පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට

පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට


පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා කතෝලික සභාවට

(25.04.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම වාර්තා ශ්‍රී ලංකා කතෝලික සභාවේ සභාපතිවරයා වෙත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අද (25) නිල වශයෙන් භාර දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ සියලුම වාර්තා මෙලෙස භාර දුන් බවයි අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සියලු වාර්තා මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොතිබූ අතර ඉන් කොටසක් පමණක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබුණේ 2021 වසරේදීයි.

එහි සියලු කොටස් ප්‍රසිද්ධියට පත් කරන ලෙස අවස්ථා කිහිපයකදී ම අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව රැසක් ඉල්ලීම් කර තිබෙනවා.

එවන් පසුබිමක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනයේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ සියලුම වාර්තා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් අද (25) පෙරවරුවේ ශ්‍රී ලංකා කතෝලික සභාව වෙත භාරදී තිබෙනවා.

කුරුණෑගල කතෝලික රදගුරු නිවසේදී ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමන් වෙත එම වාර්තාව නිල වශයෙන් භාර දුන් බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

++++++++++

පාස්කු ප්‍රහාරයේ ප්‍රසිද්ධ නොවූ වාර්තා අධ්‍යයනය කර ප්‍රකාශයක් කරනවා – රදගුරු සම්මේලනය

(25.04.2023 – 20:00 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා, රදගුරු සම්මේලනයේ සභාපති කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් විසින් එම සම්මේලනයට අද (25) ඉදිරිපත් කර තිබෙනවා.

එම රැස්වීම මහනුවර දී අද (25) ආරම්භ වූ අතර, කුරුණෑගල රදගුරු අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් කියා සිටියේ දෘඩ තැටි 6 ක අඩංගු අදාළ කරුණු පරීක්ෂා කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේවා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් තමන්ට භාරදුන් බව උන්වහන්සේ කියා සිටියා.

රදගුරු සම්මේලනය පදවි 12 ක් නියෝජනය කරනු ලබන කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් 15 දෙනෙකුගෙන් සමන්විතයි.

2019 සැප්තැම්බර් 21 වැනිදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවා.

දින 214 ක් පුරා වින්දිතයින් ඇතුළු පාර්ශව 457 දෙනෙකුගෙන් එම කොමිෂන් සභාව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

ඒ අනුව, සාරාංශගත පිටු 472 කින් සහ ඇමුණුම් 215 කින් සමන්විත ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි පළමුවැනිදා (01) භාර දෙනු ලැබුවේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතයි.

අනතුරුව, එම වාර්තාවේ කොටසක් පමණක් පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු අතර වෙලු‍ම් 22 ක් පාර්ලිමේන්තුවට හා මහජනතාවට ප්‍රසිද්ධ කෙරුණේ නැහැ.

ඒ ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු එහි ඇතුළත් බැවින් එම කොටස් ඉදිරිපත් නොකරන ලෙසට අවසන් වාර්තාව පිළිබද අධ්‍යයනයට පත් කළ කැබිනට් අනුකමිටුව සිදුකළ නිර්දේශයක් මතයි.

නමුත් එහි සියලු‍ කොටස් මහජනතාවගේ දැන ගැනීම සදහා ප්‍රසිද්ධ කරන ලෙසට අගරදගුරු හිමිපාණන් ඇතුළු පාර්ශව රැසක් අවස්ථා ගණනාවක දී ඉල්ලීම් ඉදිරිපත් කළා.

එවන් පසුබිමක පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශනයේ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ සියලු‍ම වාර්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකා කතෝලික සභාව වෙත භාරදී තිබුණා.

ඒ, රදගුරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණන් විසින් කුරුණෑගල රදගුරු නිවසේ දීයි.

ඒ අනුව, භාර ගත් වෙලු‍ම් සම්බන්ධයෙන් අධ්‍යයනයක් කර නුදුරේදීම සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ ෴


සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නිසා මිනිසුන් රෝග වලට ගොදුරු වීමේ අවදානමක්

(25.04.2023 – 11:26 +0530 – hirunews.lk/sinhala)

මෙරට පශු පාලනයේදී සතුන්ට අසීමිතව ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ හේතුවෙන් මිනිසුන් රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඉහළ යා හැකි බව පශු ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

ගව, කුකුළු සහ ඌරන් ඇතුළු සතුන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීම මේ වනවිට ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එම අධිකාරිය පෙන්වා දෙන්නේ.

එම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීමෙන් එම ප්‍රතිජීවක ඖෂධ මිනිස් සිරුරට ඇතුළු වීම නිසා මිනිසුන් රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ ඉහළ යා හැකි බැවින් එම ඖෂධ ලබාදීම පාලනය කළ යුතු බව එම අධිකාරිය අවධාරණය කර තිබෙනවා.

ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුවී ඇති අතර, එහිදී අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී ඇත්තේ වෙළඳපලේ පවතින පශු ඖෂධ සහ සත්ත්ව සනීපාරක්ෂක ද්‍රව්‍යවල ප්‍රමිතිය සොයා බලන ලෙසයි ෴


සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනය ගැන දැනුම්දීමක්

(25.04.2023 – 12:21 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වන දින ආරම්භ කිරීමට නියමිත බවත්, දින 10 ක් ඇතුළත විභාගය තියා අවසන් කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

එමෙන් ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බවයි.

මේ වන විට ප්‍රායෝගික පරීක්ෂණ අවසන් වී තිබෙන නිසා විභාග ප්‍රතිඵල ප්‍රමාදය අවම කර ගැනීමට හැකියාව ලැබෙන බව ද පසුගිය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කරන ප්‍රශ්න පත්‍ර 10 ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බව ද එතුමා වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++

“සාමාන්‍ය පෙළ නොලියා කෙලින්ම උසස් පෙළ කරන්න දෙන්න” – පා.ම. ඩලස් අලහප්පෙරුම

(25.04.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

අද (25) දින මැති සබයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් මෙවර පැවැත්වීමට නියමිත එක් සාමාන්‍ය පෙළ විභාගයක් නොපවත්වා එම සිසුන්ට කෙලින්ම උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් සිදු කළා.

එනම්, මෙම වසරේදී පැවැත්වීමට නියමිත 2022 සහ 2023 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාග දෙකෙන් (2) එක් (1) අවුරුද්දක විභාගය නොපවත්වා ඒ සියලු දරුවන් හට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් සපුරා ඇති බව සඳහන් කර සහතිකයක් නිකුත් කරන ලෙසටයි.

එලෙස සිදු කිරීමෙන් විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන දරුවන්ට අසාධරණයක් නොවෙන බවත් එසේ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව නැවත සුපුරුදු පරිදි සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ උසස් පෙළත්, දෙසැම්බර් මාසයේ සාමාන්‍ය පෙළත් කිරීමට හැකියාව ලැබෙන බවයි.

මන්ත්‍රීවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ, කලකට ඉහතදී එවැනි තීන්දුවක් ලන්ඩන් සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධව ගත් බවත් එයින් දරුවන්ට සහනයක් ලැබුණු බවත් ඒ නිසා මෙම තීරණය පිළිබඳ සලකා බලන ලෙසයි.

නමුත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ යෝජනාවට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළ සිටියේ, ලන්ඩන් විභාග ක්‍රමයේ ඇගයීම් ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ විභාග ක්‍රමවේදයට වඩා වෙනස් බවයි.

එසේ කිරීමට රටේ පවතින විභාග ඇගයීම් ක්‍රමය ජාන්ත්‍යන්තර ප්‍රමිතීන් ගැන අවධානය යොමු කර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට අවශ්‍ය වන අතර එය විශාල ක්‍රියාදාම‍යක් බව ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

එම නිසා අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම වසරේ (2023) කෙසේ හෝ උසස් පෙළ විභාග දෙකම පවත්වා ලබන වසරේ (2024) පෙබරවාරි මස සාමාන්‍ය පෙළ පවත්වා 2025 වසරේ හෝ 2024 වසරේ අග වනවිට පැවති සාමාන්‍ය ක්‍රමයට සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම උසස් පෙල උත්තර පත්‍ර ඇගයීම පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරු සාධනීය පිළිතුරක් අද (25) දින ලබා දුන්හොත් එම ගැටලුව විසඳීමය හැකි බවද ඔහු ප්‍රකාශ කළා.

තවද, දැනටමත් විෂයන් 10 කට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රධානීන් ඇගයීම් කටයුතු ආරම්භ කර ඇති බවත්, විභාග ප්‍රතිඵල ප්‍රමාදයකින් තොරව ලබා දීමට පියවර ගෙන ඇති බවද දැනුම් දුන්නා.

ඒ අනුව, න්‍යාත්මක පරීක්ෂණ හා සමගාමීව ප්‍රායෝගික පරීක්ෂණ තිබීමට ගුරු සංගම් එකඟ වී ඇති බව සඳහන්.

එමෙන්ම විභාග උත්තර පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වැඩි කරමින් ඇගයීම් මණ්ඩල පුළුල් කීරීමද සිදු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අවසාන වශයෙන් 2022 වර්ෂයට අදාළ සාමාන්‍ය පෙළ විභාගය මැයි (29) දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

+


ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්

(25.04.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව නැවත දැනුම් දෙන තුරු නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ ඊයේ(24) විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් පැවති ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේදී යි.

මෙම ඉන්ධන කෝටාව ඉහල නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන සැලසුමේ වෙනසක් නොවන බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

පසුගිය සති තුනේ (3) දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිලිබඳ දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බවද නිරීක්ෂණය වී තිබුනා.

එමෙන්ම ඉන්ධන කෝටාව ඉහල නැංවීමෙන් පසු QR කේතය අවභාවිතා කිරීම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ඉන්ධන හල් මඟින් ඉන්ධන කෝටාව වැඩි කිරීමට පෙර පෙට්‍රල් නිකුත් කිරීමේදී 24% ක් QR ක්‍රමයට පරිබාහිරව නිකුත් කර තිබුනා.

කෙසේ වෙතත් ඉන්ධන කෝටාව වැඩි කල පසු එය 14% දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ඉන්ධන හල් මඟින් ඩීසල් නිකුත් කිරීමේ දී 28% ක් වූ QR ක්‍රමවේදයට පරිබාහිරව නිකුත් කිරීම, ඉන්ධන කෝටාව වැඩිකල පසු 15% දක්වා පහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසනවා ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැන සිංගප්පූරු අධිකරණයේ නඩු පවරනවා – අධිකරණ ඇමති

(25.04.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ අද (25) ගොනුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඉන්දියාවේ හසීරා වරායේ සිට යාත්‍රා කළ මෙම ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.

නෞකාවේ තුළ නයිට්‍රික් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486 ක් තිබූ අතර, ගිනි ගන්නා අවස්ථාවේ දී ඉන් බහාලුම් විශාල ප්‍රමාණයක් මුහුදුබත් වී තිබුණා.

අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බව පසුගිය අප්‍රේල් 04 වනදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණ වුණා.

ඒ අනුව හානි පූර්ණය ගණනය කිරීමට විද්වත් කමිටුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම ද සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ නාරා ආයතනයට දැනුම් දී තිබෙනවා ෴

++++++++

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැන ආචාර්ය අජන්තා පෙරේරා ගෙන් ප්‍රකාශයක්

(25.04.2023 – 13:38 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් මෙරටට සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේ පවරන ලද නඩුව ඉදිරියට ගෙන යාමට නොහැකි වුවහොත් ඊට වියදම් කෙරෙන මුදල අධිකරණ අමාත්‍යාංශය දැරිය යුතු බව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා පවසනවා.

මෙම නඩුව සිංගප්පූරුවේ, ගොනුකිරීමේ දී ඒ සඳහා ඩොලර් මිලියන 04 ක් වැය වී ඇති බවත් ඉන් පසු නඩුව පවත්වාගෙන යාමේ දී මුදල් ගෙවන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හරහා මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට වන්දි ඉල්ලා සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඊයේ (24) පැමිණි අවස්ථාවේ දී ඇය මේ බව කියා සිටියා ෴

++++++++

‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි නඩුව පමා කරන්න ඩොලර් කෝටි 25 ක අල්ලසක් – විජේදාස රාජපක්ෂ

(25.04.2023 – 20:22 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවු හානියට අදාළ වන්දි ලබාගැනීම ප්‍රමාද කිරීම සදහා අල්ලස් ලබාගත් පුද්ගලයා සම්බන්ධයෙන් ලද තොරතුරු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවා.

එහිදි ඔහු සදහන් කළේ අදාළ වන්දි ලබාගැනීම වෙනුවෙන් වූ නඩුව අද (25) සිංගප්පුරු අධිකරණයේ ගොනුකරන බවයි.

පසුව ඊට අදාළ වන්දි නඩුව පමා කිරීම සඳහා ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගත් බව කියන ‘චාමර’ නමැත්තෙකු පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා කළ හෙළිදරව්වත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ද හටගත්තා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *