්නත්, යෝජිත දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රමවේදය, අපට පෙර එවැනි ක්‍රමවේදයක් භාවිතා කළ රටවලට සමාන වීමට ඉඩ තිබේද යන්නත් බැංකු විසින් රජයෙන් විමසා ඇත.

ජනතාවගේ කලකිරීම්වලට සහ දේශපාලන පෙරළිවලට තුඩුදුන් දැඩි ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රයත්නයන්ට නිරන්තරයෙන් සහයෝගය ලබාදීමට මෙරට බැංකු අතීතයේ පටන්ම කටයුතුකර ඇත. විශේෂයෙන්ම මෑත කාලයේ අයහපත් කාලගුණ තත්ත්ව හේතුවෙන් ඇති වූ ස්වභාවික ආපදා, 2019 පාස්කු ප්‍රහාරය, COVID-19 වසංගත තත්ත්වය, සහ දේශපාලන හා සමාජයීය නොසන්සුන්තා වැනි බොහෝ සිදුවීම් හමුවේ, පොදුවේ තමන්ට අවාසිසහගත කොන්දේසි යටතේ ණය ආපසු ගෙවීම සඳහා සහන ලබාදීම, ශක්‍යතාව සහිත ව්‍යාපාර සඳහා ණය ප්‍රතිලේඛනගත කිරීම සහ අවශ්‍ය ප්‍රතිසාධන විධිවිධාන යෙදීම ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ණය ගෙවීම් පැහැර හැරීම මේ වනවිට ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක වාර්තා නොවූ තරම් ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම මෙම තත්ත්වය හමුවේ ගෙවිය යුතු බදු ප්‍රමාණයන්ද සැලකිල්ලට ගන්නා විට, දැනටමත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව මත ඇති වී තිබෙන පීඩනයට අමතරව ණය ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධ තවත් අමතර පීඩනයක් දැරීමට හැකියාවක් නොමැති අතර, ඒ අනුව තවදුරටත් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ හැකියාව අවිනිශ්චිතවනු ඇත.

අතිශය දුෂ්කර තීරණ ගැනීමට සිදු වී ඇති මෙම අවස්ථාවේදී, බැංකු පද්ධතියේ තිරසාරත්වය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව බැංකු අවධාරණය කර සිටී ෴

++++++++++

කොලේ වහලා ලියූ ‘දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයෙන්’ සිදුවන්නේ කුමක්ද? (04.05.2023)

+


‘පා ච රණවක’ නැවතත් පචමෝල ඇරලා.. ටොම් පච දෙකක් අතෑරලා..

(05.05.2023 – 00:02 +0530 – lankacnews.com)

‘පචයට උපන් පා ච රණවක මැතිතුමා නැවත වතාවක් තම පච මෝල විවෘත කරලා තවත් ටොම් පච දෙකක් අත් හැරලා තිබෙනවා’ යයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“පචයට උපන් පා ච රණවක මැතිතුමා නැවත වතාවක් තම පච මෝල විවෘත කරලා තවත් ටොම් පච දෙකක් (2) අත් හැරලා තිබෙනවා. පළමුව, විමල් මන්ත්‍රිතුමාගේ ‘නවය; සැඟවුණු කතාව’ පොතේ කියන අයුරින් ඇමෙරිකානු කුමන්ත්‍රණයක් අරගලය පිටුපස තිබුණා කියන එක මෙරට ජනතාවට කරන අපහාසයක් බවත් විදුලි කප්පාදුව සහ භාණ්ඩ හිඟය විසින් ජනතාව ආණ්ඩුව එලැවීමට පාරට පැමිණි බවත් එතුමා කියනවා. ඕනෑම ඔළුවක් තිබෙන කෙනෙක් පොතක් ගැන අදහස් දක්වන්නේ ඒ පොත කියවලා. එතුමා පළමු උපාධිය දක්වා ඉගෙන ගත් අයෙකු ලෙස විමල් මන්ත්‍රිතුමාගේ පොතේ පළමු පිටුවේ පළමු ඡේදය කියෙව්වා නම් එයා කියන කතාව කියමින් තමයි පොත පටන් අරන් තිබෙන්නේ කියා තේරුම් ගන්නවා. එතුමා පොත කියවා නැති නිසා මම ඒ ඡේදය කියවන්නම්.

‘ශ්‍රී ලංකාව ස්වකීය ඉතිහාසය තුළ මුහුණ පෑ වඩාත් බරපතල ආර්ථික ව්‍යසනයට මුහුණ දුන්නේ 2022 වසරේ මුල සිටය. 69 ලක්ෂයකට අධික ජනවරමකින් බලය ලද 2/3 ක පාර්ලිමේන්තු බලයකට හිමිකම් පෑ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මෙබඳු ඉරණමක් අත්වීමට සිදු වේ යැයි කිසිවෙකුත් අපේක්ෂා කලේ නැත. මේ නිසාම අපේක්ෂා භංගත්වයට පත් එකී ජනයා මෙම මහ ආර්ථික කඩා වැටීම හමුවේ විෂම මානසිකත්වයකට ගොදුරු බවට පත්වූහ. එම තත්වය ඕනෑම පන්නයේ විරෝධතාවයකට අවශ්‍ය සමාජමය පිටිය නිර්මාණය කර දී තිබිණි. ‘ගාළු මුවදොර අරගලය’ නිර්මාණය කෙරෙනුයේ ඒ අනුවය.’

ආර්ථික අර්බූදය විසින් ජනතාව අරගලයකට තල්ලු කළා. ඒ ගිනියම් වුණු තැටිය ‘ඇමෙරිකානු රොටිය’ පුච්චා ගන්න ජූලි චංග් නෝනා භාවිතා කළා කියන එකයි පොතෙන් කියන්නේ. පොත පටන් අරන් තිබෙන්නේම ඒ කතාව කියලා. ඒ නිසා රණවක මැතිතුමාට ආර්ථික අර්බූදය නිසා ජනතාව පාරට බැස්සා විමල් වැරදියි කියා කියන්න බෑ. නමුත් ඇමෙරිකානු සුරතලෙකු ලෙස කුප්‍රකට රණවක මැතිතුමාට ඇමෙරිකාවට බනින විට නම් සෑහෙන්න රිදිලා තිබෙන බව නම් පේනවා. නමුත් 2014 ට පෙර නම් රණවක මැතිතුමා ඇමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ පුද්ගලයෙකු විධියටයි හිටියේ. ඒ කාලයේ ඇමෙරිකානු අධිරාජ්‍යවාදය ගැන මට කියා දුන්නු මගේ දේශපාලන ගුරුතුමා වුණේ රණවක මැතිතුමා.

ඇමෙරිකාව ආණ්ඩු පෙරලා තමන්ට හිතැති ආණ්ඩු පිහිටුවන්න හමුදා යවන එකට කියන්නේ ‘වෘක මෙහෙයුම්’ කියලා, සීඅයිඒ හරහා දේශීය බලවේග භාවිතා කර ආණ්ඩු පෙරලන එකට කියන්නේ ‘හිවල් මෙහෙයුම්’ කියලා මට කියා දුන්නේ එතුමා. එතුමා මට කියා දුන්නු විධියට ‘සීඅයිඒ පළමු හිවල් මෙහෙයුම’ තමයි 1953 දී තෙල් සමාගම් ජනසතු කළ ඉරාන අගමැති මොහොමඩ් මොසඩෙග්ගේ ආණ්ඩුව පෙරලීම. රූස්වේල්ට් ජනාධිපතිතුමාගේ මුණුබුරා වුණු කර්මිට් රූස්වේල්ට් තමයි ඒ මෙහෙයුම සීඅයිඒ වෙනුවෙන් මෙහෙයවන්නේ.

‘ඇජැක්ස් මෙහෙයුම’ නමින් සිදු කළ ඒ ආණ්ඩු පෙරලිය පිළිබඳ සියළුම රහස්‍ය වාර්තා අවුරුදු 64 කට පසු 2017 ජූනි මාසයේ දී සීඅයිඒ විසින් ප්‍රසිද්ධ කළා. ‘වත්මන් චම්පික’ට ‘අතීත චම්පික’ කියූ කතා විශ්වාස නැති නම් ඇජැක්ස් මෙහෙයුමේ ප්‍රසිද්ධ කළ ලේඛණ අධ්‍යනය කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ විතරක් නොවේ සිඅයිඒ සංවිධානය විසින් නිකරගුවාව, පැනමාව, ග්‍රෙනඩාව සහ ඉතියෝපියාව වැනි රටවල කළ මෙහෙයුම් පවා අද ඒ සංවිධානය විසින්ම පිලි අරගෙන තිබෙනවා. ඒ නිසා ඇමෙරිකාව සුද්ද කිරීමට මාධ්‍ය හමු පැවැත්වීමෙන් සිදු වන්නේ ‘තමන් කාගේ අල්ලේ නැටවෙන රූකඩයක් ද’ කියන එක හෙලි වීම පමණයි කියා අපි පා ච රණවක මැතිතුමාට සිහිපත් කරනවා.

මාධ්‍ය හමු පවත්වමින් ‘පාළු ගෙවල් වල වළං බිඳින්නේ’ නැතිව ඇමෙරිකාව ආණ්ඩු පෙරලීම පිළිබඳ විවාදයකට පැමිණෙන මෙන් මම පා ච රණවක මැතිතුමාට ආරාධනා කරනවා.

+++++++++

‘දේශප්‍රේමි ගම්මන්පිල ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා’ කියා එතුමා තවත් පචයක් කියනවා. 1987 දී ලංකාවේ ජනාධිපති සහ ඉන්දියාවේ අගමැති අත්සන් කළ ගිවිසුමකින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි 99 ම සදාකාලිකව ඉන්දියාව සමග හවුලේ සංවර්ධනය කිරීමට එකඟ වුණා. එහෙම තිබිය දී 2003 දී තෙල් ටැංකි සියල්ලම වසර 35 කට ඉන්දියාවට බදු දුන්නා. එහෙම පසුබිමක දී මම ඉන්දියාව සමග වසරකට වැඩි කාලයක් අඛණ්ඩව සාකච්ඡා කරලා ඒ අය පාවිච්චි කළ තෙල් ටැංකි 14 පමණක් ඒ අයගේ පාවිච්චියට දීලා ඉතිරි ටැංකි 85 න් 35 ක් කෙලින්ම තෙල් සංස්ථාවටත් අනිත් ටැංකි 50 තෙල් සංස්ථාවට බහුතර කොටස් තිබෙන සමාගමකටත් ලබා ගත්තා.

පාච රණවක මන්ත්‍රීතුමා ද ඇතුළුව මෙන්න සියලුම මන්ත්‍රීවරුන්ට ‘තෙල් ටැංකි යළි රටට’ කියන පොත අපි ලබා දුන්නා අප කලේ මොකක්ද කියන එක කියවා තේරුම් ගන්න. එතුමා පොත් කියවන්නේ නම් නැති පාටයි. ‘පොත් පෙරළන එක’ තමයි කරන බව පේන්නේ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු දිරාපත් වෙමින් තිබුණු ඒ ටැංකි දැන් ප්‍රථම වතාවට රට වෙනුවෙන් පාවිච්චි කරන්න අළුත්වැඩියා කරමින් තිබෙනවා. තමන් බලශක්ති ඇමති විධියට කර ගන්න බැරි වුණු දෙයක් අපි කරලා පෙන්නුවාම ඒකට ඉරිසියා නොකර රටට වුණු වාසිය හිතලා සතුටු වෙන්න කියා පා ච රණවක මැතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

මේ තෙල් ටැංකි ගිවිසුම අත්සන් කරන දින වල මම ඒක විවේචනය කරන අයට මා සමග විවාදයකට අභියෝග කළා. තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් සමගත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් සමගත් විවාද දෙකක් (2) කර තෙල් ටැංකි පිලිබඳ තිත්ත ඇත්ත අපි රටට හෙලි කළා. මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙවල් වල වළං බිඳින්නේ නැතිව ඇමෙරිකාව ආණ්ඩු පෙරලීම පිළිබඳ හෝ ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම පිළිබඳ හෝ හරවත් විවාදයකට පැමිණෙන මෙන් මම පා ච රණවක මැතිතුමාට ආරාධනා කරනවා.

දැන් ඉතින් හැමදාමත් කියන ‘ඌරන් මඩට බැහැලා මඩ ගහ ගන්න කතා කළත් අපට ඕවා හුරු නෑ’ වගේ කතා කියන්න එපා. මොකද ඒ කතාව අවුරුදු 25 ක් පරණයි. අපි පාස්කු ප්‍රහාරයේ උණුසුම මැද රවුෆ් හකීම්, රිෂාඩ් බදියුඩීන් සහ අසාද් සාලි වැනි මුස්ලිම් නායකයින් සමග ඉතාම සංයමයෙන් විවාද කරලා අපේ ශික්ෂණය අපි රටට පෙන්වලා තිබෙනවා. තමන්ගේ ‘පච මෝල’ හෙලි වන නිසා තමයි පා ච රණවක මැතිතුමා විවාදයකට ඉදිරිපත් නොවී පාළු ගෙවල් වල වළං බිදින්නේ” ෴

+


නව ත්‍රස්ත පනතේ 82 වන වගන්තියෙන් රනිල් තනිව ජනපතිවරණයට (01.05.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *