වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ…

වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ…


වල්ගෑණු හතක් (7) පන්සලට පැන භික්‍ෂුවකු දුෂණය කරති.. භික්‍ෂුව රෝහලේ…

(28.04.2023 – 09:20 +0530 – lankacnews.com)

කාන්තාවන් හත් දෙනෙකු (7) විහාරස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැඩ වාසය කළ 22 හැවිරිදි හිමිනමකට ලිංගික අතවර කළේ යැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

සිදුවීමෙන් පසු කාන්තාවන් විහාරස්ථානයේ දොර සහ ගේට්ටු වසා එහි යතුරු රැගෙන ගොස් ඇත.

මෙම අතවරයට ලක්වූ හිමි නම රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත.

නිකවැරටි කොටවෙහෙර ප‍්‍රදේශයේ වීරදඬාන මෙත්සඳ විහාරස්ථානයේ මෙම සිදුවීම සිදුව තිබේ.

මෙම කාන්තාවන් අතරින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

විහාරාධිපති හිමියන් පවසන්නේ අදාල කාන්තාවන් පිරිස නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාතිවරයාට සම්බන්ධ පිරිසක් බවයි.

++++++++

‘අරුණ’ රටට ම කියයි – භික්ෂුවට අතවර කළ කතුන් අල්ලයි (27.04.2023)

+


ඇඹිලිපිටිය රෝහලේ ළමා ඒකකයත් දැඩි අර්බුදයක

(28.04.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා ඒකකයේ ඉන්කියුවේටර් යන්ත්‍ර 11 න් 7 ක් අක්‍රීයවීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අමිල ද සිල්වා මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසයි.

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලින් ප්‍රතිකාර ගැනීමට දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අති විශාලයි.

සබරගමුව, දකුණ සහ ඌව යන පළාත් 3 කම ජනතාව ප්‍රතිකාර කටයුතු සඳහා මෙම රෝහලට පැමිණියද අත්‍යවශ්‍ය ප්‍රතිකාර කටයුතු ඉටු කර ගැනීමට හැකියාවක් නොමැතිවිම ගැටළුවක්.

රෝගීන් දැඩි අසීරුතාවට පත්ව සිටින්නේ එලෙස රෝගී සත්කාරක සේවා අකර්මන්‍යවීම හේතුවෙන්.

රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ කටයුතු දැඩි ලෙස අක්‍රීය වීම හේතුවෙන් ප්‍රමාණවත් සේවාවක් ලබාදීමට නොහැකිවී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

+


‘IMF’ ඡන්දයට සමගි ජන බලවේගයේ විරෝධය

(28.04.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

අද (28) දින පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්දයේදී, ඊට විරෝධය පළකර සභා ගැබෙන් පිටව යාමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රකාශ කර තිබෙනවා.

එම ඡන්ද විමසීම පවත්වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන යෝජනා සම්මතයන්ට අදාළවයි.

ශ්‍රී ලංකාවට හිමිවී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ ණය පහසුකම පිළිබඳ සැකසුම ක්‍රියාත්මක කිරීමේ යෝජනා සම්මතය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තුන්වන (3) දිනය අදයි.

එහිදී එම අරමුදලෙන් ණය ලබා ගැනීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සඳහා ඡන්ද විමසුමක් අද (28) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

එමෙන්ම ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එහිදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති බවත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටයි තිරණය කර තිබෙන බවයි අද (28) පෙරවරුවේ වාර්තා වුණේ.

කෙසේ වෙතත් එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව මීට පෙර පැවසූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පැවැත්වෙන ඡන්ද විමසීමට නොපැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම ‘නිදහස ජනතා සභාව’ සහ ‘උත්තර ලංකා සභාගය’ අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගය, දෙමළ ජනතා සන්ධානය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයද අයි.එම්.එෆ්. ගිවිසුම් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බවයි මේ වනවිට ප්‍රකාශ කර ඇත්තේ ෴


නීති විරෝධී ධීවර කටයුතු කළ පුද්ගලයින් නාවික හමුදා භාරයට

(28.04.2023 – 14:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, මුලතිව් නයාරු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ කින්නියා පාලම අවට ප්‍රදේශයේ අද (28) සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ සහ රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් විසි දෙදෙනෙකු (22) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එහි දී ඩිංගි යාත්‍රා අටක් (08), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න රැසක් ද හමුදා භාරයට ගත් බවයි වාර්තා වී ඇත්තේ.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදු කෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණින් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

එමෙන්ම ත්‍රීකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව කින්නියා පාලම අවට කලපු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් ද රාත්‍රී කාලයේ නීති විරෝධී කිමිදුම් කටයුතු සිදු කළ පුද්ගලයින් දහ හතර දෙනෙකු (14), ඩිංගි යාත්‍රා පහක් (05) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 29 ත් 56 ත් අතර වයසේ පසුවන මීගමුව, මුලතිව්, කින්නියා සහ චීන වරාය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.

එම පුද්ගලයින්, ඩිංගි යාත්‍රා, කිමිදුම් උපකරණ සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා මුලතිව් සහ ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලයන් වෙත භාර දී තිබෙනවා ෴


හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(28.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම පොලීසිය හා එක්ව සිලාවතුර ප්‍රදේශයේ ඊයේ (27) දින සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි, එම පුද්ගලයා සන්තකයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ හෂීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 893 ක පමණ පාර්සලයක් හමුව ඇති අතර මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් හෂීස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ අටකට (8) අධික වන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු විසිහතරක් (24) වන සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

ඔහු ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා ෴


ආහාර විෂ වීමකින් ළමුන් 27 ක් රෝහලේ

(28.04.2023 – 15:07 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නානුඔය ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් ‍27 දෙනෙකු ආහාර විෂ වීමෙන් අද (28) දින නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසනවා.

රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර ආහාර විෂවීම හේතුවෙන් වමනය හා ක්ලාන්තය තත්ත්වය ඇති වී තිබෙන බවයි.

ග්ලාසෝ විදුහලේ ප්‍රාථමික අංශයේ ළමුන්ගේ ආහාර විෂ විම සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කණ්ඩායමක් එම පාසල වෙත යවා ආහාර සාම්පල් කිහිපයක් ලබා ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන සඳහන් කළා.

කොන්ත්‍රාත් පදනම මත එම පාසලට ආහාර ලබාදෙන කොන්ත්‍රාත්කරු විසින් අද (28) දින එම පාසලේ ළමුන් 105 දෙනෙකුට බත්, පරිප්පු, සෝයාමිට්, ව්‍යංජනවලට අමතරව අතුරුපස වශයෙන් ගස්ලබු ලබා දි ඇති අතර එම ආහාර අනුභව කිරිමෙන් අනතුරුව ළමුන්ට මෙම රෝග ලක්ෂණ මතු වූ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

ළමුන්ට ලබාදුන් ආහාර සාම්පල් සහ ආහාර පිසිමට උපයෝගි කරගත් අමුද්‍රව්‍ය සාම්පල් කිහිපයක් ලබාගත් බවත්, එම ආහාර සාම්පල් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර ආහාර තත්ත්ව පාලන රසයනාගාරයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


“මගේ හීනය අනාගතයේ පොලිස්පති තනතුරට කාන්තාවක් පත්වනු දැකීමයි” – පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

(28.04.2023 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දින රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් ඔහුගේ සිහිනය වන්නේ අනාගතයේ පොලිස්පති තනතුර සඳහා කාන්තාවක් පත් වීම බව ප්‍රකාශ කළ සිටියා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ හැර අන්‍ය ජාතීන්ගේ නියෝජනයක්ද එම තනතුරට පත්වනු දැකීමද තමන්ගේ අපේක්ෂාවක් බවයි ඔහු පවසා සිටියේ.

මෙම සාකච්ඡාවේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ හිඟය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණු අතර, කාන්තා උප පොලිස් පරීක්ෂක තනතුර සඳහා 46% ක පුරප්පාඩු සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා 42% ක පුරප්පාඩු පවතින බව ද හෙළිවුණා.

ඒ අනුව, දැනට පුරප්පාඩුව පවතින කාන්තා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සහ කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරු හතර (4) සඳහා ද කාන්තා පොලිස් නිලධාරිනියන් පුහුණු කරන අතර, ඔවුන්ට වාසනාව පැවතුනහොත් එම තනතුරුවලට පත් විය හැකි බව ද පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කළා.

මෙතෙක් පොලීසිය පුරුෂාධිපත්‍ය සහිත ආයතනයක් පවත්වාගෙන ගියත් දැන් එම ක්‍රමවේදය වෙනස් විය යුතු අතර පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම කාන්තා පොලිස්පතිවරියක් යටතේ වැඩ කිරීමට සූදානම් විය යුතු බවයි ඔහු විසින් එහිදී වැඩිදුරටත් අවධාරණය කළ සිටියා.

ඒ අවස්ථාවේදී කෝප් කමිටු සභාපති ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියේ, අනාගතයේ කාන්තා පොලිස්පතිවරියක් සමග පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ ගමනක් යාමට තමන් සුබ පතන බවයි.

එහිදී, මේ සියල්ලට එරෙහිව තමන්ට ඇති එකම බාධකය වන්නේ, පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තා නිලධාරිනියන්ගේ හිඟය බවයි පොලිස්පතිවරයා පවසා සිටියේ.

එවිට කෝප් කමිටු සාමාජිකාවක් ලෙස අසුන්ගෙන සිටි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හරිනි අමරසූරිය පවසා සිටියේ, පොලීසියේ තිබෙන පුරුෂාධිපත්‍ය සංස්කෘතිය හේතුවෙන් කාන්තාවන්ට පොලීසියට ඇතුලත් වීමට තිබෙන බාධා ද ඉවත් කළහොත් පොලිස්පතිවරයාගේ සිහිනය සැබෑ කරගැනීමට වැඩි හැකියාවක් පවතින බවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *