IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන

IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන


IMF ගිවිසුම නිසා සරසවි ඇඳුරන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකියි – බන්දුල ගුණවර්ධන

(25.04.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවී ඇති බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මේ අතර, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (25) කැළණිය විශ්වවිද්‍යාලයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් ඉවත්වී අදට (25) මසකට අධික කාලයක් ගත වනවා.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුමක් ලබාදීමට නොහැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ෴

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වලින් ඉවත්වීම සම්බන්ධයෙන් අද (25) පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක්වුණා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් මතුකල ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය සභානායක, සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය අද (25) දිනයේ ඒ සම්බන්ධයෙන් සුබවාදී පිලිතුරක් ලබාදෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ෴

මේ අතර, ලබන මස පළවනදා (මැයි 01) සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කරමින් රෙගුලාසි පැනවීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවුණා.

එසේම, ඉදිරි වසර 25 සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සහ අදාළ සියලු ප්‍රතිසංස්කරණ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා දස (10) දෙනෙකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.

එහි ප්‍රධානත්වය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් දරනු ඇති ෴

++++++++++

සරසවි ඇදුරන්ගෙන් කොන්දේසියක්

(25.04.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමන්ට අවස්ථාව ලබාදීමෙන් අනතුරුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක අද (25) පැවති මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්වූයේ රජය ගෙන යන බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින්.

සිය ඉල්ලීම් සඳහා රජය දිගින් දිගටම විසඳුම් ලබා නොදීම හේතුවෙන් තම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (25) පස්වරුවේ කැළණිය විශ්වවිද්‍යාලයේ දී රැස්වුණා.

පස්වරු දෙකට (02:00) ආරම්භ කළ මෙම හමුව පැය 3 කට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවී ඇති බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම සලකා බැලිය නොහැකි බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (25) එක්වෙමින් ප්‍රකාශ කළේ.

මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිවරයා අද (25) එහි කැඳවා තිබුණා.

එහිදී විභාග කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේ සිට පිළිතුරු පත්‍ර ඇගයීම් අවසාන වනතෙක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය මත එහි ගුණාත්මකභාවය පවත්වාගෙන යන බවයි.

ඒ සඳහා ආචාර්යවරුන් පෞද්ගලික මට්ටමින් දායක වන බව ද ඔහු සඳහන් කර තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා එහිදී කියා සිටියේ බදු පිළිබඳ ගැටලුවට විසදුමක් නොලැබීම හේතුවෙන් ඇගයීම් කටයුතුවලින් ඉවත්වීමට තම සම්මේලනය තීරණය කළ බවයි.

කෙසේ වෙතත් ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ කමිටුවක් පත් කර සාකච්ඡා කළ යුතු බවයි එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ.

එසේම ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලින් මෙම අවස්ථාවේ ඉවත් නොවී තම ඉල්ලීම දිනාගැනීමේ ක්‍රියාමාර්ගය උසස් පෙළ පිළිතුරු ඇගයීම් අවසාන වනතෙක් කල්දමන ලෙසයි ෴

+


උතුරු නැගෙනහිර හර්තාලයෙන් ජන ජීවිතයට බලපෑම්

(25.04.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙස බලකරමින්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් උතුර – නැගෙනහිර පළාත් තුළ අද (25) ක්‍රියාත්මක කර ඇති හර්තාල් ව්‍යාපාරය නිසා දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, මේ හේතුවෙන් උතුර පළාතේ වව්නියාව, යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය ඇතුළු නගර කිහිපයකම සහ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව නගරවල වෙළදසැල් වසා දමා ඇති බවයි.

පොදු ස්ථාන ආශ්‍රිතව පාළු ස්වභාවයක් ගෙන ඇති අතර ඇතැම් පාසල් විවෘත කර තිබුණ ද දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති අතර, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගියදා කියා සිටියේ සංශෝධන සහිතව මෙම කෙටුම්පත මෙම සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි ෴

+


මැලේරියා දිනය අදයි (25)

(25.04.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබෙනවා.

මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවධානම් කණ්ඩායම් හදුනා ගනිමු යන්න මෙවර එහි තේමාවයි.

වසර 14 කට පසු මැලේරියා රෝගී මරණයක් පසුගිය 15 වැනිදා මෙරටින් වාර්තා වූ අතර එහිදී මියගොස් තිබුණේ ටැන්සානියාවේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණි මැණික් ව්‍යාපාරිකයෙක්.

වසරේ මේ දක්වා ගතවූ කාල සීමාව තුළ මැලේරියා රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇති අතර පසුගිය වසරේ දී රෝගීන් 37 ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ නමුත්, මෙම සියලු‍ රෝගීන් විදේශ රටවල සිට පැමිණි අය බවයි මැලේරියා මර්දන ව්‍යාපාරය සදහන් කළේ.

මේ අතර, තුන්වන (3) කාණ්ඩයේ ඩෙංගු වෛරසයේ පැතිරයාමේ ප්‍රවණතාවක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴


අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු (1) සහ ගවයින් 7 දෙනෙකු මරුට

(25.04.2023 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ අකුණු ප්‍රහාර හේතුවෙන් තරුණයෙකු (1) සහ ගවයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

බලංගොඩ – ගොඩකුඹුර ප්‍රදේශයේ නිවසේ සිටියදී මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකු වන අතර, ඔහු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය සඳහන් කළා.

එමෙන්ම, බිබිල – මැදගම – අලංමුල්ල ප්‍රදේශයට ඊයේ (24) පස්වරුවේ ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ අකුණු ප්‍රහාරයක් හේතුවෙන් ගවයින් 7 දෙනෙකු මියගොස් තිබුණා.

මේ අතර, සබරගමුව, මධ්‍යම, උතුර මැද, ඌව සහ වයඹ යන පළාත්වලට සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාර්යායේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

+


උප්පැන්න සහතිකයක් නොමැති පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පතක්

(25.04.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala)

උප්පැන්න සහතිකයක් නොමැති වයස අවුරුදු 40 ඉක්මවු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත උප්පැන්න සහතිකයක් නොමැති පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින් වෙත යොමුකර ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ශ්‍රී ලාංකිකයෙකු හට අදාළ ප්‍රාදේශීය සීමාව තුළදී උපන්නේ නම්, ප්‍රදේශීය ලේකම් කාර්යාල ලේකම්ගෙන් නීත්‍යානුකූලව උප්පැන්න සහතිකය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

මීට පෙර ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද උප්පැන්න සහතිකයක් අවශ්‍ය වූ අතර මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එසේ අවශ්‍යය නොවේ ෴


ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට වෙනම කමිටුවක්

(25.04.2023 – 15:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා වෙනම කමිටුවක් පත් කර ඇති බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

අද (25) පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෑතක දී සිදු වූ අඩුපාඩු සහ ඒවා නිවැරදි කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හිදී කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලන්කන් යානය පිළිබඳව දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සංචාරක සංවර්ධන කමිටුවේ නිර්දේශ මත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් සඳහා විශේෂ කවුන්ටරයක් ඊයේ (24) පස්වරුවේ සිට විවෘත බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා තහවුරු කරනවා ෴


ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙකු අල්ලයි

(25.04.2023 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී පසුගිය වසරේ ජනවාරි 27 වනදා ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබූ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවි දෙකක් (2) ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

දැනට රැඳවුම් නියෝග මත සිටින මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සළිඳු මල්ෂික ගුණරත්න’ හෙවත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි 21 හැවිරිදි පානදුර – උයන්කැලේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

‘කුඩු සළිඳු’ සමඟ මෙම සැකකරු මිනීමැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර ඇත්ද යන්න පිළිබඳව මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එසේම සොයාගන්නා ලද ගිනි අවි භාවිත කර අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබඳවද විමර්න සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුව පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා ෴


හෙට (26) සිට සතියක් බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන වැඩසටහනක්

(25.04.2023 – 18:17 +0530 – hirunews.lk/sinhala)

හෙට (26) සිට මැයි 02 වැනිදා දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කළේ වසරේ මේ දක්වා වාර්තාවූ ඩෙංගු රෝගීන්ගෙන් 49% ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව, ඩෙංගු වැඩි අවදානමක් සහිත සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කේන්ද්‍ර කරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

ජනතාව දැනුවත් කිරීම, නිවාස සහ පරිශ්‍ර පරීක්ෂා කිරීම, ඇතුලු කටයුතු මෙන්ම මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පාර්ශවයන්වලට නීතිමය පියවර ගැනීමද මෙහිදී සිදුවන බවයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසුවේ ෴


රුපියල් ලක්ෂ 8 කට අධික මුදල් සොරකමක්

(25.04.2023 – 18:14 +0530 – hirunews.lk/sinhala)

බඩල්ගම කටුකෙන්ද ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මුදල් සොරකමක් සිදුකල පුද්ගලයෙකු බඩල්ගම පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ අත්තඩංගුවට ගත් සැකකරු විසින්ම පසුගිය අප්‍රේල් මස 15 වැනිදා සොරකමක් සිදු වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

මෙලෙස අස්ථාන ගත වූ මුදල රුපියල් ලකෂ 8 ක් බව වාර්තා වනවා.

ඉන්පසු බඩල්ගම පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් මෙම ආයතනයේ මුරකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු විසින් ආයතනයේ ගොඩනැගිල්ලට ඇතුළු වී ලාච්චුව කඩා රුපියල් ලක්ෂ 8 කට අධික මුදලක් සොරාගෙන ඇති බවයි.

සොරාගත් මුදල් මුරකරු විසින් සිය නිවස පිටුපස වළ දමා ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුම නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *