ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය

ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය


ජල කාන්දුව සිදු වුණේ නලයේ ඇණ ගැලවීම නිසා – ජලසම්පාදන මණ්ඩලය

(29.04.2023 – 16:03 +0530 – hirunews.lk/sinhala)

අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට දී ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ (28) දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබෙනවා.

පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව තිබුණ බවයි වාර්තා වන්නේ.

ජලසම්පාදන මණ්ඩලය නිලධාරීන් කියා සිටියේ එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48 කින් 33 ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බවයි.

ඇණ පමණක් ගැලවීම මත මෙම විශාල ජල නලය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමකට ලක්වනු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජලනලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා ෴


ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ක් ඉක්මවයි

(29.04.2023 – 12:44 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේවන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000 ක් ඉක්මවන බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 49% ක්.

මේ අතර දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල සහ මාතර එම දිස්ත්‍රික්ක බවයි.

එමෙන්ම යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවධාරණය කරමින් පසුගිය 26 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය ලබන මස 02 වැනිදා දක්වා පැවැත බවයි වාර්තා වන්නේ.

මෙම වැඩසටහනට සමගාමීව අද සිට බස්නාහිර පළාතේ නිවාස පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට‍යි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ ෴


බිත්තර ගැසට්ටුව ඉවත් කිරීමට රජයේ අවධානය

(29.04.2023 – 12:59 +0530 – hirunews.lk/sinhala)

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට්ටුව ඉවත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

බිත්තර සහ කර්මාන්ත සංගම් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති හමුවක දී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ.

ඔවුන් පෙන්වා දෙන්නේ උපරිම සිල්ලර මිල ගැසට්ටුව ඉවත් කරන්නේ නම් වෙළඳපළට ප්‍රමාණවත් ලෙස බිත්තර සැපයිය හැකි බවයි.

මේ අතර පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර බිත්තර මිල සහ හිඟය සම්බන්ධයෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින් තුළ මහත් අප්‍රසාදයක් ඇති වී තිබෙනවා ෴


සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ආරක්ෂක අංශ වෙත උපදෙස්

(29.04.2023 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ත්‍රිරෝද රථ හිමියන්ගෙන් විවිධ අකටයුතුකම් සහ පීඩාවන් සිදුවන බවට සංචාරක හෝටල් හිමියන් පිරිසක් පසුගියදා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයාට පසුගියදා දැනුම්දී තිබුණා.

එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ඡාවී ඇති අතර, දැනට එවැනි තර්ජනයක් නොමැති වුවත් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව කටයුතු කරන ලෙසද ආරක්ෂක අංශ වෙත ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම හෝටල්වල පිහිටීම පිළිබඳව දළ සැළැස්මක් ආරක්ෂක අංශ සතුව තිබිය යුතු බවටද ඔහු අවධාරණය කර තිබෙනවා ෴


ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට පූර්ණ සහය ලබා දෙනවා – චීන තානාපතිවරයා

(29.04.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ දී සියයට ‘සෘණ 2’ ක පැවති මූර්ත දළ දේශීය නිෂ්පාදන වර්ධනය ලබන වසරේ දී සියයට 3.3 ක් වනු ඇති බව මහ බැංකු වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා.

එමෙන්ම මේ වසරේ දී සියයට 20.6 ක අගයක පැවති වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ලබන වසර වන විට සියයට 5 ක් දක්වා පහත යනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර තිබූ තත්ත්වයට නගා සිටුවීම සඳහා අවශ්‍ය පූර්ණ සහය චීන රජය විසින් ලබා දෙන බව මෙරට චීන තානාපති චී ෂෙන්හොන්ග් මහතා පවසනවා.

මෙරට චීන තානාපතිවරයා ඒ බව පැවසුවේ, මහනුවර, අස්ගිරිය චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

මෙම උත්සවය පැවැත්වුණේ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.

උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් මෙරට චීන තානාපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වනවිට යම්කිසි පසුබෑමකට ලක්ව තිබුණත් එය ඉතා කඩිනමින් පෙර තිබූ තත්ත්වයටම පත්වනු ඇති බවට චීනය විශ්වාස කරන බවයි.

මේ වනවිටත් චීන රජයෙන් ඒ සඳහා අවශ්‍ය ආයෝජන ශ්‍රී ලංකා රජයට ලබා දෙමින් පවතින බව ද මෙරට චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

චීන තානාපතිවරයා ඒ පිළිබඳ දැක් වූයේ මෙවන් අදහසක් :

“ත්‍රස්තවාදය, සුනාමිය සහ අනෙකුත් ආපදාවලට ශ්‍රී ලාංකික ජනතාව පරද්දන්න හැකියාව ලැබුණේ නැහැ. මේ රට මුහුණ දෙන දුෂ්කරතා තාවකාලිකයි. ශ්‍රී ලංකාවට නැවතත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට, සමාජ සංවර්ධනයට සහ ජනතාවට සතුට ළඟා කර ගැනීමට සහය වීම සඳහා චීනය ඔබ සමග ඉන්නවා කියලා මම සහතික වෙනවා. පසුගිය මාස 2 ඇතුළත චීන සංචාරකයෝ මෙහි යළි ආවා. චීන ආයෝජකයිනුත් යළි ආවා. චීන – ශ්‍රී ලංකා සහයෝගීතාව ගැඹුරින් පවතින තුරු දෙරට අතර හවුල්කාරීත්වය තවත් ශක්තිමත් වෙනවා කියලා අපි තරයේ විශ්වාස කරනවා” ෴


අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කෙරේ

(29.04.2023 – 13:28 +0530 – hirunews.lk/sinhala)

මව්වරුන් විසින් අතහැර දමා යන මාස 3 ට අඩු බිළිඳන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නීතිමය තීන්දු ගැනීම සඳහා විශේෂ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

ඒ අනුව බිළිඳන් රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් සහ පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 339 ක කවුලු ස්ථාපිත කිරීම සහ පවත්නා නීතිමය තත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව තිබූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත්තේ අතහැර දමා යන බිළිඳුන්ගේ මව්පියන් පිළිබඳ තොරතුරුවල රහස්‍ය භාවය සුරැකෙන ලෙස හෝ යම් ලෙසකින් සටහන් කරගැනීමේ වැඩපිළිවෙලක්ද සකස් විය යුතු බවටද සාකච්ඡා වී තිබුණා ෴


කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැලි පිරවීම් අවසන්

(29.04.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ වැලි පිරවීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා.

හෙක්ටයාර 70 ක පමණ වැලි පිරවීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ (2022) ජනවාරි මාසයේදියි.

2025 වසරේ මුල් භාගයේදී මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත අතර, මෙහෙයුම් කටයුතුද ඉන් පසුව ආරම්භ කරන බවයි වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂක සුසන්ත අබේසිරිවර්ධන කියා සිටියේ.

විශාල ප්‍රමාණයේ නෞකා 02 කට සහ කුඩා නෞකාවකට මෙහි එකවර බහලු‍ම් ගොඩබෑමේ සහ පැටවීමේ කටයුතු සිදුකළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴


කුරුණෑගල – හෙට්ටිපොල ගබඩාවක තිබී බිත්තර 50,000 ක් සොයාගැනේ

(29.04.2023 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල හෙට්ටිපොල – ගිරාතලාව ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ බිත්තර 50,000 කට ආසන්න ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සොයාගෙන තිබෙනවා.

අද(29) දහවල් බිත්තර මිලදී ගැනීමට උපායදූතයෙකු යොදවා සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකළ බවයි එම අධිකාරියේ හදිසි වැටලීම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී.එස්.යූ.පී. පෙරේරා සඳහන් කළේ.

ගබඩාව හිමි කාන්තාවට එරෙහිව මේ වනවිට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති අතර, ඇය ලබන සඳුදා (01) හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


රිළවුන් නිසා සිදුවන හානි තවදුරටත්

(29.04.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

රිළවුන් නිසා සිදුවන හානි මේ වනවිට දැක ගත හැකි සුලබ කාරණයක් බවට පත් වී තිබෙනවා.

එම සතුන්ගෙන් බොහෝ විට වගාවන් මෙන්ම නිවාස ඇතුළු දේපළවලට හානි පැමිණුනත් රිළවුන් නිසා පීඩාවට පත් පාසල් සිසු සිසුවියන් පිරිසක් පිළිබඳව අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේ පිහිටා ඇති පාසල් රැසක් මේ වනවිට රිළවුන් හේතුවෙන් අර්බුද රැසකට පත්ව තිබෙන බවයි එහි දී අනාවරණය වූයේ.

මෙම පසුබිම හමුවේ සිසු දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට දැඩි බාධා එල්ල වී ඇති බවයි එම පාසල්වල ගුරුවරුන් සහ මව්පියන් පෙන්වා දෙන්නේ.

පාසල් ගොඩනැගිලිවලට ද රිළවුන් හේතුවෙන් දැඩි ලෙස අලභහානි සිදු ව තිබෙන බව අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළා.

මෙම පාසල්වල ගුරුවරුන් පවසන්නේ ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මේ දරුවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා රජය කඩිනමින් ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

+


සිසුන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(29.04.2023 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල උණවටුන මහා විද්‍යාලයේ විද්‍යා විෂය හදාරන සිසුන් පිරිසක් අද (29) මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ උසස් පෙළ විද්‍යා විෂය පමණක් හැදෑරීම සඳහා වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් තමන්ට දන්වා ඇති බව පවසමින්.

පළමු (01) වසරේ සිට එකොළොස් (11) වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ තමන්ට විද්‍යා විෂයන් හැදෑරීමට පමණක් වෙනත් පාසලකට යන ලෙසට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් පැවසූ බව අදාළ සිසුන් පවසනවා.

ඊට විරෝධය පළකරමින් එම සිසුන් අද (29) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් පවසන්නේ මෙතෙක් විද්‍යා විෂයන් ඉගෙනීමේ කටයුතුවලට පැමිණි ගුරුවරිය වෙනත් පාසලකට මාරු කර යවා තිබීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ෴


බදුල්ලට සහ කෑගල්ලට නායයෑම් අනතුරු ඇඟවීම්

(29.04.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැහිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ අදාළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් නිවේදනය කළේ එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි කදුකර, බෑවුම් හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ෴


අතුරුගිරියට විදුලි විසන්ධි වීමක්

(29.04.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

අතුරුගිරිය උපපොළේ විදුලිය බිඳවැටීමක් හේතුවෙන් අතුරුගිරිය සහ ඒ අවට ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇතැයි වාර්තා වී තිබෙනවා.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙලෙස විදුලිය බිඳ වැටීමට නිශ්චිත හේතුවක් හෙළි වී නැහැ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *