පොදුජන පෙරමුණට නව සභාපතිවරයෙක්
(22.04.2023 – 12:04 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කිරීමට එම පක්ෂයේ මහ සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය වූ බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ සභා රැස්වීම අද (22) පෙරවරු 10 ට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී ආරම්භ වුණා.
එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කරගනු ලැබුවා.
එලෙස උන්වහන්සේ නව සභාපතිවරයා ලෙස පත්කරගනු ලැබුවේ මහාචාර්ය ජී.එල්. පීරිස් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ එම තනතුර සඳහායි.
ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයට සහය දැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය මාර්තු මාසයේ රැස්වූ පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කළා.
එමෙන්ම ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ පාර්ශවයට සහය ලබාදුන් තවත් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සඳහා අද (22) පැවති මහසභා රැස්වීමට සහභාගි වීම සඳහා කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බව අප කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (21) ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අද (22) පැවති මහ සභා රැස්වීමේදී ගනු ලබන තීරණ වලංගු භාවයෙන් තොර බවයි පොදුජන පෙරමුණේ හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (21) සඳහන් කළේ. ඊට එරෙහිව සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
+++++++
මහාචාර්ය ජී.එල්. පීරිස් ගෙන් පොදුජන පෙරමුණට චෝදනා
(22.04.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)
අද (22) උදෑසන රැස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘මහා සභාව’ කිසිසේත් නීතියානුකූල නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචර්‍ය ජී.එල්. පීරිස් පවසනවා.
තවද එහිදී ගනු ලැබූ තීන්දු වෙනුවෙන් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමර්ග ගැනීමට කටයුතු කරන බවත් ඔහු පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ පාර්ලිමේන්තු ලිපි ශීර්ෂය යටතේ ඔහු විසින් නිකුත් කල නිවේදනයකිනුයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර මහ සභා රැස්වීම අද (22) පෙරවරු 10 ට බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී ආරම්භ වුණා.
එහිදී පක්ෂයේ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත් කරගනු ලැබූ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් පැවසුවා.
+
සමන්තුරෙයි පොලිසියේ නිලධාරීන් ගත් අල්ලස
(22.04.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)
තවත් පුද්ගලයෙකු විසින් රහසිගතව ජංගම දුරකථනයකින් පටිගත කොට තිබෙනවා.
විවිධ මාර්ග නීති කඩ කරන රියදුරන්ගෙන් මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා (2) මෙලෙස නිරන්තරයෙන් අල්ලස් ලෙස මුදල් ගැනීම් සිදුවන බව සිදුවීම රූගත කළ පුද්ගලයා හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කරා.
එම ස්ථානයට පැමිණෙන තවත් පුද්ගලයෙකු මුදල් ලබාදීමට උත්සාහ කළත් එය ප්‍රතික්ෂේප කර නිලධාරීන් දෙදෙනා (2) මාර්ගයේ අනෙක් පසට ගමන් කරන අතර එක (1) පුද්ගලයෙකු පොලිස් යතුරුපැදියේ එල්ලා තිබූ හිස් ආවරණය තුලට මුදල් දමන අයුරු පටිගත වී තිබෙනවා.
එම වීඩියෝ දර්ශන :
+
‘රිළව් රට පටවන්නේ කොමිස් අරගන්න’
(22.04.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)
මෙරට රිළව්න්ගෙන් වගාවලට එල්ල වන බලපෑම් සහ හානි සඳහා විසඳුම් තිබියදීත් රිළව්න් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබා දෙන්නේ දේශපාලනඥයින්ට කොමිස් ලබා ගැනීම වෙනුවෙන් බව ‘සුරකිමු ලංකා සංවිධානයේ’ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
තවද මේ පිළිබඳ අදහස් දක්වන පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ ද කොමිස් මුදල් ලබා ගැනීම වෙනුවෙන් දේශපාලනඥයින් මෙම තීරණයට ගෙන ඇති බවයි.
මෙරට ජනතාවගේ වගාවලට හානි කිරීමේ ප්‍රමුඛතම සත්වයෙකු ලෙස සැළකෙන රිළවුන්, චීනයේ සත්වෝද්‍යාන වෙත ලබා දීමේ කතාබහක් මතු වූයේ කෘෂිකර්ම අමාත්‍යවරයා පසුගියදා ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සමගයි.
+
යාපනයේ පස් පුද්ගල ඝාතනයක්
(22.04.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)
යාපනය – ඩෙල්ෆ්ට් දූපතේ මාවිලා වරාය අසළදී කාන්තාවන් තුන්දෙනෙකු (3) ඇතුලු පස්දෙනකු (5) තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
අද (22) අලුයම මෙම ඝාතනය සිදුවී ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.
ඝාතනයට ලක්වූ පස්දෙනා (5) ගෙන් දෙදෙනෙකු (2) විදේශගතව සිට මෙරටට පැමිණි අය බව පොලිසිය කියා සිටියා.
අනෙක් තුන්දෙනා (3) ගෙන් එක් (1) අයෙකු ව්‍යාපාරිකයෙකු බව සඳහන්.
සිද්ධියෙන් තවත් කාන්තාවක් (1) බරපතල තුවාල ලබා යාපනය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයද විදේශ ගතව සිට මෙරටට පැමිණ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
+
අහුන්ගල්ල වෙඩි තැබීමේ පොලිස් පරික්ෂණවලට යුද හමුදා පූර්ණ සහය
(22.04.2023 – 13:46 +0530 – hirunews.lk/sinhala)
අහුන්ගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට පූර්ණ සහය ලබාදෙන බව යුද හමුදාව පවසනවා.
යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් කියා සිටියේ යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ඊට පූර්ණ සහය ලබාදෙන බවයි.
මෙම සිද්ධියේ පරීක්ෂණවලට අදාළව කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ සෙබළුන් කිහිප දෙනෙකුගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
විමර්ශනවලට සහය දක්වන පොලිස් නිල සුනඛයෙකු අදාළ කඳවුර තුළට ඇතුළුවීම හේතුවෙන් ඇතිවූ සැකය මතයි මෙලෙස ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබුණේ.
විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් භාරයට ගත් ටී-56 ගිනි අවි රජයේ රස පරීක්ෂකවරයා වෙත මේ වනවිටත් යොමුකර ඇති බවයි.
එදින රාජකාරියේ නිරතව සිටි සෙබළුන් 36 දෙනෙකුට අයත් ටී-56 ගිනි අවි පොලීසිය සිය භාරයට ගෙන තිබුණා.
එමෙන්ම, ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියද යුද හමුදා බුද්ධි ඒකකය අසළ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණා.
ඉන් අනතුරුවයි නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.
එම අවස්ථාවේ නිල සුනඛයා දෙවරක්ම කඳවුර තුළට ගොස් තිබුණා.
පසුගිය 14 වනදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 29 හැවිරිදි බහුදින ධීවර යාත්‍රා මුරකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු සිය සොහොයුරියගේ දරුවන් දෙදෙනා (2) සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ.
එහිදී තුවාල ලැබූ දරුවන් දෙදෙනා (2) ද බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා ෴
වික්ටෝරියා ජලය අඩුවෙයි, පොල්ගොල්ල සුදානමින්
(22.04.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)
පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල පරිභෝජනය ඉහළ යාම නිසා ජල සම්පාදන මණ්ඩලයට වික්ටෝරියා ජලාශයෙන් අදාළ සැපයුම ලබාදීමට ප්‍රමාණවත් ජලය නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල සඳහන් කළේ එම නිසා පොල්ගොල්ල ජලාශයෙන් ජනතාවට ජලය බෙදාහැරීම සඳහා ජලසම්පාදන මණ්ඩලයට ජලය ලබාදීමට සැළසුම් කර ඇති බවයි ෴
රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය විද්‍යුත් ක්‍රමයට
(22.04.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala)
2024 වර්ෂය වනවිට සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රසම්පාදන (Procurement) ක්‍රියාවලින් විද්‍යුත් ක්‍රමයට සිදුකිරීමට කටයුතු සැළසුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රුවන්වැල්ල ප්‍රදේශයේ අද (22) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විද්‍යුත් ක්‍රමවේදයට සිදුකිරීම සඳහා යුරෝපා සංගමය සහ ලෝක බැංකුව සමඟ මැයි මාසයේ අදාළගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවයි ෴
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට
(22.04.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)
මේ වසරේ මුල් මාස දෙකේ (2) මෙරට ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබෙනවා.
පසුගිය වසරේ 2022 දෙසැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රි ලංකාවේ පැවති සමස්ත සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 19,52,991 ක් ලෙස වාර්තා වූ අතර මේ වසරේ ජනවාරි මාසය අවසන් වනවිට ශ්‍රි ලංකාවේ පැවති සමස්ත සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය 19,42,272 ක්.
මේ අතර, පෙබරවාරි මාසය වනවිට 19,40,872 ක් දක්වාත් තවත් පහළ ගොස් ඇති බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ.
මෙම කාඩ්පත් වෙනුවෙන් ගෙවීමට ඇති මුළු හිඟ මුදල් ප්‍රමාණය මේ වසරේ ජනවාරි අවසන් වනවිට රුපියල් මිලියන 1,42,061 ක් දක්වාත්, පෙබරවාරි අවසානයේ රුපියල් මිලියන 1,41,001 ක් දක්වා අඩුවී ඇති බවයි මහබැංකු සදහන් කළේ ෴
සිව්(4)දරු මව සොයා පොලිස් මෙහෙයුමක්
(22.04.2023 – 16:13 +0530 – hirunews.lk/sinhala)
පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදු කිරීමට පැමිණි සිව්දරු මවක්, අද (22) දින එම ආසන්නයේ පිහිටි ඩෙවොන් දිය ඇල්ලෙන් පහළට පැන තිබෙනවා.
එලෙස දිය ඇල්ලෙන් පහළට පැන සියදිවි නසා ගැනීමට තැත් කළ එම තැනැත්තිය මේ වනවිට අතුරුදන් වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ දිඹුලපතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි නමැති 34 හැවිරිදි සිව්(4)දරු මවක්.
තම දරුවන් දෙදෙනා (2) ද සමග පොලිසියට ගොස් පැමිණිල්ල සිදු කළ ඇය එක් (1) දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර වීදුරුවක් රැගෙන එන ලෙස දරුවාට දැනුම්දී තිබෙනවා.
දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්(4)දරු මව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.
සිව්(4)දරු මවගේ සිරුර සොයා දිඹුල පතන පොලිසිය වැඩිදුර මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴