ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ

ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ


ඡන්ද හිමි නාම ලේඛනය පිළියෙළ කිරීම ඇරඹේ

(25.04.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

2023 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනය පිළියෙළ කිරීම ආරම්භ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචි හේවා ප්‍රකාශ කරනවා.

සභාපතිවරයා සඳහන් කළේ, ග්‍රාම නිලධරීන් විසින් නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කිරීම සිදුකරන බවයි.

අලුතින් නම් ඇතුළත් කිරීම සහ නම් ඉවත් කිරීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන ලේඛනය පිළියෙළ කිරීමට නියමිත බවද සභාපතිවරයා පවසනවා ෴

https://www.elections.gov.lk/


ආරක්ෂක අංශවල සේවා පිළිබඳ අවධානයක් යොමු කරන්න – සෞඛ්‍ය අංශ

(25.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

පවතින උෂ්ණාධික කාලගුණ තත්වය පහව යනතුරු ආරක්ෂක අංශවල අත්‍යාවශ්‍ය රාජකාරීවල සේවා මුර පිළිබඳ ආයතන ප්‍රධානීන් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ දී සේවා මුර සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීම යෝග්‍ය බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න සඳහන් කළේ ෴


සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ගැනීමට තැත් කළ දේවගැතිවරයෙකු අත්අඩංගුවට

(25.04.2023 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පාසැල් සිසුවෙකුගේ නිරුවත් ඡායාරූප ලබාගැනීමට තැත් කළ බවට සැකපිට සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ දේවගැතිවරයෙකු මෙම මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, ඔහු මිගමුව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ දේවගැතිවරයෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.

සැකකාර දේවගැතිවරයා 15 හැවිරිදි මෙම සිසුවාට නිරුවතින් සිට ‘වට්ස්ඇප්’ විඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙසට කිහිප අවස්ථාවකදී ඉල්ලීම් කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වනවා ෴


‘නවය ; සැඟවුණු කතාව’‍ අද (25) එළිදක්වයි

(25.04.2023 – 08:26 +0530 – hirunews.lk/sinhala)

‘ගෝල්ෆෙස් අරගලයේ ඇතුළාන්තය’‍ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව රචනා කළ ‘නවය ; සැඟවුණු කතාව’‍ විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීම කොළඹදී අද (25) සිදු කෙරෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසිනුයි මෙම කෘතිය රචනා වී ඇත්තේ ෴

++++++++++

Derana 360 With Wimal Weerawansa (24.04.2023)

++++++++++

ගාලුමුවදොර අරගල සුළියේ සැඟවුණු කතාව ‘නවය; සැඟවුණු කතාව’
විමල් වීරවංශ විසින් රචිත විමර්ශනාත්මක කෘතිය එළිදැක්වීම (25.04.2023)

ගාලු මුවදොර අරගලයත් සමඟ ඇතැම් පිරිසකගේ අරමුණ වී තිබුණේ හිටපු ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ප්‍රධානීන් ඝාතනය කර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අන්තර්කාලීන පාලනයක් පිහිටුවීම බවට ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (25) විශේෂ හෙළිදරව්වක් සිදුකළා.

ඒ, ගෝල්ෆේස් අරගලයේ හෙළි නොවූ ඇතුළාන්තය පිළිබඳව ලියැවුණු ‘නවය; සැඟවුණ කථාව’ නමැති කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින්.

2022 අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ ගාලුමුවදොර ‘ගෝඨා-ගෝ-ගම’ අරගල භූමිය, ජූලි 09 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම දක්වා මාස 04 ක කාලය තුළ සිදු වූ දේශපාලනික සමාජයීය සිදුවීම් මෙම කෘතිය මගින් පෙළගස්වා තිබෙනවා. (hirunews.lk/sinhala)

+


2025 දී සිදු වීමට ඇති දෙයක් ගැන ප්‍රභල හෙළිදරව්වක් – මොහාන් සමරනායක (22.04.2023)

+


ෂාෆ්ටර්ගේ මරණයට අදාළව බ්‍රයන් තෝමස්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවයි

(25.04.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යපාරයේ අධ්‍යක්ෂ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණයට අදාළව ප්‍රවීන ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස්ගේ ඩී.එන්.ඒ. වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබෙනවා.

ඒ මොහුගේ මරණයට අදාළ නඩුව අධිකරණය හමුවේ ඊයේ (24) කැදවූ අවස්ථාවේ දී.

සිද්ධියට අදාළව අධිකරණයෙන් පත් කළ කොළඹ විශ්වවිද්‍යාලයේ වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය අසේල මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුතු පංච (5) පුද්ගල විද්වත් මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලීම මත අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

දිනේෂ් ෂාප්ටර්ගේ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි තහවුරු කරගැනීම සදහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ෴


උතුරු නැගෙනහිර හර්තාල්

(25.04.2023 – 08:42 +0530 – hirunews.lk/sinhala)

උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද (25) දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්වයි.

ත්‍රස්ත විරෝධි පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිප‍යක් මුල් කර ගනිමින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් සඳහන් කළේ.

කෙසේ වෙතත් ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ’ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමනයට බාධා එල්ල විය හැකි බවයි ෴


නුවරඑළියේ ඉදිකිරීම්වලට සීමා

(25.04.2023 – 08:55 +0530 – hirunews.lk/sinhala)

2023 මැයි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 කට වඩා වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම්වලට සීමා පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි යටතේ නීති හදුන්වා දීමටයි යෝජනා වී ඇත්තේ.

මේ බව අද (25) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අනාවරණය කළා ෴


නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්

(25.04.2023 – 10:01 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (25) පැවති කැබිනට් තීරණ දනුම් දීමේ මාධ්‍ය හමුවේ දීයි.

තවද ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිත බවත් එය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබෙන බවත් සඳහන්.

රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන තිබෙන බව එම නිවේදනයේ සඳහන් වන අතර ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරෙන බවත් එහි සඳහන් ෴


අධික වර්ෂාවෙන් දැඩි දේපළ හානි

(25.04.2023 – 11:17 +0530 – hirunews.lk/sinhala)

මාතලේ දිස්ත්‍රිකයේ ප්‍රදේශ රැසකට ඊයේ (24) ඇද හැලුණු අධික වර්ෂාව හා සුළි සුළං තත්වය හේතුවෙන් ඇල්කඩුව ලෑලිඅ‍ඹේ ප්‍රදේශයේ නිවාස 6 ට හානි සිදු වී තිබෙනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු අවතැන් වී ඇති අතර එම ප්‍රදේශයේ ගස්, විදුලි කණු හා දුරකථන කණු මාර්ගය වෙත කඩා වැටිමෙන් ජනතාව දැඩි ලෙස පිඩාවට පත්ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මාතලේ දිස්ත්‍රිකයේ තුළ පසුගිය දින කිහිපයේදී ම කඩින් කඩ වැසි තත්වයක් පැවති අතර ඊයේ (24) රාත්‍රි කාලයේ දී පැවති වර්ෂාව හා සුළි සුළං තත්වය හේතුවෙන් ඇල්කඩුව ලෑලිඅඹේ මාතලේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් ම අඩාල වි ඇතැයි මාතලේ අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.

මාර්ගයන්ට කඩා වැටුණු ගස් ඉවත් කිරිම හා නිවාසවලට හානි විමෙන් අවතැන් වූ පුද්ගලයින් සඳහා දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් මත අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථාන වැඩිදුරටත් සඳහන් කළා ෴


සපත්තු යුගලක් ගෙනැවිත් නොදුන්නාට සිසුවෙකු සියදිවි නසාගෙන

(25.04.2023 – 12:02 +0530 – hirunews.lk/sinhala)

යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි බටහිර ප්‍රදේශයෙන් පාසල් සිසුවෙකු සියදිවි හානිකර ගැනීමේ පුවතක් වාර්තා වෙනවා.

ගෙළ වැළලාගෙන මෙලෙස මියගිය සිසුවා වයස අවුරුදු 14 ක වයසේ පසුවන අයෙක්.

පාපන්දු ක්‍රීඩාව සඳහා අවශ්‍ය වන පාවහන් යුගලක් සිය පියා විසින් රැගෙන විත් නොදීම හේතුවෙන් මෙලෙස සියදිවි නසාගෙන ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴


රුපියල් ලක්ෂ 24 ක රන් භාණ්ඩ සොරකමක්

(25.04.2023 – 12:56 +0530 – hirunews.lk/sinhala)

නාඋල – කණුමුලයාය ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 24 ක් වටිනා රන් භාණ්ඩ සහ රුපියල් 60,000 ක මුදලක් සොරාගෙන තිබෙනවා.

මෙම සොරකම සිදු ව ඇත්තේ ඊයේ (24) දහවල් කාලයේ දී බවයි සඳහන් වෙන්නේ.

මෙම සොරකම සම්බන්ධයෙන් ලැබි ඇති සී සී ටී වි දර්ශණ ඔස්සේ නාඋල පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නාඋල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *