එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි


එම්.කේ. සිවාජිලිංගම්ගේ රහස් වැඩ අරුන් සිද්ධාර්ත් හෙළිකරයි

(28.04.2023 – 21:33 +0530 – sinhala.adaderana.lk)

විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා දෙමළ තරුණයින්ට අනුබලදී ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පවසයි.

අද (28) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව තහවුරු කළේ, සිවාජිලිංගම් එලෙස උපදෙස් දෙන වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කරමිනි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පැවසීය.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වීඩීයෝවෙන් නරඹන්න :

+


ලුණුගම්වෙහෙරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් (1) මරුට

(29.04.2023 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ලුණුගම්වෙහෙර ස්පීල්යාය ප්‍රාදේශයේ නිවසක් තුළ සිටිය දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.

එහි දී වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කිරීමට යන අවස්ථාවේ මරණයට පත්ව තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙලෙස මරණයට පත් ව ඇත්තේ වයස අවුරුදු 37 ක් වන පුද්ගලයෙක්.

අදාළ පුද්ගලයා නිවස තුළ ආලෝකය නොමැති නිසා ඉටිපන්දමක් දල්වා එහි ආලෝකයෙන් නිවසේ රැදී සිටීමේ දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

වැඩිදුර මරණ පරීක්ෂණ සඳහා මෘත දේහය ලුණුගම්වෙහෙර රෝහලේ මෘත ශරීරාගයේ තැම්පත් කර අති බව පොලිසිය තවදුරටත් සඳහන් කළා ෴


අදත් (29) කොළඹට ජල කප්පාදුවක්

(29.04.2023 – 06:43 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (29) පෙ.ව. 11:00 සිට එදින (29) රාත්‍රී 09:00 දක්වා පැය 10 ක කාලයක් ජල කප්පාදුවක් සිදු වෙනවා.

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුළු කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියළු අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්හිටු වීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා ෴


ඩයස්පෝරාවෙන් ජනමත විචාරණයක්

(29.04.2023 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව ජාත්‍යන්තර ප්‍රජාවට ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ජනමත විචාරණයක් පැවැත්වීමට අමෙරිකාවේ ස්ථාපිත දෙමළ ඩයස්පෝරා සංවිධාන හයක් තීරණය කර තිබෙනවා.

මෙම ජනමත විමසුම මැයි 18 වන දා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අමෙරිකාවේ ජීවත්වන සියලු දෙමළ ඩයස්පෝරා ජනතාවගේ සහභාගිත්වය අපේක්ෂා කරන බව‍‍‍යි අන්තර්ජාතික දෙමළ ඊළාම් රජයේ ප්‍රධානි විශ්වනාදන් රුද්‍රකුමාරන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

තවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනමත විචාරණය සඳහා වූ ජනතා ව්‍යාපාරය නමින් ක්‍රියාකාරී කමිටුවක් ද මේ සඳහා පිහිටුවා තිබෙන බවයි.

ශ්‍රී ලාංකික ජනවාර්ගික ගැටලුව විසඳිය හැක්කේ ජාත්‍යන්තර ජනමත විචාරණයක් මගින් පමණක් බවත් මෙමඟින් ලාංකික දෙමළ ජනතාව හා ඩයස්පෝරා ජනතාව අතර සහජීවනය වර්ධනය වනු ඇති බවත් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එතුමා සඳහන් කළා.

එමෙන් ඔහු පෙන්වා දෙන්නේ මෙම ජනමත විචාරණය ජාත්‍යන්තරය මගින් අධීක්ෂණය කළ යුතු බවයි ෴


විද්‍යාපීඨ සඳහා නව සිසුන් බඳවා ගැනීමට තීරණයක්

(29.04.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසය අවසන් වීමට ප්‍රථම විද්‍යාපීඨ සඳහා අලුත් සිසුන් කණ්ඩායම් බඳවාගෙන අවසන් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත ඊයේ (28) පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කළේ සිසුන්ට අමාත්‍යාංශය පිරිනමන රු. 5000 දීමනාව සහ රැකියාව ලැබුණු පසු ගෙවීමේ පදනම මත බැංකු හරහා දෙන රු. 15,000 ක ණය මුදල ද පිරිනමන බව‍යි.

මේ වන විට ගුරු අධ්‍යාපනඥ සේවය තුළ සිටින්නේ 40% ක් බවත්, ඒ සඳහා අවශ්‍ය පිරිස් බඳවාගැනීමද ඉක්මනින් සිදු කරන බවත් ඔහු කියා සිටියා.

අපොස උසස් පෙළ විභාගයේ ‘ඉසෙඩ් අගය’ මත විෂය වර්ගය අනුව කුසලතා පදනම සහ දිස්ත්‍රික් පදනමින් අයදුම්පත් කැඳවා, සම්මුඛ පරීක්ෂණය පවත්වා තිබෙන බවත්, එහි ඇගයුම් කටයුතු අවසන් අදියරේ තිබෙන බවත් ඇමතිවරයා සඳහන් කළා ෴


සමෘද්ධිලාභීන් ගැන කෝපා කමිටුවේ අනාවරණය

(29.04.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් 33% කට ආසන්න පවුල් සංඛ්‍යාවකට ප්‍රතිලාභ හිමි නොවිය යුතු බව කෝපා කම්ටුවේ දී අනාවරණය වී තිබෙනවා.

2015 සිට 2017 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කරන ලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු හඳුනාගෙන ඇති අතර ඒ අනුව පවුල් 4,49,979 ක් සමෘද්ධි සහනාධාරය ඉවත් කළ යුතු බවට නිර්දේශ වී තිබෙනවා.

එසේම මෙම සමෘද්ධිලාභීන් තෝරාගැනීම් දී අවිධිමත් බවක් නිරීක්ෂණය වන බව ද ජාතික විගණන කාර්යාලයේ නිලධාරීන් කොප් කමිටුවේ දී අනාවරණ කළා.

ගෙවුණු වර්ෂ 3 කට අදළාව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීයි මෙම කරුණු හෙළි වී ඇත්තේ.

මේ අතර ප්‍රජා මූල්‍ය බැංකු වෙත මාසිකව ප්‍රේෂණය කරනු ලබන මුදල් සමෘද්ධිලාභීන් විසින් ලබා නොගෙන බැංකු ගිණුම්වල රඳවා තිබූ බව නියැදි පරීක්ෂණවලින් හෙළි වූ බව සඳහන්.

ඒ අනුව ප්‍රජා මූල්‍ය බැංකු 10 ක සමෘද්ධිලාභීන් 2,433 දෙනෙකුගේ ඉතිරි කිරීමේ ගිණුම්වල රුපියල් කෝටි පහකට (5) අධික මුදලක් රඳවා ඇති බව ද මෙහි දී අනාවරණ වුණා ෴


අහුන්ගල්ලේ වෙඩිතැබීම ගැන විමර්ශන

(29.04.2023 – 08:13 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට අදාළව කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ අසළින් සොයාගත් යතුරුපැදිය ඔස්සේ විමර්ෂණ සිදු කර බව පොලිසිය පවසනවා.

එම යතුරුපැදියට හිමිකරුවන් කිහිපදෙනෙකු සිටින බවත් ඒ ඔස්සේ වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

එම යතුරුපැදියට හිමිකරුවන් කිහිපදෙනෙකු සිටින බවත් හෙළි වී ඇති බවයි විමර්ශන සිදු කරන උසස් පොලිස් නිළදාරියෙකු සඳහන් කළේ.

සිද්ධියට අදාළව එම කඳවුරේ සෙබළුන් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කරගත් බව පොලීසිය ප්‍රකාශ කළා.

එමෙන්ම පොලිස් භාරයට ගත් ටී-56 ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත මේ වන විට යොමුකර තිබෙනවා.

පසුගිය 14 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 29 හැවිරිදි බහුදින ධීවර යාත්‍රා මුරකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු සිය සොහොයුරියගේ දරුවන් දෙදෙනා (2) සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දීයි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ ෴


සුඩානයේ ගැටුම්වලට මැදි වූ ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ

(29.04.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

සුඩානයෙන් මුදාගන්නා ලද 6 දෙනෙකුගෙන් යුතු දෙවන (2) ශ්‍රී ලාංකිකයින් පිරිස ජෙඩා හී වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් භාරගෙන තිබෙනවා.

ඔවුන් ජෙඩා හී කිං ෆයිසාල් නාවික කදවුර වෙත රැගෙන ඒමෙන් අනතුරුවයි මෙලස ඔහු විසින් භාරගෙන ඇත්තේ.

මේ අතර සෞදි අරාබි රජය සුඩානයේ, පෝට් සුඩාන්හි ස්ථාපනය කළ තාවකාලික මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශය පසුගිය දා දැනුම් දුන්නා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ ‘පෝට් සුඩාන්’හි එම මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව ස්ථාපනය කර ඇති බවයි.

මේ අතර ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් දැනට සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ‘පෝට් සුඩාන්’ නගරයේ හෝටලයක් තුළ තාවකාලිකව රඳවා සිටිනවා.

පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකිකයින්ට දුරකථන පහසුකම් ලබාදීමට ද අපහසු වී ඇති බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම පවතින තත්ත්වය මත අවශ්‍ය මැදිහත්වීම් සඳහා සෞදි තානාපති කාර්යාලයේ ඒ සම්බන්ධයෙන් වෙනම නිලධාරියෙකු අනුයුක්ත කර ඇති අතර තොරතුරු ලබාදීම සඳහා 00 24 99 99 10 757 දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

සුඩානයේ ක්‍රියාත්මක මිලිටරි පාලන ක්‍රමවේදයට අනුගත විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගත්තේ පසුගිය 15 වනදා සිටයි.

ගැටුම්වලට මැදි වූ සුඩානයේ වැසියන් 450 කට අධික පිරිසක් මියගිය අතර 4000 කට අධික පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙනවා ෴


ඇමරිකානු වාරණය ගැන කරන්නාගොඩට සැකයක්

(29.04.2023 – 08:24 +0530 – hirunews.lk/sinhala)

තමාට සහ තම පවුලේ අයට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කිරීමට එක්සත් ජනපද රජය විසින් ගත් තීරණය තමාට පුදුමයට කරුණක් බව හිටපු නාවික හමුදාපති සහ වයඹ පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ පවසනවා.

යුද්ධය අවසන් වී වසර 14 කට පසු ගනු ලැබූ මෙම වාරණය සම්බන්ධයෙන් තමාට යම් සැකයක් පවතින බවත්, ඒ පිටුපස වෙනත් හේතුවක් ඇති බවට විශ්වාස කරන බවත් ඔහු සඳහන් කරනවා.

මෙම මෙහෙයුම පිටුපස ශ්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියෙකු සහ ඇමරිකානු තානාපතිවරයා සිටින බවට තමන් විශ්වාස කරන බවද ඔහු පවසා තිබෙනවා.

රාජ්‍ය නොවන සංවිධාන විසින් ලේඛනගත කරන ලද තොරතුරු සහ වෙනත් විමර්ශන තමාට එරෙහිව සම්බාධක පැනවීමට හේතු වන බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව රාජ්‍ය නොවන සංවිධාන වාර්තා වෙත යොමු කිරීම නුසුදුසු බවත් ඔහු පැවසුවා ෴


වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව කෝප් කමිටුවේදී හෙළිවෙයි

(29.04.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව 2015 සිට වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

පසුගියදා කෝප් කමිටුව හමුවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා තිබූ අතර, එහිදියි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

දිගින් දිගටම වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලෙසට ප්‍රකාශයට පත් කළද එය නොකිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බවද කෝප් කමිටු සභාපතිවරයා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවේ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

එමෙන්ම ඉඩම් ලබාදීමේදී විධිමත් ක්‍රියාවලියක් නොමැති බවත්, ලිපි ගොනු පවත්වාගෙන නොයෑම සහ බද්දට දෙන ලද ඉඩම් සම්බන්ධයෙන් මෙහිදී අවධානයට ලක්වුණා ෴


බෝධියක් අසළ නාඳුනන කාන්තා මළසිරුරක්

(29.04.2023 – 09:49 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට ප්‍රදේශයේ බෝධිය අසළ තිබී අද (28) උදෑසන නාඳුනන කාන්තා මළ සිරිරක් හමු වී තිබෙනවා.

බෙන්තොට පොලිසියට ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සිදු කළ සෝදිසි මෙහෙයුමක දීයි මෙම මළසිරුර සොයා ගෙන ඇත්තේ.

මිය ගොස් ඇති කාන්තාව වයස අවුරුදු 70 ක් පමණ වන අයෙක් බවත් ඇයගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නොමති බවත් පොලිසිය සඳහන් කළා.

අදාළ කාන්තාව යාචක කාන්තාවක් බවට පොලිසිය අනුමාන කරනවා.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *