මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට

මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට


මැරතන් තරඟයේ දී දරුවෙක් ජීවිතක්ෂයට

(22.04.2023 – 16:17 +0530 – hirunews.lk/sinhala)

මැරතන් තරගයක් අතරතුර දී දස (10) හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාව, පලාගල ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 10 ක දරුවෙක්.

කැකිරාව – පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක පැවති මැරතන් තරගය සඳහා එක්ව සිටි පහළොස් (15) හැවිරිදි තම සහෝදරයාගේ සහාය සඳහා එක්ව සිටියදියි මෙම දස (10) හැවිරිදි දරුවා මිය ගොස් ඇති බව වාර්තා වන්නේ.

පලාගල මහා විදුහලේ පස්වන (5) වසරේ ඉගෙනුම ලබන මෙම දරුවා තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ළඟා වන විට තරගකරුවන් අතරේ ගමන් කරමින් සිටියදි හදිසියේ අසනීප වී ඇත්තේ.

ප්‍රදේශවාසීන් විසින් දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


පොලිසියට අවශ්‍ය කර තිබේ – සොයාගැනීමට සහාය වන්න

(22.04.2023 – 17:07 +0530 – hirunews.lk/sinhala)

මිදිගම පොලිස් වසමේ ‘විකී මන්කි’ හෝටලය ඉදිරිපිට දී ‘වැගන් ආර්’ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් එම හෝටලයේ හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශය විසින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කරන දීර්ඝ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ මෙම අපරාධයට තවත් සැකකරුවන් තිදෙනෙකු (3) අයත් බවයි.

මේ වනවිට එම සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, පහත දැක්වෙන තොරතුරු සහ ඡායාරූපයන් හි දැක්වෙන තැනැත්තන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දූරකථන අංක වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

යම් තොරතුරක් වෙතොත් 071 859 2910 යන සහකාර පොලිස් අධිකාරි මාතර කොට්ඨාසය වෙත හෝ 071 859 6406 යන මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට හෝ දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


ශ්‍රී ලංකන් ගුවන් යානා 05 ක් ගැන පැහැදිලි කිරීමක්

(22.04.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා 05 ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද (22) නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වුණේ ඒ-320 එයාර්බස් නියෝ කාණ්ඩයේ ගුවන් යානාවල එන්ජින්වල හිඟයක් ගෝලීයව පවතින බවයි.

ලොව පුරා එම වර්ගයේ ගුවන් යානාවල මතු වී ඇති තාක්ෂණික ගැටළු හේතුවෙන් සමස්ත ගුවන් සේවා ක්ෂේත්‍රයම එන්ජින් හිඟයකට මුහුණ දී සිටින බවයි අදාළ නිවේදනයේ සඳහන් වුණේ.

එන්ජින් අළුත්වැඩියා කිරීම සඳහා විශාල කාලයක් ගතවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඊට විසඳුම් සොයා ගැනීම සඳහා සැපයුම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි කියා සිටියේ.

+


බිරිඳව පැහැරගෙන ගිය සැමියා පොලිසියට භාරවෙයි

(22.04.2023 – 17:34 +0530 – hirunews.lk/sinhala)

හලාවත – මුනුවන්ගම ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් හේතුවෙන් දෙපසකට වී සිටින සැමියා පැමිණ බිරිඳව බලෙන් පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ ස්වාමියා අද (22) දිනයේ දී පොලිසියට පැමිණ භාර වී තිබෙනවා.

පසුගිය 19 වැනිදා මෙම සිද්ධිය සිදුවන විට දී බිරිඳ ‍යැයි සැලකෙන කාන්තාව සිය දෙමව්පියන් සමග ජීවත් වෙමින් සිට තිබෙන බවත් වාර්තාවනවා.

මෙම පැහැරගැනීමට හේතුව වී ඇත්තේ විවාහ ජීවිතය ගැන කලකිරුණු බිරිඳ ස්වාමියාව දමා යළිත් තම මහගෙදරට පැමිණීම බවටත් හෙළිව තිබෙනවා.

අදාළ කාන්තාව 18 හැවිරිදි තරුණියක් බවයි හෙළි ව ඇත්තේ.

කෙසේවෙතත් ස්වාමියා වන සැකකරු අද (22) දිනයේ දී පොලිසියට පැමිණ භාර වී ඇත්තේ තම බිරිඳ ද සමගින්.

අනතුරුව දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණා.

සැකකරු 21 හැවිරිදි අයෙක්.

මෙම සැකකරු තවත් පිරිසක් සමගින් වෑන් රථයකින් පැමිණ මෙම තරුණියව පැහැරගෙන යන ආකාරය දැක්වෙන සීසීටීවී දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

+


උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රතිඵලදායක නැහැ – ජෝශප් ස්ටාලින්

(22.04.2023 – 19:38 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව කොටස් වශයෙන් සිදු කිරීම ප්‍රතිඵලදායක නොවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ දෙමළ භාෂා විභාග ප්‍රශ්නපත්‍ර පමණක් පරීක්ෂා කිරීම ඊයේ (21) ආරම්භ කෙරුණද, එය සමස්ත ක්‍රියාවලියට යහපත් නොවන බවයි.

මේ අතර, ගුරු මාරු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (21) අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා

එහි දී උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සම්බන්දයෙන්ධ සාකච්ඡාවට ලක්වූ බවයි ලංකා ගුරු සංගමයේ උප සභාපති රසිකා හඳපාන්ගොඩ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ෴


අනුරපුරයේ ගවයින් අනතුරේ

(22.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ එළ හා මී ගවයින් අතර ගැටිති රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

මේ නිසා දෛනික කිරි කර්මාන්තයේ නිරත වන කිරි ගොවින්ගේ ජීවනෝපායට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවයි කිරි ගොවීන් පවසන්නේ.

සාමාන්‍ය ප්‍රමාණයේ සම මතුපිට ගැටිති හට ගැනීමත්, එම ගෙඩි විශාල වී පුපුරා ගොස් ලේ සහ සැරව ගලා යාමත් මෙම රෝගය වැළඳුණු ගවයින් අතර දක්නට ලැබෙන ‍රෝග ලක්ෂණයි.

රෝගය වැළඳුණු ගවයින් දින ගණනාවක් නිරාහාරව සිටීම හේතුවෙන් ඔවුන්ගේ වර්ධනය බාල වීම සිදුවන බවයි කිරි ගොවීන් පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ දෛනිකව කිරි ලීටර් 10 ක් පමණ ලබා ගත් දෙනුන්ගෙන් මේ වනවිට ලබාගත හැකි වන්නේ කිරි ලීටර් තුනක් (3) පමණක් බවයි ගොවීන් වැඩිදුරටත් සඳහන් කළේ ෴


පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව මැයි 01 සිට අඩුවෙයි

(22.04.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව සංශෝධනයට තීරණය කර තිබෙනවා.

අද (22) පස්වරුවේ ‘සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය’ සඳහන් කළේ රටේ පවතින යහපත් වාතාවරණය මත මෙම සහනය ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව එළඹෙන මැයි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීන්දුව බලපැවැත්වෙනු ඇති.

එහිදී නව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පවතින මිලට සාපේක්ෂව සියයට 5 ත් 8 ත් අතර අගයකින් පහත බැසීමට නියමිතයි ෴


ජීවිකාවට පණ දෙන්න බැරිව දෙදරු (2) පියෙකු දුම්රියට පනියි

(22.04.2023 – 21:58 +0530 – hirunews.lk/sinhala)

තමන් ජීවිත් වූ නිවස පෞද්ගලික ආයතනයකට සින්න වීමත්, ගෙවිය යුතු ණය සම්භාරයක් ඇති නිසාවෙන් නිට්ටඹුව – පින්නගොල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙනවා.

මෙම ඛේදනීය සිදුවීම අද (22) පෙරවරු 09:10 ට පමණ සිදුව ඇති අතර එම පුද්ගලයා රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

ගම්පහ හා දාරළුව අතර ප්‍රදේශයේ දී මෙම ඛේදනීය සිදුවීම සිදුව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පුතෙකු සහ දියණියක සිටින 41 හැවිරිදි පියෙක්.

දුම්රියෙහි ගැටීමෙන් එම පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් වී ඇති අතර, එම මළසිරුර ගැටුණු දුම්රියෙන් ම ගම්පහ දුම්රිය ස්ථානයට ගෙනැවිත් තිබුණා.

සියදිවි නසා ගැනීමට පෙර මියගිය පුද්ගලයා විසින් සිය බිරිඳට, දරු දෙදෙනාට (2) හා මිතුරන් වෙත ලියූ ලිපියක් ද පොලිසිය ඔහුගේ මුදල් පසුම්බියෙහි තිබී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙහි සඳහන් වන්නේ මෙවැන්නක් :

“ඔයා මාත් එක්ක අවුරුදු 17 ක් හැම දුක, සැපක් ම දරා ගත්ත ගෑනියෙක් විඳින්න පුළුවන් හැම දුකක් ම දරාගත්තා.. අදටත් මං පුදුම වෙනවා ඒ දරාගැනීම් ගැන… ඔයාට මේකත් ඒ වගේ ම දරාගන්න පුළුවන් වෙයි.. සමාවෙන්න මේ මගේ ගොන් මෝඩ තීරණයට.. මට තවත් ඉවසන්න බැහෑ.. මං දන්න එකම දෙයක් තියෙනවා ඒ මං ඔයාට ගොඩක් ආදරේ…!!!” යනුවෙන් මියගිය පුද්ගලයා සිය ආදරණීය බිරිඳ වෙත ලියා තිබෙනවා.

එම ලිපියේ ම මියගිය පුද්ගලයා විසින් තම දියණියට පවසා ඇත්තේ මෙවැන්නක් :

“ආදරණීය සෙසඳි,
ඔයාට ගොඩක් බැන්නට මං ගොඩක් ආදරෙයි.. අම්මවයි මල්ලිවයි බලාගන්න.. හොඳට ඉගෙන ගන්න.. අම්මට කවදාවත් බොරුවක් කරන්න එපා. එයාට තවත් දරාගන්න හයියක් නෑ. මට වෛර කරන්න එපා කියලා කියන්න බෑ.. ඒත් පුළුවන් නම් මට සමාවෙන්න…!!!” යනුවෙන් සංවේදී සටහනක් මියගිය පුද්ගලයා තම දියණිය වෙත තබා තිබෙනවා.

මියගිය පුද්ගලයා සිය බිරිඳ සහ දරු දෙදෙනා (2) සමඟ පදිංචිව සිටි නිවස පෞද්ගලික ආයතනයකට උකස් තබා තිබූ බවත් පසුව එම නිවස සහ ඉඩම එම ආයතනයට සින්න වීම හේතුවෙන් ඔවුන්ට එම නිවසෙන් යාමට සිදුව ඇති බවත් මරණකරුගේ බිරිඳ පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන්.

සිය නිවස තමාට අහිමි වීමත්, විශාල මුදලක් තවත් සමාගමකට ණය වීම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය ජීවිකාව තවදුරටත් ගෙන යාමට නොහැකි වීම මත මෙම දෙදරු පියා දුම්රියට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි මූලික පොලිස් විමර්ශනවලින් මේ වනවිට හෙළිව තිබෙනවා ෴


වාන් දමන පොල්ගොල්ල ජලාශය

(22.04.2023 – 22:22 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම කඳුකරයට අද (22) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

ඉහළ යන ජල මට්ටමත් සමඟින් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

වේල්ලෙන් තත්පරයට ඝන මීටර් 30 ක ජල ධාරිතාවයක් මහවැලි ගඟ හරහා වික්ටෝරියා ජලාශය වෙත මුදා හරිනවා.

පොල්ගොල්ල වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කර සිටියේ වැසි තත්ත්වය වැඩි වුවහොත් නිකුත් කරන ජල ප්‍රමාණය සහ විවෘත කර ඇති දොරටු ප්‍රමාණය වැඩි විය හැකි බවයි.

ගංඟාව ආශ්‍රිත පිරිස් නිරතුරු අවධානයෙන් පසුවිය යුතු බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෴


ශ්‍රී ලංකා අනන්‍යතාවය සිතුවමින් ජාත්‍යන්තරයට ගිය හැටි

(23.04.2023 – 00:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල ඉතිහාසයට වසර 75 ක් ගතව තිබෙනවා.

ඒ නිමිත්තෙන් විදේශ කටයුතු සහ සංස්කෘතික කටයුතු පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය මීනක්ෂි ලෙඛි විසින් ඓතිහාසික සිතුවම් පෙළක් නිරාවරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇතුලු ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම අවස්ථාව සමඟින් එක් වී සිටීම දක්නට ලැබුණු අතර ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ (IBC) අධ්‍යක්ෂ ජනරාල් අභිජිත් හල්ඩර්ගේ සහභාගී වීම ද විශේෂත්වයක්.

අමාත්‍ය ලෙකී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සමීප ඓතිහාසික, සංස්කෘතික සහ සම්ප්‍රදායික සබඳතාව, විශේෂයෙන්ම බෞද්ධ සබඳතාවයේ සන්දර්භය මෙහි දී ඉස්මතු කර සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *