ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට

ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට


ළමයින්ගේ පෝෂණ තත්ත්ව දර්ශකයන් පහළට

(28.04.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසරේ දී ළමයින්ගේ සියලුම ප්‍රධාන පෝෂණ තත්ව දර්ශකයන් පහත බැස තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අවුරුදු 5 ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම පිළිබඳ සිදු කළ නිල සමීක්ෂණයේ තොරතුරු උපුටා දක්වමින් මහ බැංකුව මේ බව සඳහන් කළා.

ඒ අනුව අවුරුදු 5 ට අඩු දරුවන් අතර වයසට සරිලන උස නොමැතිවීම, උසට සරිලන බර නොමැති වීම සහ අඩු බර යන දර්ශක තවදුරටත් පහත බැස තිබෙනවා.

අවුරුදු පහට අඩු ළමයින් අතර අඩු බර ළමයින්ගේ ප්‍රතිශතය පෙර වර්ෂයට සාපේක්ෂව සියයට 15.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම වයසට සරිලන උස නොමැති දරුවන්ගේ ප්‍රතිශතය සියයට 9.2 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

තවද 2021 වසරේ දී සියයට 8.2 ක් ලෙස දැක්වුණු උසට සරිලන බර නොමැති අවුරුදු 5 ට අඩු ළමයින්ගේ සංඛ්‍යාව සියයට 10.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

කෙසේ වෙතත් 2021 වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී අධිබර දරුවන් සංඛ්‍යාව සියයට 0.2 න් අඩු වී තිබීම කැපී පෙනෙනවා.

වයසට සරිලන උසක් නොමැති අවුරුදු 5 ට අඩු දරුවන් වැඩිම සංඛ්‍යාවක් සහ අඩු බර ළමයින් වැඩිම සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව මහ බැංකුව සඳහන් කළා ෴


කල් ඉකුත් වූ කඳුළුගෑස් අපහරණයට කෝපා කමිටුවෙන් උපදෙස්

(28.04.2023 – 08:59 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

කිසි විටෙකත් ඒවා භාවිත නොකරන බව ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් කෝපා කමිටුවට දැනුම් දුන් අතර කඳුළු ගෑස් අපහරණ ක්‍රියාදාමය දැනටමත් ආරම්භ කර ඇති බව ද සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගියදා කෝපා කමිටුව එහි සභාපති ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, ඊට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුලු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් එක්වුණා.

එහිදී කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පොලිසියට දැනුම් දුන්නේ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව කඳුළු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලාහල පාලනයේ දී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද වාර්තාවක් සකස් කර කමිටුවට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ හිඟය ඇතුළු ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, පොලිස් කොස්තාපල්වරියන් 2,419 ක පුරප්පාඩු පවතින බවයි එහිදී හෙලිවුණේ.

මේ අතර, පොලිස්පතිවරයා කෝපා කමිටුව හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සඳහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩපිලිවෙල ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවද ඔහු එහිදී සඳහන් කළා.

එමෙන්ම, නවීන තොරතුරු තාක්ෂණය භාවිත කරමින් කාර්යක්ෂම සේවාවක් සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත තොරතුරු තාක්ෂණ වැඩපිලිවෙල පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත ලබාදීමට ද කෝපා කමිටුව පොලිසියට දැනුම් දී තිබෙනවා ෴


ජාතික වෙසක් උත්සවය හලාවත දී

(28.04.2023 – 09:02 +0530 – hirunews.lk/sinhala)

මෙවර ජාතික වෙසක් උත්සවය හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මේ බව නිවේදනය කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ආගමික උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි.

මෙවර වෙසක් සතිය මැයි මස 02 වන දා සිට 08 වන දක්වා පැවැත්වීමට නියමිතයි.

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරනු වස් සමරනු ලබන මෙම වෙසක් උත්සවය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් උත්සවයක් ද වනවා ෴


දේශපාලන පක්ෂ රැසක් මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට සූදානම්

(28.04.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සිය මැයි දින රැලි සහ පෙළපාලි පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් කියා සිටියේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02 ට එය ආරම්භ කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය මැයි දින රැලිය මෙවර පවත්වනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹ – පී.ඊ. ගුණසිංහ ක්‍රීඩාගනයේ දීයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැලියේ පෙළපාලිය මෙවර බී.ආර්.සී. ක්‍රීඩාංගනයෙන් ආරම්භ කර විහාර මහාදේවී උද්‍යානය දක්වා පැමිණ එම උද්‍යානය අසල දී මැයි දින රැලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැලිය මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා ෴


විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුගතකරණයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

(28.04.2023 – 09:30 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙලට තාක්ෂනික සහ මුල්‍යමය අනුග්‍රහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, විෂයභාර අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට ප්‍රධානියා ඇතුලු එහි විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රවීනයන් සමඟ ඊයේ (27) පැවති සාකච්ඡාවකදියි.

මෙහිදී ඉදිරි වසර හතරක (4) කාලසීමාව සඳහා ණය ආධාර වෙන් කිරීමටද ආසියානු සංවර්ධන බැංකුව එකඟවූ බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

විදුලිබල ක්‍ෂේත්‍රය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, විදුලි ගාස්තු, විදුලිබල ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා ෴


දකුණේ තවත් වෙඩි තැබීමක්

(28.04.2023 – 09:32 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල – වලස්ගල දෙමටපිටිය මංසන්ධියේදී නාඳුණන පුද්ගලයින් දෙදෙනෙකු (2) යතුරුපැදියකින් පැමිණ ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඔහු දික්වැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙමටපිටිය ප්‍රදේශයේම පදිංචි 47 හැවිිරිදි පුද්ගලයෙක්.

මොහු දෙමටපිටිය මංසන්ධියේ බුලත්කඩයක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඊයේ (27) රාත්‍රියේ වෙළඳසැල වසා නිවසට යමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴


උසස් අධ්‍යාපනයේ වගකීම් රාජ්‍ය ඇමති සුරේන්ට

(28.04.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන්ට අයත් විෂයන් සහ ආයතන ගැසට් කර තිබෙනවා.

ඒ අනුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල, පශ්චාත් උපාධි ආයතන හා අනෙකුත් ආයතන, බුද්ධ ශ්‍රාවක සහ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මෙන්ම, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට යටතටයි පවරා ඇත්තේ ෴


අයි.එම්.එෆ්. ගිවිසුම පාර්ලිමේන්තුවට දාලා නැහැ, ඒත් ඡන්දෙ තියෙනවා – පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල

(28.04.2023 – 10:44 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් ඒ වෙනුවට විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ කළ ඉල්ලීම පමණක් ඉදිරිපත් කර තිබෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (27) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

තව ද එතුමා සඳහන් කළේ ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳ කිසිදු දැනුවත් විමක් නොමැතිව වාද විවාද පවත්වන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සම්බන්ධව දින තුනක (3) විවාදයක් මේ දිනවල පාර්ලිමේන්තුවේ දී පැවත්වෙනවා.

විවාද‍යේ දී වැඩිදුර අදහස් දක්වමින් එතුමා සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමේ කොන්දේසිවලට තම පක්ෂය විරුද්ධ වන බවයි.

පාර්ලිමේන්තුවේ දී වැඩිදුර අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෙසේ ද පැවසීය.

“සභාපතිතුමා දැන් අපි අයි.එම්.එෆ්. ගිවිසුම ගැන කතා කලාට තවමත් ගිවිසුම සභාවට ඉදිරිපත් කරලා නෑ. මේ ඉදිරිපත් කරලා තියෙන්නේ විස්තීරණ අරමුදල් පහසුකම් යටතේ කළ ඉල්ලීම විතරයි. නමුත් ඉදිරිපත් කරන්න ඕනේ ගිවිසුමයි. ගිවිසුමක්වත් නැතුව තමයි අපි මේ වාද විවාද කරන්නේ. ගිවිසුමේ මොනවද තියෙන්නේ කියන්නවත් අපි දන්නේ නෑ. අපි ජනාධිපතිතුමාට කිහිප සැරයක්ම කිව්වා ගිවිසුමේ අඩංගු කරුණු අපිට ලබා දෙන්න කියලා නමුත් කිසිම කරුණක් අපිට ලබා දුන්නේ නෑ.”


තවත් සංචාරක මගී නෞකාවක් කොළඹ වරායට

(28.04.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

මලයාසියාවේ සිට සංචාරකයින් 900 ක් රැගත් ‘වයිකිං මාස්’ මගී නෞකාව අද (28) උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.

කාර්ය මණ්ඩලය 435 කින් සමන්විත එම නෞකාවේ සිටින සංචාරකයින් කොළඹ, පින්නවල සහ මහනුවර ඇතුළු ස්ථානවල සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාව හෙට (29) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව කොළඹ වරාය මගී පර්යන්තයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළට සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුව තිබෙනවා ෴


ඉසඩ්-ඩී ඇලට වැටී අලියෙක් මියයයි

(28.04.2023 – 12:38 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මාදුරුඔය ජලාශයෙන් වගා බිම්වලට ජලය ගෙන යනු ලබන ඉසඩ් ඩී (z-D) ඇලට වැටී ජල පාලක දොරටුවක් තුළ සිරව මිය ගිය වන අලියෙකු ගොඩ ගැනීමට පිඹුරත්තෑව අඩවි වනජීවී කාර්යාලයේ නිළධාරීන් ඊයේ (27) සමත් වුණා.

මාදුරුඔය රක්ෂිතයේ සිට ආහාර සොයා ගම්වැදුණු වන අලියෙකු මීට දින 3 ට ඉහත දී මෙම ඇලට වැටී මිය ගොස් තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

වනජීවී නිළධාරීන් පවසා සිටින්නේ මෙලෙස ඉසඩ්-ඩී ඇලට වැටී මියගොස් ඇති වන අලියා වයස අවුරුදු 20-25 ත් අතර වයසේ පසුවන වන අලියෙකු බවයි.

අරලගංවිල දඹගහඋල්පත ප්‍රදේශවාසීන් විසින් ඉසඩ්-ඩී ඇලෙහි ජලය භාවිත කිරීමේ දී එම ඇලේ ජලය දැඩි දුර්ගන්ධයක් සහිත වීම හේතුවෙන් ඒ පිළිබඳව පිඹු‍රත්තෑව වනජීවී කාර්යාලයේ නිළධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ සොයා බැලීමේදී යි මෙලෙස මිය ගොස් සිටි අලියා දැක ගැනීමට හැකිව තිබුණේ.

ඒ අනුව මෙම වන අලියා ගොඩට ගැනීමේ මෙහෙයුමක් ඊයේ (27) දහවල් ආරම්භ කළ අතර අලියා සිරව සිටි ජල පාලක ගේට්ටුව සම්පූර්ණයෙන් විවෘත කොට වන අලියා ඉන් ඉවතට යාමට සලස්වා බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් අලියාගේ සිරුර ගොඩට ගත් බවයි වාර්තා වන්නේ.

ගොඩට ගැනුණු වන අලියාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී නිළධාරීන් විසින් අද (28) සිදු කිරීමට නියමිත අතර මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු පිඹුරත්තෑව අඩවි වනජීවී කාර්යාලයේ වනජීවී නිළධාරීන් විසින් සිදු කරනු ලබනවා.

+


මරණ පරීක්ෂකවරියකට පහරදීමක්

(28.04.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ අද (28) දින හදිසි මරණ පරීක්ෂකවරියට එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

උදෑසන රාජකාරියට වාර්තා කිරීමට මරණ පරීක්ෂක කාර්යාලයේ දොර විවෘත කිරීමේ දී එම දොර ආසන්නයේ සැඟව සිටි පුද්ගලයෙකු මෙලෙස පහර දී පළා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පහර දුන් පුද්ගලයා සොයා මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *