සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක්

සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක්


සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක්

(25.04.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

සිතුල්පව්ව ප්‍රදේශයේ වන්දනාවේ ගිය පිරිසකට වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඔවුන් විහාරස්ථානයේ නවාතැන් ගැනීමට එන අතරවාරයේ දී කැලේ සිටි මේ අලියා පාරට පැමිණ ගමන්ගත් බස් රථයට පහර දුන් බවයි වාර්තා වෙන්නේ.

මෙම සිදුවීම වන අවස්ථාවේ බස් රථය තුළ 30 කට ආසන්න පිරිසක් සිටි අතර වන්දනාකරුවන් ජනේලයෙන් පැන ගොස් තිබෙනවා.

බස් රථයේ වීදුරු සියල්ල කැඩී විනාශ වී ඇති අතර ඒ තුළ තිබූ ආහාර සියල්ල අලියා විසින් පාගා දමා තිබූ බවයි වාර්තාකරු සඳහන් කළේ.

ප්‍රදේශයට පැමිණෙන සමහර වන්දනාකරුවන් වනඅලින්ට නිරන්තරයෙන් ආහාර ලබාදිම නිසා මෙම සතුන් වාහන නවත්වා ආහාර ලබාගැනීමට පුරුදු වී සිටිනවා.

මේ හේතුවෙන් වන්දනාවේ එන බොහෝ පිරිස් දැඩි අපහසුතාවයට පත්වෙනවා.

එමෙන් ම වනඅලි ගම් වදිමින් සිදු කරන වගාහානිවලින් ද අඩුවක් නොමැති බවයි ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් කියා සිටින්නේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ රිටිගල වනජීවී කළාපයට අයත් තම්මැන්නාගමට පැමිණි වනඅලි රංචුවක් වගාකර තිබූ ගොඩ බෝග රැසක් විනාශකර දමා තිබෙනවා.

හුරුලුවැව සහ මාන්කට්ටිය වැව් රක්ෂිතවල නිරන්තරයෙන් ගැවසෙන වනඅලි රංචු හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවයට පත් ව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

කෙසෙල් , වට්ටක්කා, පොල්, පිපිඤ්ඤා වැනි ස්ථීර මෙන්ම ගොඩ බෝග රැසක් ද වනඅලි රංචුව විසින් විනාශ කර දමා තිබෙනවා.

මෙම ගැටලු සම්බන්ධයෙන් බළධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට කිසිවෙකුත් සමත් වී නැති බවයි අප ප්‍රාදේශීය වර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴


නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

(25.04.2023 – 18:35 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ උතුරු මුහුදු තීරයේ දී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විත්තිකරුවන් 05 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ගත් තීරණයට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීම සඳහා අදාළ තීන්දුව ලබා දුන් කොළඹ මහාධිකරණය වෙත භාරදී ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා උතුරු මුහුදේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කරමින් සිටිය දී මෙම විත්තිකරුවන් පස්දෙනා (05) නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරනු ලැබූ අතර, දීර්ඝ නඩු විභාගයකින් විත්තිකරුවන් පසුගිය 06 වැනිදා නිදොස් කොට නිදහස් කළේ එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම හේතුවෙන් ෴

+


වැඩි මිල බිත්තර – කල් පැන්න කිරිපිටි විකුණපු වෙළඳුන්ට දඩ

(25.04.2023 – 20:11 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවන ලද නඩු 19 ක් සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරකරණය මගින් රුපියල් මිලියන 1.9 ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ බව හෙළිවූයේ එම අධිකාරිය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගිනුයි.

බිත්තර වැඩි මිලට අලෙවි කළ වැල්ලවත්ත සුපිරි වෙළඳසැළකට රු. 500,000/- දඩ මුදලක් ද මරදාන, කිරුළපන හා අංගොඩ යන ප්‍රදේශයන්හි සිල්ලර වෙළඳසැල් 09 කට රුපියල් මිලියන 1.3 ක දඩ මුදලක් ද නියම කර ඇති බවයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ.

කොළඹ දී සිදු කළ වැටලීමක දී සොයා ගන්නා ලද මිලියන 2.2 කට අධික, කල් ඉකුත් වූ කිරිපිටි තොගයක් ද රු. 200,000/- ක් වටිනා ආනයනික චොකලට් සහ බිස්කට් තොගයක් ද විනාශ කිරීමටයි ගරු අධිකරණය නියෝග කර තිබෙන්නේ.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත හා විධාන උල්ලංඝනය කරන වෙළඳුන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන්නේ ෴


2023 පළමු (1) කාර්තුවේ රැස්කළ බදු ආදායම ඉහළට

(25.04.2023 – 21:30 +0530 – hirunews.lk/sinhala)

2023 පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 316.6 ක බදු ආදායමක් උපයා ඇති අතර පසුගිය වසරේ අදාළ කාලසීමාවේ දී ලබා ඇති බදු ආදායම රුපියල් බිලියන 146.5 ක් බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එය පසුගිය වර්ෂයට සාපේක්ෂව 216 % ක් වර්ධනයක් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2023 වසරේ මුල් කාර්තුවේ ලද බදු ආදායමටල සංස්ථාපිත හා සංස්ථාපිත නොවන ආදායම් බදු වශයෙන් රුපියල් බිලියන 109.2 ක් උපයන විට ගෙවීම් බද්ද හෝ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු රුපියල් බිලියන 25.5 ක් රඳවා ගැනීමේ බදු රුපියල් බිලියන 26.6 ක් සහ එකතු කළ අගය මත බදු රුපියල් බිලියන 113.5 ක් ද ඇතුළත්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, රජයේ නව බදු ප්‍රතිපත්තිය, රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම මෙන්ම බදු පරිපාලනයේ කාර්යක්ෂමතාව වර්ධනය වීම ආදි කරුණු මෙලෙස බදු ආදායම ඉහළ යාමට හේතු වී ඇති බවයි.

මේ අතර කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙරට බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආධාර ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇති බවයි.

+


අද (25) එළවළු මිල

(25.04.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

ලීක්ස්, බීට්රූට් සහ බෝංචි මිල ගණන් අදත් (25) තදාසන්න ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක රුපියල් 180 ත් 250 ත් අතර මිලක සටහන් වුණා.

මැනිං වෙළඳපොලේ මෙන්ම මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ද එම මිල ගණන් දක්නට ලැබුණු අතර, උඩරට ආර්ථික මධ්‍යස්ථානවල අදාළ මිල ගණන්වල ඇතැම් විට දක්නට ලැබුණේ අඩු අගයක්.

ඒ අනුව මැනිං වෙළඳපොලේ රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි වූ බෝංචි කිලෝග්‍රෑමයක් කැප්පෙටිපොල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල රුපියල් 150 ක පමණ තොග මිලකට අලෙවි වී තිබුණා.

ලීක්ස්, මැනිං වෙළඳපොලේ රුපියල් 160 ක තොග මිලකට අලෙවි වූ අතර, කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ සහ නුවරඑළියේ ලීක්ස් මිල ගණන්වල තරමක වැඩිවීමක් දක්නට ලැබීමද විශේෂත්වයක්.

පහතරට එළවළු මිල ගණන් අනුව වම්බටු කිලෝග්‍රෑමයක මිල මැනිං වෙළඳපොලේ අද (25) සටහන් වූයේ රුපියල් 150 ත් 180 ත් අතර අගයකයි.

මෑකරල් රුපියල් 120 ට අඩුවෙන් අලෙවි වුණා.

ආනයනික අර්තාපල් තවදුරටත් රුපියල් 160 ට අඩු අගයක් ගන්නා අතර, දේශීය අර්තාපල් තොග මිල ගණන් රුපියල් 220 ත් 290 ත් අතර පැවතුනු බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ ෴


අද (25) සිට එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4 කින් ලොග් වීමේ පහසුකම?

(25.04.2023 – 23:06 +0530 – hirunews.lk/sinhala)

එකම WhatsApp ගිණුමකට උපරිම දුරකතන 4 කින් ලොග් වීමේ පහසුකම අද (25) සිට Meta වෙතින් හදුන්වා දී තිබෙනවා.

එය ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙ.

නිතිපතා ‘ස්මාර්ට් ෆෝන්’ කිහිපයක් භාවිතා කරන ඕනෑම අයෙකුට ප්‍රයෝජනවත් වන අයුරින් මෙම යාවත්කාලීන කිරීම සිදුකර තිබෙනවා.

මෙය පරිශීලකයින් බොහෝ පිරිසකගේ ඉල්ලීමක් මත සිදු කළ බවයි Meta සමාගම සඳහන් කර ඇත්තේ.

මෙසේ එකම ගිණුමකට ‘ලොගින් වීම’ වෙබ් බ්‍රවුසර්, ටැබ් යන්ත්‍ර හෝ ඩෙක්ස්ටෝප් පරිඝණක සමඟ ‘වට්ස්ඇප්’ සම්බන්ධ කරන ලෙස හා සමාන වෙනවා.

ඉදිරියේ දී මෙම නවමු අත්දැකීම විඳගැනීමට සුදානමින් සිටින ලෙසයි අදාළ සමාගම සිය පරිශීලකයින්ට දැනුම් දී ඇත්තේ ෴


ගල්කිරියාගම නිවසක් තුළ අභිරහස් මරණයක්

(25.04.2023 – 23:29 +0530 – hirunews.lk/sinhala)

ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ නිවසක් තුළ තිබී නරක්වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසියෙකු විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලබා දුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියක දීයි අදාළ මළ සිරුර සොයා ගෙන ඇත්තේ.

පොලිසිය සිරුර සොයා ගන්නා ලද අවස්ථාව වනවිට එම සිරුර අදාළ නිවසේ සාලයේ බාල්කයක එල්ලෙමින් තිබූ බව පොලිසිය පවසනවා.

මින් දින කිහිපයකට ඉහත දී එම පුද්ගලයා මිය යන්නට ඇතැයි පොලිසිය පවසන අතර මළ සිරු සොයා ගන්නා විටත් එම සිරුර බෙහෙවින් නරක්වී දුගද හමන තත්ත්වයක පැවැතුන බවයි වාර්තා වෙන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 57 හැවිරිදි අවිවාහක අයෙක්.

මිය ගිය අය තනිවම එම නිවසේ ජීවත්ව සිට ඇති අතර ගඩොල් කැපීම හා දෛනික කුලී කටයුතු සිදුකරමින් ජීවත්ව සිටි අයෙකු බව පැවැසේ.

මින් දින කිහිපයකට ඉහත දී මෙම පුද්ගලයා මරණයට පත්ව ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සොයා අනාවරණය කර ගැනීඹ සදහා අනුරාධපුර පොලිස් සොකෝ ඒකකය හා ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව අද (25) පස්වරුවේ එම ස්ථානයට පැමිණී කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් උදිත ප්‍රියංග බී ඒකනායක විසින් සිද්ධිය සම්බන්ධයෙන් වූ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සදහා එම සිරුර දඹුල්ල රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට නියමිතයි.


කල්පිටියේ මනස්කාන්ත ඩොල්ෆින් රැඟුම් – සැඩ රළ පරදමින් එන සංචාරකයන් (25.04.2023)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *