දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

දන්සැල් ලියාපදිංචිය ඇරඹේ


දන්සැල් ලියාපදිංචිය ඇරඹේ

(29.04.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala)

වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන දන්සැල් ලියාපදිංචි කිරීම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

පැවැත්විමට බලාපොරොත්තුවන දන්සැල් වර්ගය, පවත්වනු ලබන දින ගණන, පවත්වන ස්ථානයන්, පරිසරයේ ස්වභාවය ආදිය පිලිබඳව සදහන් කර ලිපියක් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලබා දී ලියාපදිංචිය ලබා ගත හැකි බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයන් මගින් ලියාපදිංචිය ලබා දුන් පසුව දන්සැල පැවැත්වීමට පෙර එහි භාවිත කරන අමුද්‍රව්‍ය පිලිබඳව පරික්ෂා කිරීම සහ පිසූ ආහාර පරික්ෂා කිරිම අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ.

මේ දිනවල පවතින වර්ෂාව හේතුවෙන් පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජලමූලාශ්‍රයන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්නැයි දන්සැල් සංවිධායකවරුන්ගෙන් සංගමය විශේෂ ඉල්ලිමක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ ෴


නීති විරෝධී අයුරින් විදුලිය ලබාගත් රූපලාවන්‍ය ශිල්පිණියක් අත්අඩංගුවට

(29.04.2023 – 15:45 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම පොලිසිය විසින් නීති විරෝධී අයුරින් විදුලි රැහැන් සම්බන්ධතාවක් ලබාගෙන සිටි රූපලාවන්‍ය ශිල්පිණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අලුත්ගම නගරයේ පවතවාගෙන ගිය රූපලාවන්‍යාගාරයකට මෙලෙස විදුලිය ලබාගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි තැනැත්තියක්.

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අලුත්ගම ප්‍රධාන කාර්යාලයේ විමර්ශන ඒකකය අලුත්ගම පොලිසිය එක්ව මෙම වැටලීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ ෴


ගාලු සාහිත්‍ය උලෙළ යළිත් උත්කර්ෂවත් ව පැවැත්වීමේ සූදානමක්

(29.04.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

වසර කිහිපයක සිට නොපැවැත්වුණු ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උලෙළක් වන ගාලු සාහිත්‍ය උලෙළ (Galle Literary Festival) යළිත් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් ලැබී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම සාහිත්‍ය උත්සවය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව පැවැත්වීමට ජනපති උපදෙස් ලැබී ඇති බවයි.

මෙම සාහිත්‍ය උලෙළට සමගාමී ව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල , මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ඊයේ (28) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්‍යාලයේ දී පැවැත්වුණා.

නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් මෙම වැඩසටහන සංවිධානය වනු ඇති ෴


ශ්‍රී ලංකා ආර්ථිකය සුබවාදී අතට – බ්ලූම්බර්ග් වාර්තාව කියයි

(29.04.2023 – 17:07 +0530 – hirunews.lk/sinhala)

මිල දී ගැනීමේ හැකියාව ඉහළ මට්ටමක පැවතීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ආනයන වියදම අඩුවීම මත අප්‍රේල් මාසයේ දී මෙරට උද්ධමනය තවදුරටත් අඩු වී තිබෙනවා.

අන්තර්ජාතික වශයෙන් ආර්ථික පුවත් විශ්ලේෂණ පළ කෙරෙන වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් වාර්තා කරන්නේ මෙය මේ වසර අවසානයේ උද්ධමනය තනි ඉලක්කමකට ගෙනඒමේ ශ්‍රී ලංකා මහබැංකුවේ උත්සහයට සුබවාදී බලාපොරොත්තුවක් බවයි.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව , වර්ෂයකට පෙර තත්වය සමග සංසංදනය කර බැලීමේදී අප්‍රේල් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 35.3 කින් පමණක් වන අතර පසුගිය මාර්තු මාසයේදී එය සියයට 50.3 කින් වැඩි වී පැවතුණා.

බ්ලූම්බර්ග් දර්ශකයන්ට අනුව මෙය සියයට 37.8 කින් ශක්තිමත්වීමක් ෴


2022 වසරේ ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය පාකිස්ථානයට

(29.04.2023 – 17:09 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේදී ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩිම ණය ලබාගත් රට බවට පාකිස්ථානය පත්ව තිබෙනවා.

මේ බව අනාවරණ කර ඇත්තේ පසුගිය වසරට අදාළව ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින්. ඒ අනුව පාකිස්ථානය පසුගිය වසරේදී ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.58 ක්.

ආසියානු සංවර්ධන බැංකුව 2022 වසරේදී රටවල් 40 කට ණය ලබා දී ඇති අතර එම මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 31.8 ක් වනවා ෴


සුඩානයේ මුදා ගත් පලමු කණ්ඩායම දිවයිනට

(29.04.2023 – 18:12 +0530 – hirunews.lk/sinhala)

සුඩානයේ ගැටුමෙන් ඉවත් කරගන්නා ලද පලමු (1) කණ්ඩායම ශ්‍රී ලංකා බලා පිටත්ව තිබෙනවා.

එම කණ්ඩායමේ 13 දෙනෙක් සිටින බව සඳහන්.

රියාද්හි ශ්‍රී ලංකා තානාපති පැවසුවේ මෙම පිරිස සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකා බලා පිටත් වූ බවයි ෴


ලංකාවේ බඩු ගණන් නිසා ඉන්දියාවට ගිය ද්‍රවිඩ පවුල් දෙක (2)

(29.04.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

පවතින දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ද්‍රවිඩ ජාතිකයින් සත් (7) දෙනෙකු ඉන්දියාව වෙත ගොස් තිබෙනවා.

මෙම ද්‍රවිඩ ජාතිකයින් ඊයේ (28) අලුයම ධනුෂ්කොඩි වෙත පැමිණ ඇති බවයි ඉන්දීය පුවත් සේවය වාර්තා කළේ.

මෙලෙස පැමිණ පිරිස පවුල් දෙකකින් (2) යුත් පිරිසක් බවටත් හෙළිව තිබෙනවා.

කිරි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ මිල ගණන් යටතේ ශ්‍රී ලංකාව තුළ අලෙවි වීම හේතුවෙනුයි ඔවුන් මෙලෙස ඉන්දියාවට ගොස් ඇත්තේ.

මොවුන්ගේ කණ්ඩායමේ බිළිඳෙකු ද සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ.

කිරි ලීටරයක් ශ්‍රී ලංකා රුපියල් 350 කටත්, සහල් කිලෝවක් ශ්‍රී ලංකා රුපියල් 250 කටත් අලෙවි වීම හේතුවෙන් දිනකට පවුලේ පස්දෙනා (5) ට ජීවත්වීමට රුපියල් 3000 ක මුදලක් අවශ්‍ය වීම හේතුවෙන් නිවස විකුණා ඉන්දියාවට පැමිණීමට තීරණය කළ බව ඔවුන් ඉන්දීය වෙරළාරක්ෂක පොලිසිය වෙත සඳහන් කර තිබෙනවා.

රට යැවීම් සිදු කරන නියෝජිතයෙකුට රුපියල් 400,000 ක් ගෙවීමෙන් පසු, තමන් ඇතුළු පවුලේ උදවිය ධනුෂ්කොඩි වෙත බෝට්ටුවකින් පැමිණි බවයි එහි සිටි කාන්තාවක් සඳහන් කර ඇත්තේ.

මෙම සරණගාත පිරිස මණ්ඩපම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා ෴


අකුණුසැර වැදී දෙදරු මවක් ජීවිතක්ෂයට

(29.04.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala)

පල්ලම – අඩම්මන ප්‍රදේශයේ වෙල්යායකදී අකුණු සැර වැදී 37 හැවිරිද දෙදරු මවක් ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දරුවන්ට රාත්‍රි ආහාරය සපයා ගැනීමට අසළ ඉඩමකින් කජු රැගෙන අලෙවිකිරීම සඳහා යන අවස්ථාවේ ඇය මෙම අනතුරට මුහුණු දී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමඟ අතිවෙන අකුණුවලින් ආරක්ෂාවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴


පාසල් 1941ක උසස් පෙළට විද්‍යා විෂයන් හැදෑරීමේ පහසුකම නැති බවට හෙළිවෙයි

(29.04.2023 – 20:54 +0530 – hirunews.lk/sinhala)

විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීම සඳහා වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තමන්ට දන්වා ඇති බව පවසමින් ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ උසස්පෙළ සිසුන් පිරිසක් අද (29) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර උසස් පෙළ පහසුකම් සහිත පාසල් 2952 ක් පවතින නමුත් ඉන් පාසල් 1941 කම විද්‍යා විෂයයන් හැදෑරීමේ පහසුකම් නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ අනාවරණ කළා.

මේ අතර ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ උසස්පෙළ සිසුන් පිරිසක් අද (29) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ විද්‍යා විෂයන් හැදෑරීමට වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කරඇති දැනුම්දීමකට එරෙහිවයි.

සිසුන් පවසන්නේ මෙතෙක් විද්‍යා විෂයන් ඉගැන්වීමේ නිරත වූ ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවා තිබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.

මේ අතර ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු සඳහා කඩිනමින් සහභාගී වන බව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ ප්‍රකාශ කළේ, ඒ අනුව මසක් (1) තුළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි.

+


Red Bull Sky Diving නෙළුම් කුලුණෙන් ඇරඹෙයි

(29.04.2023 – 21:54 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීම අරමුණු කරගනිමින් දකුණු ආසියාවේ උසම කුලුණ ලෙස සැලකෙන නෙළුම් කුලුණෙහි සිට පහළට පැන නරඹන්නන් පුදුම කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මීට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමාගමක් වන ‘රෙඩ් බුල්’ විසින් ප්‍රධාන අනුග්‍රහය ලබාදෙන අතර, අද (29) දිනයේ දී මෙහි සමාරම්භය සිදුවුණා.

Red Bull Sky Diving සඳහා ලෝක ශූරයින් වන Marco Waltenspiel, Marco Furst එක්ව සිටීම ද සුවිශේෂීයි.

ඔවුන් ප්‍රදර්ශනාත්මකව ‘බේස් ජම්ප්’ ඉසව්වක් වශයෙන් සැලකෙන අංගය මගින් නෙළුම් කුලුණෙන් පහතට පැන නරඹන්නන් පුදුමයට පත් කළා.

+


සුඩානයෙන් මුදවා ගත් පලමු (1) කණ්ඩායම ලංකාවට පැමිණේ

(29.04.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

සුඩානයේ ගැටුමෙන් ඉවත් කරගන්නා ලද පලමු (1) කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

විදේශ අමාත්‍ය අලී සබ්‍රී මෙය තහවුරු කර සිටිනවා.

පළමු (1) මුදවා ගැනීමේ කණ්ඩායමට 15 දෙනෙකු ඇතුළත් බවයි වාර්තා වෙන්නේ.

සුඩානයේ රාජ්‍ය ආරක්ශක අංශ සහ කැරලි කණ්ඩායම් අතර ගැටුම් ආරම්භ වී මේ වන විට දින 15 ක් ගතවී තිබෙන අතර අවසන් ගැටුම් හේතුවෙන් කාර්ටෝම් අගනුවර ඇතුලු ප්‍රධාන නගර රැසක දෛනික කටයුතු මුලුමනින්ම අඩාල වී තිබෙනවා.

ගැටුම් වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 520 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර සෞදි රජයේ සහය ඇතිව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය සුඩානයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ කටයුතු මේ වන විට අඛන්ඩව සිදු කරනු ලබන බවයි වාර්තා වෙන්නෙ.

එමෙන් ම ‘පොර්ට් සුඩාන්’ හි රැදී සිටින දෙවන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම සෞදි රජයට අයත් HMS MAKKAH නෞකාවෙන් ජෙඩා නුවර ‘කින්ග්ස් ෆයිසාල් නාවුක කදවුර’ට රැගෙන එනු ලැබුවා ෴


පරවියන් BBQ දැමූ නරුමයෝ

(29.04.2023 – 22:47 +0530 – hirunews.lk/sinhala)

විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගත් තරුණයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙන්.

සැකකරුවන් විසින් පරවියන් මරා අහාරයට ගන්නා ආකාරය ටික්ටොක් වීඩීයෝවක් සකස් කොට අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබෙනවා.

අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් බවයි වාර්තා වෙන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *