ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක් – සැකකරුවෙකු අත්අඩංගුවට

ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක් – සැකකරුවෙකු අත්අඩංගුවට


ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක්

(23.04.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට හේතුව තවමත් අවිනිශ්චිත බව පොලීසිය පවසනවා.

පොලිස් කණ්ඩායම් 03 ක් ඊට අදාළව පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම සිද්ධියේ දී අසාධ්‍ය තත්ත්වයෙන් යාපනය රෝහලට ඇතුළත් කළ කාන්තාවගේ තත්වය මේ වනවිට සුව අතට හැරී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඊයේ (22) උදෑසන ඩෙල්ෆ් පොලීසියට ලද තොරතුරක් මත ඒ පිළිබඳව පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර, පෙරේදා රාත්‍රි කාලයත්, ඊයේ (22) උදෑසනත් අතර කාලය තුළ මෙම ඝාතන සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

මියගොස් තිබුණේ වයස අවුරුදු 70 ඉක්ම වූ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු, එක් අයෙකුගේ ස්වාමි පුරුෂයෙකු සහ තවත් ඥාති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.

අදාළ ඥාති පුද්ගලයා එම නිවසට පැමිණ ඇත්තේ ඊයේ (22) උදෑසන පහට (05:00) පමණ බවටයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ ෴

++++++++++

ඩෙල්ෆ් සමූහ ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට

(23.04.2023 – 11:25 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

51 හැවිරිදි සැකකරු යාපනය – පුංකුඩිතිවු ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු අද (23) කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

++++++++++

ඩෙල්ෆ් ඝාතකයා පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

(23.04.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ සැකකරු අද (23) දින කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි වියේ පසුවන යාපනය – පුංකුඩිතිවු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ කොල්ලකෑමේ අරමුණින් ඔහු තනිව මෙම ඝාතනය සිදුකර ඇති බවටයි.

සැකකරු ජර්මනියේ සිට 2019 වසරේ මෙරටට පැමිණ තිබූ බවට ද ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ නිවසේ සේවයට පැමිණි කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණ වී තිබුණේ පසුගිය 19 වනදා නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැති බව පවසමින් පුද්ගලයෙකු එම නිවසට පැමිණ තිබූ බවටයි.

පසුව නිවැසියන් ඔහුට නවාතැන් ලබා දී තිබූ අතර, ඝාතනය සිදු වූ දින තෙක් සැකකරු එහි රැඳී සිට තිබුණා ෴

+


යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා මිය යයි

(23.04.2023 – 10:14 +0530 – hirunews.lk/sinhala)

යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලතම දළ ඇතා ලෙස සැළකෙන ‘දළ කොටා’ නම් හස්තියා මියගොස් තිබෙනවා.

අසනීප තත්ත්වයෙන් සිටි අවුරුදු 40 ක් වයසැති මෙම හස්තියාට අවස්ථා කිහිපයක දී වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කර තිබුණා.

කෙසේ වෙතත් පෙරේදා (21) දිනයේ ලුණුගම්වෙහෙර ජලාශය ආසන්නයේ මියගොස් සිටිය දී හස්තියාගේ සිරුර හමුවූ බවයි වනජිවී නිලධාරීන් පවසන්නේ.

‘දළ කොටා’ හස්තියා යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ සත්වයෙකු ලෙසයි සැළකෙන්නේ ෴


අක්ෂි රෝහලේ සැත්කම් යළි ඇරඹේ

(23.04.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ජාතික අක්ෂි රෝහලේ සැත්කම් හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි සැත්කම් කටයුතු තාවකාලිකව නතර කිරීමට පසුගියදා පියවර ගෙන තිබුණේ, අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කිහිපදෙනෙකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන්.

එසේ සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය මේ වන විට භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ.

ඒ අනුව, තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට (24) දිනයේ සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවා ෴


රුපියල් කෝටි එකහාමාරක (1½) කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(23.04.2023 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කටුබැද්ද පිහිටි මාර්ග බාධකයේ දී කේරල ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.

ඒ, එම සැකකරු අද (23) රුපියල් කෝටි එකහාමාරක් (1½) පමණ වටිනා කේරල ගංජා තොගයක් කුඩා ලොරි රථයකින් ප්‍රවාහනකරමින් සිටිය දීයි.

පොලිසිය පවසන්නේ එහිදී කේරළ ගංජා කිලො 71 යි ග්‍රෑම් 160 ක් සිය භාරයට ගත් බවයි.

සැකකරු මොරටුව, තෙලවල ප්‍රදේශයට කෙරළ ගංජා ප්‍රවාහන කරන අයෙකු බවයි විමර්ශනවල දී හෙළි වී ඇත්තේ.

පානදුර ප්‍රදේශයේ පදිංචි එම සැකකරු වයස අවුරුදු 38 ක අයෙක්.

සැකකරු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්‌ කිරීමට නියමිතයි ෴


දිවයිනේ සියලුම ගොවීන්ට මඩ පොහොර බෙදා දීමේ වැඩසටහනක්

(23.04.2023 – 12:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම ගොවීන්ට මඩ පොහොර බෙදා දීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හුංගම බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට වී වගාවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යූරෝ මිලියන හතරක (4) වැඩසටහනක් ද මීට සමගාමීව ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් තානාපති ඩෙනිස් චායිබි, ශ්‍රී ලංකාව සඳහා වන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත විම්ලේන්ද්‍රන් ශරන් යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

+


ආනයනික බිත්තර හෙට (24) බේකරි කර්මාන්තකරුවන්ට බෙදා හැරේ

(23.04.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් පසුගිය 19 වැනිදා ආනයනය කෙරුණු බිත්තර මිලියනයේ සාම්පල පරීක්ෂාවෙන් පසු, කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන්ට බෙදා හරින බව, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම බිත්තර තොගයේ සාම්පල හෙට (24) දින පරීක්ෂා කිරීමට නියමිතයි.

එමෙන්ම පසුගිය 15 වැනිදා මෙරටට පැමිණි බිත්තර නැවෙහි වාර්තාව හෙට (24) දින සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

+


ජල සම්පාදන මණ්ඩලයෙන් ඉල්ලීමක්

(23.04.2023 – 13:21 +0530 – hirunews.lk/sinhala)

පවතින වියලි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් අඛන්ඩ ජල සැපයුමට බාධා එල්ලවිය හැකි බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඊයේ (23) දිනයේ දී දෛනික විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 45 දක්වා ඉහළ ගොස් ඇති අතර, රාත්‍රී හතට (07:00) මෙගාවොට් 2,097 ක උපරිම විදුලි උත්පාදනයක් සිදුකළ බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ධම්මික එන් නවරත්න සඳහන් කළේ ෴


මිරිහානේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කරයි

(23.04.2023 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මිරිහාන පොලිස් වසමේ ගල්වල පාර ප්‍රදේශයේ දී පිහියකින් ඇන පුද්ගලයෙකු (1) ඝාතනය කර තිබෙනවා.

මෙම අමානුෂික පහරදීම අද (23) අලුයම් කාලයේ දී සිදුව ඇති අතර එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකුට (1) බරපතළ තුවාල සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 34 හැවිරිදි මිරිහාන ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු බවත් සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 53 හැවිරිදි දෙනියාය ප්‍රදේශයේ පදිංචි මරණකරුගේ ඥාතියෙකු බවත් සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළිව තිබෙනවා.

ඝාතනය සිදු කළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු යාබද නිවසක පදිංචිව සිටින මරණකරුගේ ඥාතියෙකු බවත් දෙපාර්ශ්වය අතර ඇති වූ බහින්බස් වීමක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිස් විමර්ශනවල දී හෙළි වූ කරුණුයි.

සැකකරු අත් අඩංගුවට ගැනීමට මිරිහාන පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට සූදානමක්

(23.04.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනයට පවතින සීමා මඟහැරීම සඳහා දෙපාර්තමේන්තුවක්ව පවතින දුම්රිය, අධිකාරියක් ලෙස ස්ථාපිත කළ යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සංවර්ධනයට දෙපාර්තමේන්තු ක්‍රමයේ පවතින මන්දගාමි ක්‍රමවේදය බාධාවක් වී ඇති බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

ඒ අනුව කාර්යක්ෂම සේවාවක් ලබාදෙමින් ආදායම් උපදවන ආයතනයක් ලෙස සංවර්ධනය කිරීම මෙලෙස අධිකාරියක් බවට පත් කිරීමෙන් අපේක්ෂා කෙරෙන බවයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ අතර ඇතැම් දේශපාලඥයින්ගේ මැදිහත්වීම් මත තවදුරටත් අධිවේගි මාර්ග සඳහා ටෙන්ඩර් පටිපාටියකින් තොරව බස් රථ සඳහා තාවකාලික බලපත්‍ර ලබාදෙන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා ෴


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම පවත්වා ඇත්තේ, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව – මහාචාර්ය චරිත හේරත්

(23.04.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම පවත්වා ඇත්තේ, පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස්, එක්සත් ජාතික පක්ෂයේ න්‍යාය පත්‍රයට අනුකූලව දේශපාලනය කරන බවයි.

+


උ/පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ ගැටලුව සාකච්ඡාමය මාර්ගයෙන් විසඳා ගත යුතුයි – ජෝශප් ස්ටාලින්

(23.04.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු තර්ජනාත්මක ස්වරූපයෙන් තොරව සාකච්ඡාමය මාර්ගයෙන් විසඳාගත යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

මේ අතර සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ එස්.බී. දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධ්‍යාපන ඇමති ධුරය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් වහාසි බස් පවසන බවයි ෴


දකුණු ආසියාවේ විශාලතම වාණිජ සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි

(23.04.2023 – 14:03 +0530 – hirunews.lk/sinhala)

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඒ, ‘වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය’ සහ ‘චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම’ අතරයි.

මීටර 92 ක් උසැති වානිජ සහ සැපයුම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ල මහල් අටකින් (8) සමන්විතයි.

එමෙන්ම නවීන තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් යුතුව ඉදි කෙරෙන මෙම ගොඩනැගිල්ලේ ගබඩා ධාරිතාව ඝනමීටර 5,30,000 ක් බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *