පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට

පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට


පුතාගේ මුදල් අවභාවිතය හේතුවෙන් පියා මරුට

(27.04.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala)

පුත්‍රයා විසින් තමන් සතු ව්‍යාපාරයේ මුදල් අවභාවිත කිරීම හේතුවෙන් මවක් සහ පියෙකු සියදිවි හානිකර ගැනීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් එන්නත් කර ගැනීමේ සිදුවීමක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම යුවළගේ දියණිය විසින් ඔවුන් දෙදෙනාව (2) පසුගිය 12 වැනිදා කොළඹ ජාතික රෝහළට ඇතුළත් කිරීමෙන් අනතුරුව පියා මිය ගොස් ඇති බවයි රෝහල් බලධාරීන් පවසන්නේ.

වසර ගණනාවක සිට සීට්ටු ක්‍රමයට මුදල් හුවමාරු කිරීම මෙම යුවළගේ ව්‍යාපාරය වී තිබුණා.

රුපියල් දෙකකින් (2) ආරම්භ කළ මෙම ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියට පැමිණ ඇති අතර වසර 25 කට අධික කාලයක් ඔවුන් මෙම ව්‍යාපාරයේ නිරත වී තිබෙනවා.

මාස තුනකට (3) පමණ පෙර සැමියා පිළිකා රෝගයකට ලක්වීම හේතුවෙන් බිරිඳට මෙම මුදල් එකතු කිරීමේ කටයුතු බාර දී තිබූ බවයි වාර්තා වෙන්නේ.

පස් (5) දරු මවක් වූ ඇය, ඇගේ එක් (1) පුතෙකු එම ව්‍යාපාරයේ මුදල් එකතු කිරීමේ කටයුතුවලට එක් කර ගැනීමට පියවර ගෙන තිබූ අතර අධික ලෙස සූදුවට ඇබ්බැහිව සිටි එම පුත්‍රයා ව්‍යාපාරයෙන් මුදල් සූදුවට යොදවා ඇති බය අනාවරණය වී තිබෙනවා.

පසුව සිය මුදල් ඉල්ලමින් නිවසට පැමිණි පුද්ගලයින් මෙම යුවළට පරුෂ වචන පැවසීම හේතුවෙන් ඔවුන් මානසික පීඩාවකට ලක් වී සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

ඉන්පසුවයි ඔවුන් දෙදෙනා (2) විසින් විස්තර සහිතව ලිපියක් ලියා දෙදෙනාම (2) ඉන්සියුලින් අධිමාත්‍රාවක් ශරීර කරගෙන ඇත්තේ.

මියගිය පුද්ගලයා ඉන්සියුලින්අධි මාත්‍රාවක් ගෙන ඇති නිසා මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.එල්.එම්. සේනානායක විසින් අනාවරණය කරගෙන තිබෙනවා ෴


2022 මහ බැංකු වාර්තාව ජනපතිට පිළිගන්වයි

(27.04.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගන්වනු ලැබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04 කින් සමන්විතයි.

වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08 කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30 කින් පළමු (1) කොටස සමන්විත අතර දෙවන (2) කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වෙනවා.

මෙම වාර්තාවේ තෙවන (3) කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු හා ඒවාට අදාළ කාර්යභාරයන් පැහැදිලි කරන අතර රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති හා අණපනත්වල ලේඛනයක් සිව්වන (4) කොටසට ඇතුළත් වෙනවා.

මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට, අදාළ වර්ෂය අවසන් වී මාස 04 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතු වෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය යන පිරිස මෙම අවස්ථාව සමඟින් සම්බන්ධ වූ බවයි වාර්තා වෙන්නේ.

+


වගා ලිඳට වැටුණු අලියා මුදා ගැනේ

(27.04.2023 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ගල්කිරියාගම අලුත්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ලිඳකට වැටී සිටි ඇස් පෙනීමේ දුර්වලතාවයකින් යුත් වන අලියකු නිරුපද්‍රිතව ගොඩ ගෙන රක්ෂිතයට පලවා හැරිමට ගල්කිරියාගම වනජිවි නිලධාරින් අද(27) සමත් වී තිබෙනවා.

අලුත්වැව ප්‍රදේශයේ පිහිටි කුඹුරු ඉඩමක තිබූ අනාරක්ෂිත වගා ලිඳකට එම අලියා වැටි සිටි අතර එම අලියා ඇස් පෙනීමේ දුරුවලතාවයකින් පෙළෙන එකෙකු බව වනජීවි නිළධාරීන් පැවසුවේ.

කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ඊයේ (26) රාත්‍රියේ ගම්වැදුණු අවස්ථාවේ මෙම අලියා වගා ලිඳට වැටී ඇතැයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළා.

ලිඳට වැටුණු අලියා ඉන් ගොඩ ඒම සඳහා මහත් පරිශ්‍රමයක් යොදා තිබූ අතර එම උත්සහයන් ව්‍යාර්ත වී තිබුණා.

ඒ අනුව ජේසීබී යන්ත්‍රයක් යොදා ගෙන එම වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමට ගල්කිරියාගම වනජීවි නිලධාරීන් කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පැය දෙකක (2) පමණ කාලයක් තිස්සේ සිදු කළ මෙහෙයුමකින් පසුව එම වන අලියා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

එම ස්ථානයට පැමිණි ගල්කිරියාගම පොලිස් ස්ථානයේ නිලධාරින් හා එම ප්‍රදේශවාසීන් ද අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම සදහා වනජිවි නිලධාරින්ට සහය වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

+


සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

(27.04.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

සුඩානයේ, පෝර්ට් සුඩාන්හි ස්ථාපනය කළ තාවකාලික මෙහෙයුම් කාර්යාලය වෙත පැමිණෙන ලෙස සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි සඳහන් කළේ පෝර්ට් සුඩාන්හි එම මෙහෙයුම් කාර්යාලය ශ්‍රී ලංකාවේ ඉල්ලීමකට අනුව ස්ථාපනය කර ඇති බවයි.

මේ අතර ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් දැනට සෞදි තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් පෝර්ට් සුඩානි නගරයේ හෝටලයක් තුළ තාවකාලිකව රඳවා සිටිනවා.

පවතින තත්ත්වය මත ශ්‍රී ලාංකිකයින්ට දුරකථන පහසුකම් ලබාදීමටද අපහසු වී ඇති බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම පවතින තත්ත්වය මත අවශ්‍ය මැදිහත්වීම් සඳහා සෞදි තානාපති කාර්යාලයේ වෙනම නිලධාරියෙකු අනියුක්ත කර ඇති අතර තොරතුරු ලබාදීම සඳහා 00 24 99 99 10 757 දුරකථන අංකය හදුන්වා දී තිබෙනවා.

සුඩානයේ ක්‍රියාත්මක මිලිටරි පාලන ක්‍රමවේදයට අනුගත විවිධ කණ්ඩායම් අතර ගැටුම් හටගත්තේ පසුගිය 15 වනදා සිටයි.

ගැටුම්වලට මැදිවූ සුඩානයේ වැසියන් 450 කට අධික පරිසක් මියගිය අතර 4000 කට අධික පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙනවා.

ගැටුම්වලට මැදිවූ ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු සුඩානයෙන් ඉවත්කරගෙන ඇති අතර ඔවුන් සෞදි අරාබියේ ජෙඩා නගරයට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (26) සඳහන් කළා.

මේ අතර, මෙවන් පසුබිමක ඕමානයේ රැකියා ලබාදෙන බව පවසමින් විදේශ නියෝජිත රැකියා ආයතන හරහා ඕමානයට ගොස් අතරමංව සිටින ශ්‍රී ලාංකීය කාන්තාවන් පිරිසක් පිළිබඳ තොරතුරු හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඔවුන් මේ වනවිට තානාපති කාර්යාලයේ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටිනවා.

+


‘කුඩු සලිඳු’ සහ ‘හරක් කටා’ බලන්න කොටුව මහේස්ත්‍රාත් CIDයට

(27.04.2023 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් රැඳවුම් භාරයේ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (2) වන ‘කුඩු සළිදු’ සහ ‘හරක් කටා’ නිරීක්ෂණය කළා.

එසේම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ‘පානදුර චුට්ටේ’ හෙවත් ‘තෙවරාසගේ අමිල සුසිර ප්‍රනාන්දු’ ද මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

සැකකරුවන්ට පහරදීම් සිදුව තිබේ ද, අවශ්‍ය පහසුකම් පවතී ද? යන කරුණු එහිදී නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත්වරයා ගැටලුවක් නොමැති බව ඔවුන් ප්‍රකාශ කළ නිසා ඊට අදාළව සටහන් යොදනු ලැබුවා ෴


ඩෙල්ෆ් සිදුවීමේ මරණ ගණන 6 දක්වා ඉහළට

(27.04.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා ඩෙල්ෆ් දුපතේ සිදු වූ බහු ඝාතන සිදුවීමෙන් අනතුරුව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව අද (27) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධ මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබුණා.

මියගොස් තිබුණේ වයස අවුරුදු 70 ඉක්ම වූ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු, එක් අයෙකුගේ ස්වාමි පුරුෂයෙකු සහ තවත් ඥාති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධියේ දී කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ අතර ඇයව යාපනය රෝහලට ඇතුළත් කළ බව වාර්තා වූ අතර මෙසේ අද (27) දින මිය ගොස් ඇත්තේ අදාළ කාන්තාව බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් 51 හැවිරිදි ජර්මන් පුරවැසි භාවය හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයා නිවැසියන් පිරිස ඝාතනය කර කුරිකට්ටුවාන් ප්‍රදේශයට බෝට්ටුවකින් පළාගොස් තිබූ අතර පසුව පුන්ගුඩුතිව් ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුණා ෴


IMF ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීමට සහභාගීවීමට නොහැකියි – මෛත්‍රීපාල සිරිසේන

(27.04.2023 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව හෙට (28) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සහභාගීවීමට නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කෙසේ වෙතත් ඔහු ඊයේ (26) සඳහන් කළේ මෙම ඡන්ද විමසීමේ දී නිදහස් පක්ෂය ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශකරන බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් අද (27) ඔහු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළ අතර එහි දැක්වුණේ අත්‍යවශ්‍යම කරුණකට කොළඹින් බැහැරට ගමන් කිරීමට සිදුවීම නිසා ඡන්ද විමසීමට සහභාගිවිය නොහැකි බවයි.

මෙය නිදහස් පක්ෂයේ තීරණය බවද ඔහු එමගින් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුම පිළිබඳව හෙට (28) පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ නියෝජනය කරන නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා ෴


මානව හිමිකම් කොමිසමෙන් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන ඉල්ලීමක්

(27.04.2023 – 20:31 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමිනුයි කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

පුළුල් පරාසයක් තුළ සිදුකරන ජාතික සංවාදයකින් අනතුරුව ලබාගන්නා නිර්දේශද සහිතව පැහැදිළි ක්‍රියාකාරී සැලැස්මක් සහිතව එය ඉදිරියට යා යුතු බව මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

පසුගිය සතියේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිවිල් සමාජ කණ්ඩායම් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එහිදී ගොඩනැගුණු සංවාදය පදනම් කරගෙන මෙම කරුණු ඉදිරිපත් කරන බවත් ලිපියේ සඳහන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *