සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක්

සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක්


සංචාරක යුවලකට මී මැසි ප්‍රහාරයක්

(03.05.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

“thebuddymoon” නමින් ඉන්ස්ටග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍යයේ ප්‍රකට ලොව පුරා සංචාරයේ යෙදෙන සංචාරක යුවළක් පසු ගිය දා මෙරට සුන්දරත්වය විදීමට පැමිණ තිබුනා.

( https://www.instagram.com/thebuddymoon/ )

ඒ අනුව එම යුවල දෙමෝදර ආරුක්කු නවය පාළම නැරඹීමට ගොස් තිබූ අතර එම අවස්ථාවේදී ඔවුන් මී මැසි ප්‍රාහාරයකට ලක්ව තිබුනා.

එම අවස්ථාවේදී ඔවුන් සමග පැමිණි ත්‍රී රෝද රථ රියදුරු සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම යුවල රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබූ අතර සංචාරක පොලිසියේ නිළදාරීන්ද ඔවුන්ට එම අවස්ථාවේදී සහය වී තිබෙනවා

සිය අත් දැකීම විස්තර කරමින් එම සංචාරක යුවළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබූණේ මෙරට ආගන්තුක සත්කාර ය දැඩි ලෙස ප්‍රශංසාවට ලක් කරමින්.

+++++++++

Swarm of Bees Attack Us on the 9 Arch Bridge in Sri Lanka

+


ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය ඇති කිරීම අභියෝගයක් – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

(03.05.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය ඇති කිරීම තරමක අභියෝගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා සිරිනිවාසන් පවසනවා.

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපීය ආර්ථික දැක්ම ඉදිරිපත් කිරීම වෙනුවෙන් හොංකොං හිදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාප අධ්‍යක්ෂ පැවසුවේ මෙවැනි අදහසක් :

“උද්ධමනය ඉහළ මට්ටම්වල ඉඳන් පහතට ඇවිල්ලා තිබෙනවා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ උද්ධමනය තමයි දිළිඳු ජනතාවට බරපතල ලෙසම පහරදෙන දේ. උද්ධමනය පාලනය කරන්න අවශ්‍ය නම් මූල්‍ය ප්‍රතිපත්ති අතින් එය කළ යුතුයි. ප්‍රතිව්‍යූහගතකරණය ගැන කතා කරද්දි ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ ණය පොලී අනුපාත අස්ථාවර තත්ත්වයකයි තිබුණේ. ඒකයි වැඩසටහන අනුමත කිරීමට පෙර ඔවුන්ට එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සිදු වුණේ. එම ක්‍රියා පිළිවෙත නිල හා පෞද්ගලික සියලුම ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට ඇතුළත්. ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය ඇති කිරීම තරමක් අභියෝගාත්මකයි. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරිමේ දී මූල්‍ය ස්ථාවරත්වය ඇතිවන බවට ශ්‍රී ලංකාව වග බලාගත යුතුයි. මේවා තමයි රජය මේ වෙද්දි කටයුතු කරගෙන යද්දී ඇතිවන අභියෝග. ඒ සම්බන්ධයෙන් වන උපාය මාර්ග අප ඉදිරි පියවරේ දී ඉදිරිපත් කරනවා.”

මේ අතර විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වී තිබෙනවා.

ඒ ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලයේ 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අමාත්‍ය අලි සබ්‍රි මහතා දකුණු කොරියාවේ සියෝල් අගනුවරට ගොස් සිටින අතරතුරයි.

දෙරටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ද්විපාර්ශ්වික සබදතා සහ ආර්ථික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කෙරුණු බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා ෴


ගල්කිස්සේ වෙළඳසැලක කොල්ලකෑමක්

(03.05.2023 – 14:46 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස, පීරිස් පාරේ පිහිටි වෙළඳසැලක් කිසියම් පිරිසක් විසින් කොල්ලකා ඇති බව පොලීසිය පවසනවා.

සැකකරුවන් විසින් වෙළඳසැල් හිමියාට තියුණු ආයුධයකින් පහර දී තර්ජනය කර මෙම කොල්ලකෑම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

එහිදී සැකකරුවන් විසින් පවුම් 28 කට ආසන්න බරකින් යුත් රන් ආභරණ ඊයේ (01) පස්වරුවේ දී සොරාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 60 ක්.

පවුම් 5 ක් සහ 7 ක් බරැති රන් වළලු දෙකක්, පවුම් 12 ක රන් මාලයක්, පවුම් 1 සහ 1.5 බරැති පෙන්ඩන්ට් දෙකක් (2), තවත් පවුම් 1 ක් සහ 1.5 ක් බරැති රන් ආභරණ 2 ක් සොරාගත් රන් භාණ්ඩ අතර වෙනවා.

මීට අමතරව ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 2 ක මුදලක් ද සොරා ගෙන ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය වන අවස්ථාවේ සේවකයින් 8 දෙනෙකු ගබඩාව තුළ සිටිය ද සැකකරුවන් විසින් තියුණු ආයුධය ව්‍යාපාරිකයාගේ ගෙලට තැබීම හේතුවෙන් ඔවුන්ට මෙම කොල්ලකෑම පාලනය කිරීමට නොහැකි වී තිබෙනවා.

කොළ පැහැති ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් ව්‍යාපාරිකයා පැළඳ සිටි රන් ආභරණ මුලින් කොල්ලකා පළා යාමට පෙර මුදල් යන්ත්‍රයේ තිබූ මුදල් ද රැගෙන පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම අපරාධය සිදුකිරීමට යොදාගත් ත්‍රිරෝද රථය මීට දින කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයෙන් අතුරුදන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

තවද කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ (2) අනන්‍යතාව සොයා ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


ජී.ආර්. පෙරේරා අද (03) සමුගනියි

(03.05.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීණ රංගන ශිල්පී ජී.ආර්. පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදු කිරීමට නියමිතයි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (03) පස්වරුවේ යි.

දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැම්පත් කර තිබෙනවා.

කලක් අසනීප තත්ත්වයකින් පෙළුණු ඒ මහතා පසුගිය පළැමුවැනිදා (01) අභාවප්‍රාප්ත වූ අතර, ඔහු මිය යනවිට 84 වියේ පසු වුණා ෴

++++++

+

+


ගානියා බැනිස්ටර්ට එරෙහි චෝදනා සශෝධනය කිරීමට මහාධිකරණයෙන් අවසර

(03.05.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට කොළඹ මහාධිකරණය අද (03) නීතිපතිවරයාට අවසර ලබාදී තිබෙනවා.

ඇයට එල්ලවී ඇති චෝදනාව වන්නේ, 2019 වසරේ නොවැම්බර් මස සුදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් ලිංගික හිරිහැර සිදු කළ බවට පොලීසිය වෙත අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී නීතිපතිවරයා කර තිබූ ඉල්ලීමට අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනිසුරුවරයා අවසර ලබාදුන්නා.

ඉන් අනතුරුව මෙම නඩුව ජුනි 15 වනදා කැඳවීමටයි අධිකරණය නියෝග කළේ ෴


ජූලි මාසයේ දී විදුලි බිලට සහනයක්

(03.05.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

පිරිවැය මත පදනම් වන මිල යාන්ත්‍රණයක් සඳහා කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබූ බව අද (03) කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පැවසුවා.

එහිදී සෑම වසරකම ජනවාරි සහ ජූලි යන මාසවල විදුලි ගාස්තු සශෝධනය කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව එලැඹෙන ජූලි මාසයේ දී විදුලි ගාස්තු සමාලෝචනය කර එම ගාස්තුව සංශෝධනය කිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා ෴


එකම පවුලේ පස්දෙනෙක් සසුන් ගත වෙති

(03.05.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

සිය ස්වාමියාගේ අවසරය ඇතිව බිරිය, පුතුන් තිදෙනා (3) සහ දියණිය (1) සසුන් ගතවීමේ මහා පින්කමක් පසුගියදා (25) රත්නපුර, දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණා.

මෙලෙස සසුන්ගත වූ සියලු දෙනාම අම්පාර නාමල්තලාවේ පදිංචිකරුවන්.

දොඩම්පේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොටපොල සුධම්ම නාහිමිගේ සහ පරකඩුවේ නන්දකල්‍යාණී මෙහෙණින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ පින්කම පැවැත් වූ බවයි වාර්තා වන්නේ.

තිස් අට (38) හැවිරිදි මව සුරේකා සජීවනී නාමල්තලාවේ සෝනුත්තරා නමින් ද, ඇගේ පුතුන් වන 14 හැවිරිදි ඩී. එම්. හර්ෂණ නාමල්තලාවේ සමිත නමින් ද, 09 හැවිරිදි ඩී. එම්. ගගන චන්දිම නාමල්තලාවේ සමිද්ධි නමින් ද, 07 හැවිරිදි ඩී. එම්. තෙනුවර ආකාෂ් නාමල්තලාවේ සුලක්ඛන නමින් ද, දියණිය වන 4 හැවිරිදි ඩී. එම්. යසස්සි නාමල්තලාවේ කවින්ධ්‍යා නමින් ද සසුන් ගත වී තිබෙනවා.

මිල්ලකඩේ චිත්තානන්ද පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, කෘත්‍යාධිකාරි කොටපොල සුධම්ම නාහිමි මේ උත්සවයේ මුලසුන හොබවමින් මෙලෙස අදහස් දැක්වූවා.

“අපේ දායකයන් කොතෙක් පින්කම් කළත් ක්‍රමවේදය කුමක්ද කියා සමහරු දන්නේ නෑ. තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සිටු කුමරියක් හැටියට උප්පත්තිය ලැබුවා. එහිදී අබතෙල් පුජා කර ලැබෙන පිනෙන් බුදු වීම අපේක්ෂා කළා. නමුත් කාන්තාවකට බුදු වීමට නොහැකියි. එසේ වීමට පිරිමි ආත්මයක් ලැබිය යුතුයි. එදා සිටු කුමරිය සිය ස්වාමි පුරුෂයාගෙන් විවරණය ගත්තා. එය සිහිපත් කරමින් මේ විවාහක කාන්තාව සසුන්ගත වීමේදී තම ස්වාමි පුරුෂයාගෙන් විවරණයක් ගත යුතුයි. ඒ ලබන ආත්මයේ පිරිමි ආත්මයක ඉපදීමයි. එම අවස්ථාව මෙහිදී ඉටු කළා. පිරිමියෙක් වූවොත් පමණයි බුද්ධත්වය ලබන්න හැකිවන්නේ. මේ ස්වාමියා ද ඉදිරියේ සසුන් ගත වීමට නියමිතයි.”

මේ පිළිබඳ අදහස් දැක් වූ අදාළ පවුලේ ස්වාමිපුරුෂයා කියා සිටියේ ඔවුන්ට ශක්තිමත් ආර්ථිකයක් ඇති නමුත් බිරිය, පුතුන් තිදෙනා (3) සහ දියණිය (1) සසුන් දිවියට ඇතුළු වීමට ලොකු බලාපොරොත්තුවකින් සිටි නිසා ඒ සඳහා අවසර ලබා දුන් බවයි ෴


සෞදි අරාබියේ දී වධ හිංසාවට ලක්වූ ආදිවාසි තරුණියක් දිවයිනට

(03.05.2023 – 17:32 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් විවිධ වධ හිංසාවන්ට ලක්වූ ආදිවාසි තරුණියක් අද (03) දිවයිනට පැමිණ තිබෙනවා.

හිරු ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ඇය 24 හැවිරිදි තරුණියක් බවයි.

එමෙන්ම ඇය මහියංගණය – දඹාන ආදිවාසි ගම්මානයේ පදිංචිකාරියක් ෴


හදා වඩා ගැනීමට නොහැකි දරුවන් භාර ගැනීමට කවුළු පිහිටුවයි

(03.05.2023 – 17:47 +0530 – hirunews.lk/sinhala)

දරුවන් ඝාතනය වීම, හිරිහැරයට ලක් වීම හා මහමග දමා යාමේ සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් දෙමාපියන්ට හදා වඩා ගැනීමට නොහැකි මාස 3 ට අඩු දරුවන් භාරදීම සඳහා පළාත් මට්ටමින් කවුළු පිහිටුවීමට රජය විසින් තීරණය කර තිබෙනවා.

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ ඊට අදාළ නීති කඩිනමින් සම්පාදනය කරන බවයි.

එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා ළමයින් 80 ක් ඝාතනයට ලක්ව ඇති බවත් තවත් ළමුන් 60 ක් මහ මග අතහැර දමා ගොස් ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

දැනට පවතින නීතිය අනුව දරුවන් අතහැර යන මව්පියන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගගත හැකි බවත් නව සංශෝධන අනුව දරුවන් භාර ගැනීමේ කවුළු වෙත සිය දරුවන් භාර දෙන මව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා බවත් පාරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මෙහි දී ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *