පළාත් කිහිපයකට හෙට (24) අවධානය යොමුකළ යුතු උණුසුම් තත්ත්වයක්

පළාත් කිහිපයකට හෙට (24) අවධානය යොමුකළ යුතු උණුසුම් තත්ත්වයක්


පළාත් කිහිපයකට හෙට (24) අවධානය යොමුකළ යුතු උණුසුම් තත්ත්වයක්

(23.04.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

වයඹ, උතුර, උතුරු – මැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට අවධානය යොමුකළ යුතු මට්ටමේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් වැඩබිම් තුළ සිටින විට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වඩාත් සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම නිවෙස්තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත්වන ලෙසත් වාහන තුළ කුඩා ළමයින් රඳවා නොයන ලෙසත් දැනුම් දෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමාකරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.

+


වත්මන් රජය අපේ රට ‘වෙන්දේසි ලන්තයක්’ කරලා – විපක්ෂ නායකගෙන් චෝදනා

(23.04.2023 – 16:58 +0530 – hirunews.lk/sinhala)

රට ගොඩනැගීමට ඇති එකම විසදුම IMF එකට යා යුතු බව තම පක්ෂය රජයට පෙන්වා දුන්න ද රජය එය ගණන් නොගෙන සිටීම තුළ රට විශාල පසුබෑමකට ලක් වූ බව විපක්ෂ නායකවරයා පවසනවා.

ඒ IMF ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

රජයේ අකාර්යක්ෂම පලනය අභිමුව ලොව ධන කුවේරයන්ට අපේ රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමේ සහ අඩු මුදලකට ලබා ගැනීමේ හැකියාවෙන් යුත් ‘වෙන්දේසි ලන්තයක්’ බවට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

රාජ්‍ය ආදායම උදෙසා දුටු දුටු දේ විකුණා දැමීමේ ප්‍රතිපත්තියක නියැලී ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමේ සැලසුමක් ක්‍රියාත්මක බවයි විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කර සිටියේ.

රටක දියුණුවට අවශ්‍ය වන්නේ අලාභ ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නව මොඩලයක් බවත් මේ රජයේ ප්‍රතිපත්තිය වන්නේ නිසි වැඩපිළිවෙළක් නොමැතිව රාජ්‍ය සම්පත් විකුණා දැමීම බවත් ඔහු සඳහන් කර සිටියා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ IMF ගිවිසුම අපට හිතකර ලෙස සකස් විය යුතු බවයි.

එමෙන් ම රාජ්‍ය සම්පත් විකුණා දැමීම තමන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර සිදු විය යුත්තේ ‘පැන්ඩෝරා පත්‍රිකා’ හරහා හෙළිදරවු වූ සියලු සම්පත් රටට ලබා ගැනීම බවත් ඔහු අවධාරණය කර සිටියා.

එතුළින් අහිංසක ජනතාවගේ කරපිට බදු බර පැටවීම අඩුවන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ.

+


ගලෙන්බිදුණුවැවදී ව්‍යාජ වෛද්‍යවරයෙකු අල්ලයි

(23.04.2023 – 17:35 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේදී ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලෙන්බිදුණුවැව උපුල්දෙණිය ප්‍රදේශයේදී ඊයේ (22) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය නිවසේ සිට ප්‍රදේශවාසින්ට ප්‍රතිකාර කරන අවස්ථාවේදීයි.

දීර්ඝ කාලයක සිට මොහු විසින් රෝගීන්ට ප්‍රතිකාර කර ඇති අතර සැකකරුගේ නිවසේ තිබී නීතිවිරෝධි ලෙස ගබඩා කර තිබූ ඖෂධ තොගයක් ද
පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව මුහුදේ ගිල්වා කළ පරිසර හානියට ශ්‍රී ලංකාව වන්දි ඉල්ලයි

(23.04.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)

‘එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවේ ගැඹුරු මුහුදු තීරයේ දී ගිල්වා දමා සිදු කළ පරිසර හානියට වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (24) දිනයේ දී අදාළ නඩුව ගොනු කිරීම සිංගප්පූරුවේ දී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

එම නඩුව ගොනු කිරීම මගින් ශ්‍රී ලංකා මුහුදු තීරයට සහ පරිසරයට සිදු වූ හානිවලට වන්දි ඉල්ලා නඩු දැමීම සිදු කෙරෙනවා ෴

+++++++++

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් අල්ලස් ගත් පුද්ගලයා ගැන තොරතුරු හෙළිකරන්න – විමල් වීරවංශ

(23.04.2023 – 19:14 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව හිමි සමාගමෙන් අල්ලස් මුදල් ලබාගත් පුද්ගලයා වහාම රටට හෙළිකළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පෙරමුණු පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ කොළඹ අද (3) පැවති වැඩසටහනකින් අනතුරුව ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.

අමාත්‍යවරයා කියා සිටියේ නෞකාව හිමි සමාගමෙන් කිසියම් පුද්ගලයෙකු අල්ලස් ලබාගෙන ඇත්නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි ෴

+


බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකුගේ (3) වැඩ තහනම්

(23.04.2023 – 18:49 +0530 – hirunews.lk/sinhala)

මාකොල ළමා නිවාසයේ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ළමා නිවාසයේ දරුවන් තිදෙනෙකු (3) සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුකොට ගෙනයි.

ඝාතන සිදුවීමකට අදාළව අධිකරණ නියෝග මත මාකොළ ළමා නිවාසයේ රඳවා සිටි සැකකාර දරුවන් තිදෙනා (3) පසුගිය 18 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත මාකොල ළමා නිවාසය වෙත බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු (3) භාරයේ ආරක්ෂණය කර තිබෙනවා.

දරුවන් ආරක්ෂණය සිදු කරන බන්ධනාගාර වෑන් රථය අධිකරණය අසල මාර්ගයක නවතා දරුවන්ගේ ඥාතීන් යැයි පැවසූ පිරිසක් බඩුබාහිරාදිය වෑන් රථයට පටවන ආකාරය දැක්වෙන විඩියෝවක් බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව වාර්තාවනවා.

එම සිදුවීමට අදාළ ආරක්ෂණය සිදු කළ නිලධාරීන් තිදෙනා (3) ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව විනය පරීක්ෂණයට යටත්ව වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු එම නිලධාරින් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමටත් බලාපොරොත්තු වන බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


අන්තර්ජාලයේ සිටින හොර වෙද්දු අල්ලන්න – පාරම්පරික වෛද්‍යවරු ඉල්ලයි

(23.04.2023 – 19:18 +0530 – hirunews.lk/sinhala)

බෝ නොවන රෝග දඩමීමා කරගනිමින් පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන්ගේ පෙළපත් නාමය භාවිත කරමින් රෝගි ජනතාවගෙන් මුදල් ලබාගන්නා ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙසට පාරම්පරික වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

පාරම්පරික හා දේශීය වෛද්‍යවරුන්ගේ පෙළපත් නාම භාවිත කරමින් වෙද මහතුන් ලෙස පෙනී සිටින පිරිස් අන්තර්ජාලය හරහා ජනතාව රවටමින් මුදල් ලබාගන්නා බවයි ‘හොරවිල පාරම්පරික වෙදදුරු ශාන්ත සෙනෙවිරත්න’ සඳහන් කළේ ෴


මෙරට පුද්ගලයින් පස් (5) දෙනෙකු ගෙන් එක් (1) අයෙකුට දියවැඩියාව

(23.04.2023 – 19:20 +0530 – hirunews.lk/sinhala)

මෙරට වැඩිහිටියන් අතර සියයට 20 ක ප්‍රතිශතයකට දියවැඩියාව පවතින බවත් එම දත්තවලට අනුව පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම රෝගය වැළඳී ඇති බවත් සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය, රුහුණු සහ රජරට ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් එක්වයි මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ.

+


හොර අත්සන් යොදා පොලිසියේ 14 කට මාරුවීම් දුන් SI රිමාන්ඩ්

(23.04.2023 – 19:22 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ අත්සන සහ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස යොදාගත් පොලිස් පරීක්ෂකවරයෙකු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පොළොන්නරුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකුයි අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට මෙලෙස අද (23) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා පොලිස් නිලධාරින් 14 දෙනෙකු විවිධ ස්ථානවලට මාරුකර යවන ලෙස දන්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් යොමුකළ බවට හැඟවෙන ලිපියක් උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම ලිපිය ගැන සැක සිතූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහි සත්‍යතාව සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විමසීමක් කර ඇති බව සඳහන්.

එවැනි ලිපියක් සාගල රත්නායක විසින් යොමුකර නොතිබුණු අතර පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *