උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් ලෑස්තියි

උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් ලෑස්තියි


උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ගුරුවරුන් ලෑස්තියි

(24.04.2023 – 21:52 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඕනෑම මොහොතක ආරම්භ කිරීමට සූදානම් බව, ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් මහතා පෙන්වා දෙන්නේ, ඒ සඳහා මේ වනවිට ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නැහැ.

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම අර්බුදයක් බවට පත්වූයේ ඒ සඳහා ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන බව පවසමින් ගුරුවරුන් එම ක්‍රියාවලියෙන් ඉවත් වීමත් සමඟයි.

ඉන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වර්ජනයක නිරත වුණා.

මේ අතරතුර ගුරුවරුන් ඉල්ලා සිටි දීමනාව ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ එකඟතාව පළ කිරීමෙන් අනතුරුව යළි පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා යොමුවීමට ගුරුවරුන් කැමැත්ත පළ කළා.

කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමෙන් ඉවත් වීම නිසා එම කටයුතු මේ දක්වා ආරම්භ වී නොමැති අතර, ඒ හේතුවෙන් 2023 සාමාන්‍ය පෙළ විභාගයද සති දෙකකින් (2) කල් දැමීමට සිදුවුණා.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධ අවසන් තීරණාත්මක සාකච්ඡාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (25) පැවැත්වීමට නියමිතයි.

මේ අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ද ප්‍රකාශ කළේ, සිසු දරුවන්ගේ ගැටලු විසඳීමට ගුරුවරු කඩිනමින් ක්‍රියා කළ යුතු බවයි ෴


2023 පළමු (1) කාර්තුව තුළ රුපියල් බිලියන 316 ක බදු ආදායමක්

(24.04.2023 – 18:27 +0530 – hirunews.lk/sinhala)

2023 පළමු (1) කාර්තුව තුළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 316 ක බදු ආදායමක් උපයා තිබනවා.

ඒ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා සඳහන්කර සිටියා

පසුගිය වසරේ එම කාර්තුවේ දී ආදායම් දෙපාර්තමේන්තුව රැස්කර ඇත්තේ රුපියල් මිලියන 146,565 ක් බදු ආදායමක්.

ඒ අනුව එය පසුගිය වර්ෂයේ පළමු (1) කාර්තුවට සාපේක්ෂව සියයට 216 ක වැඩිවීමකි.


මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(25.04.2023 – 06:47 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පදිංචි දමිළ ජාතිකයකු වෙත එවන ලද භාණ්ඩ අඩංගු ලී පෙට්ටි 2 ක් රේගු නිලධාරීන් විසින් ඊයේ (24) පරික්ෂා කර තිබෙනවා.

එහි තිබී මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 12 ක් බරැති පාර්සල් 24 ක් නිලධාරීන් විසින් රේගු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

අදාළ ලී පෙට්ටි 2 හි ව්‍යාජ පතුල් 2ක් සාදා එහි සූක්ෂම ලෙස සඟවා තිබියා දී මෙය සොයා ගත් බව රේගු ආරංචි මාර්ග පවසනවා.

මෙම භාණ්ඩ රේගුවෙන් නිදහස් කරගැනීම සඳහා භාණ්ඩ හිමිකරු බලය පැවරූ වාප්පු ලිපිකරුවෙකු ඉදිරිපත් වී තිබෙන අතර ඔහු ද මත්ද්‍රව්‍ය තොගය සමග රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 84 පමණ වන බවයි වාර්තා වෙන්නේ.


අකුණුසැර වැදී පුද්ගලයෙකු මරුට

(25.04.2023 – 06:51 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ ගොඩකුඹුර ප්‍රදේශයේ දී ඊයේ (24) දිනයේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා වයස අවුරුදු 18 ක් වන තරුණයෙක් බවයි වාර්තා වෙන්නේ.

අකුණු සැර වැදීමෙන් මෙම පුද්ගලයා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මිය ගිය බවයි මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ෴


කොළඹ හෝටල් හා සංචාරක ආරක්ෂාව ගැන දැඩි අවධානයක්

(25.04.2023 – 06:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක එම හෝටල්වල ආරක්ෂක ප්‍රධානින්ට දැනුම්දී තිබෙනවා.

ඒ සමඟම ඉදිරියේදී සංචාරක හෝටල්වලට ඇතිවිය හැකි ගැටලුවලට පිළියම් යොදන ලෙසද ඔහු උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශකවරයා කොළඹ සංචාරක හෝටල්හි ආරක්ෂක ප්‍රධානීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී මේ බව දැනුම් දී ඇති බව සඳහන්

එමෙන්ම වර්තමානයේ සංචාරක හෝටල් හා සංචාරකයන් මුහුණදෙන ආරක්ෂක ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත ෴


වෙනත් පුද්ගලයින්ගේ හැඳුනුම්පත් ළඟ තබා ගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(25.04.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මීරිගම පමුණුවත්ත ප්‍රදේශයේ දී විදේශ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීරිගම පොලිසියට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා (2) නිවසක් තුළ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මොවුන් සතුව වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැඳුනුම්පත් 08 ක්, රියදුරු බලපත්‍රයක් (01) සහ චෙක් පොත් 02 ක් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

තවද මෙම සැකකරුවන් දියබෙදුම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්ද පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ද වනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 31 සහ 32 යනව වයස් වල පසුවන දියබෙදුම හා මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (25) දින අත්තනගල්ල මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පාසල්වල ආහාර සැපයුමත් නතර වන ලකුණු

(25.04.2023 – 07:11 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පාසල්වල දිවා ආහාරය සැපයීමේ සේවාවන් බොහෝ පිරිසක් ඉවත්ව ඇතැයි අණාවරණය වෙනවා.

පවතින ආර්ථික අර්බුදය සමඟ එදිනෙදා වියදම් කළමනාකරණය කරගත නොහැකිව ආහාර සපයන පිරිස් දැඩි අර්බුද රැසකට මුහුණ දී ඇති බවටයි වාර්තා වන්නේ.

දකුණු පළාතේ පාසල්වල ප්‍රාථමික අංශයට දිවා ආහාර සපයන පුද්ගලයන්ට මේ වසරේ පෙබරවාරි මස සිට මෙතෙක් අදාළ මුදල් නොගෙවා ඇති බවද සඳහන් වෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳ විමසීමේදී ප්‍රකාශ කළ සිටින්නේ, මුදල් ප්‍රතිපාදන සම්බන්ධ ගැටලුවක් පවතින නිසා මෙම මුදල් ගෙවීම සිදු කිරීම නොහැකි වී ඇති බවයි.

ඒ අනුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මෙතෙක් අදාළ මුදල් දකුණු පළාතේ සියලුම පාසල්වලට නොගෙවා ඇති නමුත් බස්නාහිර පළාතේ පාසල්වලට අදාළ මුදල් ගෙවා ඇති බව සඳහන්.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පාසල්වලටද දිවා ආහාරය සපයන්නන්ට එම මුදල් නොගෙවා ඇති බවද අණාවරණය වී ඇත ෴


නිධන් හාරමින් සිටි සිව් (4) දෙනෙකු අත්අඩංගුවට

(25.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව ඉලුකේගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර පුද්ගලික ඉඩමක් තුළ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් ඊයේ (24) අත්අඩංගුවට පත් වී තිබෙනවා.

පුද්ගලයින් සිව් (4) දෙනෙකු ඉඩම තුල කැණීම් කරමින් සිටි අවස්ථාවේ දී කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලිමක් සිදුකර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් වයස අවුරුදු 19 ත් 45 ත් අතර වයස් සීමා වල පසුවන කැකිරාව සහ ඉනාමළුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් අද (25) දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ඝාතනයක් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට

(25.04.2023 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මට්ටක්කුළිය ප්‍රදේශයේ මිනී මැරුමක් සම්බන්ධව සැකකරුවන් තිදෙනකු (3) ඊයේ (24) දිනයේ පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ අපරාධ අංශයේ නිළධාරීන් සිදුකළ විශේෂ විමර්ශනකට අනුවයි.

පසුගිය මාර්තු මස 30 වනදා මට්ටක්කුලිය ප්‍රදේශයේ දී තියුණු ආයුධකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සැකැකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී ඔවුන් ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 570 ක් සොයා ගත් බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 22-32 වයස්වල පසුවන්නන් බවයි වාර්තා වී ඇත්තේ.

අදාළ පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදව්ම් නියෝග ලබා ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *