හයිය තියෙන කාලේ ඇත්ත නොකියපු දප්පුලට විජේදාස ගෙන් විවේචනාත්මක ප්‍රකාශයක්

හයිය තියෙන කාලේ ඇත්ත නොකියපු දප්පුලට විජේදාස ගෙන් විවේචනාත්මක ප්‍රකාශයක්


හයිය තියෙන කාලේ ඇත්ත නොකියපු දප්පුලට විජේදාස ගෙන් විවේචනාත්මක ප්‍රකාශයක්

(22.04.2023 – 22:54 +0530 – hirunews.lk/sinhala)

තමන්ට තීන්දුවක් ගත හැකි, නියෝගයක් නිකුත් කළ හැකි, බලයක් සහිත කාල වකවානුවේ දී කිසිවක් නොපවසා, විශ්‍රාම යන මොහොතේ කුමන්ත්‍රණකාරී සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂගෙන් විවේචනාත්මක ප්‍රකාශයක් නිකුත් වී තිබෙනවා.

අද (22) පෙරවරුවේ මහනුවර අස්ගිරි විහාරස්ථානයට ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් හා පවතින දේශපාලනික ව්‍යාකූල තත්ත්වය සහ ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීමට ගිය අවස්ථාවේදියි අධිකරණ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එම ප්‍රකාශය සිදු කලේ.

මීට සිව් (4) වසරකට ඉහත දී සිදු වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, බලය ඇති දා කිව යුතු දෑ බලය නැති දා පැවසීම ගැටලුකාරී බවයි.

වසර 04 ක් ගත වුණ ද කිසිදු මොළකරුවෙකු අල්ලා ගැනීමට හෝ ඔවුන් වෙත දඬුවම් පැමිණවීමට නොහැකි වූ බවයි මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාට අවධාරණය කරනු ලැබුවේ.

ඊට පිළිතුරු ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ මෙවැන්නක් :

“දැන් පොලිසිය මේ පිළිබඳ ව පරීක්ෂණ කරලා නඩු 42 ක් මහාධිකරණයේ පවරලා තියෙනවා.ඒ 42 ඉන්නවා චූදිතයෝ 79 දෙනෙක්. හිටපු නීතිපතිතුමාට එවකට තිබුණා සම්පූර්ණ බලතල ඕනෑම කෙනෙක් අත් අඩංගුවට ගන්න, ඕනෑම පරීක්ෂණයක් කරන්න, කියලා පොලිස්පතිතුමාට නියෝගයක් නිකුත් කරන්න.. එතුමාට තමයි බලය තිබුණේ මහේස්ත්‍රාත්තුමාට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා අවශ්‍ය නම්, අධිකරණ නියෝගයක් ලබාගන්න.. අහවල් අහවල් අයගෙන් ප්‍රශ්න කරලා තොරතුරු හොයන්න කියලා.. එතුමා ඒක කරන්නෙ නැතිව විශ්‍රාම යන දවසේ තමයි කිව්වේ මේකෙ මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා…” යනුවෙන්.

පාස්කු ප්‍රහාරයේ පසුපස තවත් කුමන්ත්‍රණකාරීන් සිටින බව විශ්‍රාම යන දා හිටපු නීතිපති විසින් ඇඟවූ බවත්, මේ හේතුවෙන් පැමිණ කට උත්තරයක් ලබාදෙන ලෙස දප්පුල ද ලිවේරා වෙත පොලිසියෙන් දැනුම්දී ඇති බවත් විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළා.

ඔහු කළ බරපතළ ප්‍රකාශය හේතුවෙන් ඔහු දන්නා යම්කිසි දෙයක් වේ නම් කල් නොමරා වහා ගොස් ඒ බව පොලිසිය වෙත ලබාදීම සිදු කළ යුතු පළමු කාර්‍යය බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් වෙත කියා සිටියා.

කෙසේවෙතත් ඊයේ (21) දිනයේ දී ද හිටපු නීතිපතිවරයා වෙත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණ ද ඔහුගේ පැමිණීම සිදු වූයේ නැහැ.

නමුත් එළඹෙන සඳුදා (24) තවදුරටත් හිටපු නීතිපතිවරයාගේ පැමිණීම සිදු නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

+


සෙල්ෆියක් ගන්න ගිහින් දුම්රියෙන් බිමට වැටේ

(22.04.2023 – lankadeepa.lk)

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ පැමිණි 15 හැවිරිදි පිරිමි දරුවකු අද (22) සවස ඔහිය ඉදල්ගස්හින්න අතර දී දුම්රියෙන් ඇදවැටී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් පැවසුවේ පාපුවරුවේ ගමන් කරමින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙයක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

තුවාල ලබා සිටි දරුවා එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානයට රැගෙනවිත් 1990 සුවසැරිය ගිලන් රියකින් ඔහු දියතලාව මූලික රෝහල වෙත රැගෙන ආ බව ද පොලීසිය කියයි ෴


උතුරට සුළි සුළගක්.. නිවාස ගැලවී යයි.. වගා රැසක් විනාශයි…

(23.04.2023 – 14:10 +0530 – lankacnews.com)

වව්නියාව , මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්ට පැවති අධික වියලි කාලගුණය අතරතුර ඊයේ (22) දින ඇදහැලුනු වර්ෂාවත් සමග ඇතිවූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස, දේපල හා වගාහානි රැසක් වාර්ථා වී ඇතැයි ප්‍රදේශභාර ආපදාකලමනාකරණ ඒකකයන් පවසා සිටියි.

වව්නියාව ඕලුමඩු සහ නෙඩුන්කේනි ප්‍රදේශයන්ට වර්ෂාවත් සමග ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පවුල් 10 කට ආසන්න පිරිසක් පීඩාවන්ට පත්ව ඇති අතරම නිවාස මෙන්ම වාගාහානි ද වාර්ථා වෙයි.

එහිදී නෙඩුන්කේනි ප්‍රදේශයේ වගාකොට තිබූ පැපොල් වගාවක් සම්පූරණයෙන්ම සුලිසුලං හේතුවෙන් විනාශ වී ඇති අතර එහි පැපොල් ගස් 1500 කට ආසන්න ප්‍රමාණයක් විනාහ වී ඇතැයි ද වව්නියාව ආපදාකලමනාකරණ ඒකකය පැවසීය.

මේ අතර මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මුත්තියන්කඩ්ඩු ප්‍රදේශයට බලපෑ සුලිසුලං තත්වයක් හේතුවෙන් නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදු වීමෙන් එහි වැසියන් පීඩාවන්ට පත්ව ඇතැයි මුලතිව් ආපදාකලමනාකරන ඒකකය පැවසීය.

එමෙන්ම යාපනය වරණි ප්‍රදේශයටද දැඩි වර්ෂාවක් සමගින් ඇති වූ සුලි සුලං තත්වයක් හේතුවෙන් නිවාස රැසකට මෙන්ම ආගමික ස්ථානයන් වෙතටද දැඩි හානි සිදුව ඇතැයි යාපනය ආපාදාකලමනාකරණ ඒකකය පෙන්වා දෙයි.

ඇති වූ සුලිසුලං තත්වයන් හේතුවෙන් පුද්ගල හානි කිසිවක් වාර්ථා වී නොමැති අතරම පීඩාවන්ට පත් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමට පියවර ගෙන ඇතැයිද ප්‍රදේශ භාර ආපදාකලමනාකරණ ඒකකයන් වැඩිදුරටත් පැවසීය.

වන්නි රොමේෂ් මධුෂංඛ


දෙල්තොට දී සහනාධාර යටතේ සහල් බෙදූ නිලධාරීන්ට මුදල් අය කළ බවට චෝදනා

(23.04.2023 – 07:34 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහනාධාර යටතේ සහල් ලබාදුන් නිලධාරීන් තමන්ගෙන් රුපියල් 50 ක මුදලක් අය කළ බව මහනුවර – දෙල්තොට – පාළුගම වසමේ එම ප්‍රතිලාභීන් චෝදනා කරනවා.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ සමෘද්ධි නිලධාරීන් මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් කිලෝ 20 ක් ලබා දීමට රජය තීරණය කළා.

එහි පළමු (1) අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා සහල් කිලෝ 10 බැගින් ලබාදීම මේ වනවිට ක්‍රියාත්මකයි.

ඒ අනුව පසුගිය 20 වැනිදා පාළුගම වසමේ සහල් බෙදාදුන් අවස්ථාවේ දී ප්‍රවාහන ගාස්තු ලෙස සහ නිලධාරින්ගේ දෛනික වැටුප් ගෙවීමට බව පවසමින් මෙලෙස රුපියල් 50 ක මුදලක් අයකරගෙන ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

මෙලෙස මුදල් අය කළ අවස්ථාවේ ප්‍රතිලාභීන් සහ නිලධාරීන් උණුසුම් සංවාදයක් ඇතිවුණා.

අප මේ සම්බන්ධයෙන් දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ආත්මා ජයරත්න ගෙන් විමසීමක් සිදුකළා.

ඇය කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් එම අවස්ථාවේදීම දැනුවත් වූ බවයි.

ඊට අදාළ මූලික පියවර ගෙන ඇති බවට ප්‍රාදේශීය ලේකම්වරිය ප්‍රකාශ කළා ෴


ලබන මාසයේ (මැයි) පාසල් ප්‍රවාහන ගාස්තු අඩු වෙයි?

(23.04.2023 – 07:42 +0530 – hirunews.lk/sinhala)

මැයි 01 වැනිදා සිට පාසල් ළමයින් ප්‍රවාහනය කරන වාහනවල මාසික ගාස්තු අඩු කෙරෙන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කළා.

ඒ අනුව 5% ත්, 8% ත් අතර අගයකින් ගාස්තු අඩු කෙරෙන බවයි එහි සභාපති එන්.එම්.කේ. හරිස්චන්ද්‍ර පත්මසිරි ප්‍රකාශ කළේ.

+


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වැඩපිළිවෙලක් නොමැති බවට චෝදනා

(23.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට රජය සූදානම් වුවද ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවට චෝදනා එල්ලවනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල කියා සිටියේ මේ වනතෙක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කිසිදු විග්‍රහයක් සිදුකර නොමැති බවයි.

එමෙන්ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මුලින්ම අවශ්‍ය වන්නේ නිසි ප්‍රායෝගික අධ්‍යයනයක් සිදුකිරීම බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


මීගමුව ඕලන්ද බලකොටුව විනාශ මුඛයේ

(23.04.2023 – 07:57 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ආකර්ෂණය දිනාගත් ඓතිහාසික මීගමුව ඕලන්ද කොටුව දිනෙන් දින විනාශ වෙමින් පවතින බව වාර්තා වනවා.

එහි ඇති හෝරා ස්ථම්භය අක්‍රිය වී ඇත්තේ එහි කොටස් සොරුන් විසින් වරින්වර ගලවා ගෙන යාම හේතුවෙන්.

චෝදනා එල්ලවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මීගමුව මහ නගර සභාව මෙම ස්ථානය ආරක්ෂා කරගැනීමට නිසි මැදිහත්වීමක් සිදු නොකරන බවටයි.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මීගමුව නාගරික කොමසාරිස් ඩබ්ලිව්.ඒ.ඩී. ප්‍රභාත් ලක්ෂ්මන් කියා සිටියේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරියේ දී කටයුතු කරන බවයි.


කුට්ටිගල මවක් දරුවා මහ මග දමා යයි

(23.04.2023 – 08:02 +0530 – hirunews.lk/sinhala)

පස් (5) හැවිරිදි පිරිමි දරුවෙකු මහ මග දමා ගොස් සිටිය දී ඇඹිලිපිටිය – කුට්ටිගල පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

කුට්ටිගල ප්‍රදේශයේම පදිංචි මෙම දරුවා ත්‍රිරෝද රථයකින් රැගෙන විත් මෙලෙස මහ මග දමා ගොස් ඇත්තේ මව සහ සුළු පියා විසින් බවටයි අනාවරණ වී ඇත්තේ.

මව, දරුවාට පහර දී තුවාල සිදු කර ඇති බවට ද අනාවරණ වන අතර, ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ දරුවා, අධිකරණ වෛද්‍යවරයා වෙතද ඉදිරිපත් කර ඇති බව සඳහන්.

සැමියා හැරගිය පසු කුඩා දරුවාගේ මව දෙවන විවාහයක් සිදුකරගෙන ඇති බවයි වාර්තාවන්නේ.

දරුවාගෙන් පොලීසිය සිදුකළ විමසීමේ දී තමන් ත්‍රිරෝද රථයකින් රැගෙන විත් මව සහ සුළු පියා විසින් මහ මග දමා ගිය බව පවසා තිබෙනවා ෴


උතුර – නැගෙනහිර හර්තාලයක් ගැන ඉඟි

(23.04.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාව මුහුණදෙන ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා එළඹෙන 25 වැනිදා උතුර – නැගෙනහිර පළාත්වල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 07 ක් එක්ව සාකච්ඡා කළ බවයි ෴


දුම්රිය පාපුවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කළ ළමයෙකු බරපතල තුවාල ලබයි

(23.04.2023 – 09:17 +0530 – hirunews.lk/sinhala)

දුම්රියේ ගමන් කරන අතරතුර සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය පිරිමි ළමයෙකු ඉන් ඇද වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර බිංගෙයක් තුළ දී දුම්රියේ පාපුවරුවේ මත හිඳිමින් 14 හැවිරිදි මෙම පිරිමි දරුවා සෙල්ෆි ඡායාරූපය ගැනීමට උත්සහ කර ඇති බවයි වාර්තාවන්නේ.

එහිදී ඔහු බිංගෙයි බිත්තිවල ගැටී ඇති බව සඳහන්.

අනතුරින් හපුතලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර දියතලාව රෝහලට මාරුකර යැවූ පිරිමි දරුවා මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා පවුලේ සාමාජිකයන් සමඟ ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා යන අතරතුර මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *