ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ

ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ


ජාතික වෙසක් සතිය අදින් (02) ඇරඹේ

(02.05.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වනවා.

අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රකාශ කළේ වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙන බවයි.

මෙම වසරේ වෙසක් පොහොය මැයි මස 05 වනදාට යෙදී ඇති අතර ජාතික වෙසක් උත්සවය හලාවත මාදම්පේ කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවැත්වෙන බවයි වාර්තා වෙන්නේ.

+++++++++

වෙසක් සමයේ බුදුරුව, බෞද්ධ ධජය, පිරිකර අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

(02.05.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

වෙසක් සමයේ බුදුරුව, බෞද්ධ ධජය සහ පිරිකර අවභාවිත නොකරන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොළඹ නගරයේ වෙසක් තොරණ 5 කට වැඩි සංඛ්‍යාවක් මෙවර ඉදිකෙරෙන බවයි කොළඹ නගර සභාව සඳහන් කළේ.

ඒ අනුව තොටලඟ, දෙමටගොඩ, පිටකොටුව – බෝධිරාජ මාවත, පෙරහර මාවත, බෞද්ධාලෝක මාවත සහ ජනාධිපති කාර්යාලය අසල තොරණ ඉදිකිරීම සදහා අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම, කොළඹ නගර සභා බලප්‍රදේශය ආශ්‍රිතව මේ වනවිට දන්සැල් 60 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, දන්සැල් පැවැත්වීම ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දැනුවත් කිරීම මත සිදුකරන ලෙසයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ.

ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වන අතර, රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමටයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව දිවයින පුරා විහාරස්ථාන මට්ටමින් ආගමික වැඩසටහන් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම කියා සිටියා ෴

+

දියේ ගිලී තරුණයෙක් ජීවිතක්ෂයට

(02.05.2023 – 06:47 +0530 – hirunews.lk/sinhala)

කණ්ඩලම වැවේ පිරිසක් සමඟ දිය නෑමට ගිය තරුණයෙක් ඊයේ (01) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාර්තුගොඩ, පූජාපිටියේ පදිංචි අවුරුදු 23 ක් වූ තරුණයෙකු බවයි වාර්තා වෙන්නේ.

අසාධ්‍ය තත්ත්වයේ පසු වූ තරුණයා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙන බව සඳහන් ෴

+

අකුණක් වැදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(02.05.2023 – 07:03 +0530 – hirunews.lk/sinhala)

අකුණක් පිපිරීමත් සමඟම ඇති වූ විදුලි කාන්දු වීමකින් යාපනයේ කෝපායී පාරේ ගරාජයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

එම අකුණ පිපිරී ගිය අවස්ථාවේ දී යාපනයට වර්ෂාව ඇද හැලීමට පටන් ගෙන තිබු අතර මියගිය පුද්ගලයා ගරාජයේ වාහනයක් අළුත් වැඩියා කරමින් සිටියදී ඔහුට විදුලි සැර වැදී තිබෙන බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මියගිය පුද්ගලයා ගරාජයේ අයිතිකරු වන අතර ඔහු යාපනයේ ආත්තිසූඩී පාරේ පදිංචි සෙල්වරාසා සුජිදරන් නමැති වයස අවුරුදු 40 ක් වන තිදරු පියෙක්.

අදාළ පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ මළ සිරුර යාපනය කෝපායි රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෝපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා ෴

+

අරලගංවිල සැක කටයුතු මරණයක්

(02.05.2023 – 07:13 +0530 – hirunews.lk/sinhala)

අරලගංවිල, රත්මල්තැන්න ප්‍රදේශයේදී ඊයේ (01) කුඹුරු යායක් තුල මියගිය පුද්ගල මරණයක් වාර්තා වෙනවා.

මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 60 ක් වන එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා අරලගංවිල අතුරුවාරි කලාපයේ කුඹුරු ඉඩමට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට ලක් වී ඇති බවයි සඳහන්.

පොලිසිය සැක කරන්නේ මෙය අකුණුසැර වැදීමෙන් සිදුවූ මරණයක් බවයි.

අරලගංවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

+

වන අලි පහරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(02.05.2023 – 07:21 +0530 – hirunews.lk/sinhala)

මාවනාගම ප්‍රදේශයේ දී ඊයේ (01) වන අලියෙකු පහර දී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනාගම, දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 57 ක් වූ පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

මියගිය පුද්ගලයා ගවයින්ගෙන් කිරි ලබා ගැනීම සඳහා එම ස්ථානයට යමින් සිටිය දී මෙම අනතුරුට මුහුණ දී ඇති බව සඳහන්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඥාතීන්ට භාර දී ඇති අතර දෙහිඅත්තකණ්ඩිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

+

අත්තනගල්ල විහාරයේ ධාතු මන්දිරය සොරු කඩයි

(02.05.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව අත්තනගල්ල රජමහා විහාරස්ථානයට සොරුන් පිරිසක් ඇතුළු වී එහි ධාතු මන්දිරය කඩා දමා තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

එහි විහාරාධීකාරී පූජ්‍ය අලවල සමිත හිමියන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය සිදුකළ විමර්ශන‍යේ දී මේ බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ධාතු මන්දිරය තුළ ධාතූන් වහන්සේලා, පෞරාණික වටිනාකමක් ඇති බවට සැලකෙන බුදු පිළිම දෙකක් (2), කුඩා කරඬු කිහිපයක් සොරාගෙන ඇති අතර එහි තිබූ පඬුරු පෙට්ටිය කඩා මුදල් ද සොරකම් කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

ධාතු මන්දිරයේ ජනේලය විවෘත කර එහි ඇති ග්‍රිල් ගලවා මෙම සොරින් පිරිස ඇතුළු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

කොවිඩ් වැළදීමෙන් පුද්ගලයෙක් මරුට

(02.05.2023 – 08:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (01) මෙරටින් හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ (01) වන විට හඳුනා ගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,177 ලෙසයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ (01) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.

එළඹෙන වෙසක් සතිය තුළ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විය හැකි නිසා පොදු ස්ථානවල ගැවසීමේ දී මුඛ ආවරණ පළඳින ලෙස ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය කාලය තුළ කොරෝනා ව්‍යාප්තියේ සීඝ්‍ර අඩු වීමක් පෙන්නුම් කර තිබුණ ද අලුත් අවුරුදු සමයත් සමඟ එහි වර්ධනයක් සිදු වී තිබෙන බවයි සෞඛ්‍ය අංශ තවදුරටත් සඳහන් කරන්නේ ෴

+

ජනපතිගෙන් ග්‍රාමසේවා නිලධාරීන්ට සුබ පැතුම්

(02.05.2023 – 08:36 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිටින සියලුම ග්‍රාමසේවා නිලධාරීන් වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා.

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර ඊයේ(01) දිනට වසර 60 ක් සපිරීම නිමිත්තෙනුයි ජනාධිපතිවරයා මෙම සුබපැතුම් එක්කර ඇත්තේ.

එදිනෙදා ජන ජීවිතය නගා සිටුවීම සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේ ද සේවය කළ ග්‍රාම නිලධාරීන් වෙත එහිදී සුභපැතුම් එක්කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

+

අනුරාධපුර රෝහලේ ඝාතන සිදුවීමට අදාළව දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(02.05.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මධුසංඛ ජයරත්න හෙවත් මලා සහ ඔහුගේ 23 හැවිරිදි බිරිද මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

පහර දීමට අදාළව තවත් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ගැටුමක් අතරතුර බරපතල තුවාල ලබා අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම තරුණයා ඝාතනය කර තිබුණේ පසුගිය 28 වනදායි ෴

+

ඩුබායි යවන කෙසෙල් වගාවේ අස්වනු නෙලීම හෙට (03)

(02.05.2023 – 09:41 +0530 – hirunews.lk/sinhala)

අපනයනය ඉලක්ක කරගනිමින් යාපනය ප්‍රදේශයේ වගා කරන ලද පළමු ඇඹුල් කෙසෙල් වගාවේ අස්වනු නෙලීම සහ සැකසුම් කටයුතු හෙට (03) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

එම අස්වනු ඉදිරි දින කිහිපය තුළ ඩුබායි වෙළඳපලට අපනයන කිරීමට සැළසුම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

සතිපතා කෙසෙල් කිලෝග්‍රෑම් 25,000 ක් අපනයනය කිරීමට කටයුතු යොදා තිබෙන බව සඳහන්.

ඇඹුල් කෙසෙල් සැකසුම් මධ්‍යස්ථාන 2 ක් රාජාංගනය සහ යාපනයේ ස්ථාපිත කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ ෴

+

සැප්තැම්බර් තෙක් ගල් අඟුරු ප්‍රමාණවත්

(02.05.2023 – 09:42 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙරට තුළ පවතින බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා.

එහි සභාපති ශෙහාන් සුමනසේකර කියා සිටියේ, වාරකන් කාලය ආරම්භ වීම හේතුවෙන් ගල් අඟුරු ඇනවුම් කිරීම නතර කර ඇති අතර මේ වනවිට ගල් අඟුරු නෞකා 30 ක් මෙරටට ගෙන්වා ඇති බවයි ෴

+

ශ්‍රී ලංකාවේ ආගමික නිදහසට බාධා

(02.05.2023 – 09:58 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බවයි.

විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩ වී ඇති බව මෙහි දී මූලික වශයෙන්ම අනාවරණය වුණා.

මේ සඳහා මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බව වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කළා.

මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ චීනය, ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, යන රටවල් ද ආගමික නිදහසට බාධා එල්ල වන රටවල් අතරට අදාළ වන බවයි ෴

+

නාවික හමුදා සෙබළාගෙන් පොලිසියට හෙල්මට් ප්‍රහාරයක්

(02.05.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ යතුරුපැදි ඒකකයේ පොලිස් නිළධාරීන් හතර දෙනකුට (4) හෙල්මට් වලින් පහර දුන් නාවික හමුදා සෙබළෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු සීදූව පොලිසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා (2) ගමන් ගත් යතුරු පැදිය නැවැත්වීමට අණ කළද නොනවත්වා ගොස් ඇති බැවින් පොලිස් නිළධාරීන් විසින් හඹා ගොස් තිබෙනවා.

එහිදී යතුරුපැදිය නවත්වා පරික්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනා (2) බීමත්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් තිදෙනෙකු (3) ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිදුවීම සම්බන්ධයෙන් සීදූව පොලිසිය විසින් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා ෴

+

කැලි කසල කන්දක් වූ නගර සභා ක්‍රීඩාංගනය

(02.05.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නගරයේ පැවති සැණකෙළි භූමියට ලබා දී තිබු නුවරඑළිය මහ නගර සභා ක්‍රිඩාංගනය දින ගණනක් තිස්සේ පැවති සැණකෙළි නිසා කසල කන්දක් බවට පත්ව තිබෙනවා.

සෑම වසරක ම නුවරඑළිය නගරය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කරන සැණකෙළි මාලාවට සමගාමීව ඉදිකරනු ලබන කාර්නිවල් සැණකෙළි භූමියෙන් ඉවතලන පොලිතින්, ප්ලාස්ටික් බීර බෝතල් හා බීර ටින් ආදිය නිසා ක්‍රීඩාංගනයේ තණ තිල්ලට සහ පරිසරයට විශාල හනියක් සිදු වී ඇති බවයි පරිසරවේදින් පෙන්වා දෙන්නේ.

ක්‍රීඩාංගනය සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට අයත් භූමියක් වන අතර එහි කසළ කළමනාකරණය හා යටිතල පහසුකම් සැපයීම නුවරඑළිය මහා නගර සභාවට පැවරී ඇති වගකීමක් නමුත් එම නගර සභාවේ නිලධාරීන් එම වගකීම නිසි ආකාරයට ඉටු නොකරන බවයි වාර්තා වෙන්නේ.

සැණකෙළි සංවිධායකවරුන් පවසා සිටියේ නුවරඑළිය මහ නගර සභාව නිසි වේලාවට කසල රැගෙන යාමට නොපැමිණෙන බැවින් සැණකෙළි භූමිය පුරා එකතු වන කැළි කසළ හා ඝන අපද්‍රව්‍ය තැන් තැන්වල ගොඩ ගැසීමට සිදුවන බවයි.

නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පවසන්නේ සැණකෙළි භූමියක් තුළ කසළ ඉවත් කිරීමට මහ නගර සභාව යම්කිසි මුදලක් අය කරන අතර සැණකෙළි සංවිධායකවරුන් මුදල් ඉතිරි කිරීමේ අරමුණින් දෛනිකව එකතු වන කසල මහ නගර සභාවට භාරදීමට කටයුතු නොකරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *