අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු අත්අඩංගුවට
(22.04.2023 – 08:57 +0530 – hirunews.lk/sinhala)
අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා බෝම්බ ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පුද්ගලයා මහනුවර හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් දියත් කල මෙහෙයුමකදීයි.
පසුගිය 18 වැනිදා දුරකතන ඇමතුමක් මාර්ගයෙන් බුද්ධි අංශයට ලද මෙම තොරතුර ඔස්සේ යමින්, රාමසාන් සමයේ අකුරණ ඉස්ලාම් දේවස්ථාන වෙත විශේෂ අරක්ෂාවක් ලබා දීමට සහ නගරයේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තා.
18 වැනිදා පස්වරු 02:45 ට පමණ 118 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබී ඇති මෙම දුරකතන ඇමතුමෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ අකුරණ හා අලවතුගොඩ යන ප්‍රදේශවල ඉස්ලාම් දේවස්ථාන සහ පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබෙන බවයි.
මේ පිලිබඳව ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබනවා ෴
++++++++
අකුරණ ප්‍රහාරයක් ගැන ව්‍යාජ තොරතුරු දුන් සැකකරු රිමාන්ඩ්
(22.04.2023 – 15:59 +0530 – hirunews.lk/sinhala)
අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි දුරකථන අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (22) අලුයම හාරිස්පත්තුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
‘ඉෂදික් මොහොමඩ්’ නම් මවුලවිවරයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබූ අතර, ඔහු ගම් හතකට (7) පහරදෙන බවට ව්‍යාජ තොරතුරක් දැනුම් දෙමින් දූරකථන ඇමතුමක් ලබා දී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
මොහු ලබාදුන් දුරකථන ඇමතුමත් සමඟ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලි රැසකටම විශේෂ ආරක්ෂාවක් ලබාදීමටද පසුගිය දින කිහිපයේ කටයුතු කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තමන් විසින් අදාළ ඇමතුම් ලබාදුන් බවට සැකකරු පිළිගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, ඔහු තවත් පාර්ශවයකගේ අවශ්‍යතාව මත හෝ මෙහෙයවීම මත එවැනි ඇමතුමක් ලබාදුන්නේද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ.
+
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම ජූලි 01 වනදා සිට
(22.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා වැඩසටහනේ ලබන ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, සංක්‍රාන්තික පවුල් වලට දෙසැම්බර් 31 දක්වා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.
එමෙන්ම අවදානමට ලක්වූ පවුල් සඳහා ලබන වසරේ මාර්තු 31 දක්වා මසකට රුපියල් 5,000 බැගින් ලබාදීමට නියමිතයි.
මීට අමතරව දුප්පත් පවුල් ලක්ෂ අටක් සඳහා ජූලි 01 වනදා සිට වසර 3 ක් රුපියල් 8,500 ක මුදලක් මසකට ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.
එමෙන්ම අන්ත දිළිඳු පවුල් ලක්ෂ 4 ක් සඳහා ජූලි 01 වනදා සිට වසර 3 ක් යනතෙක් රුපියල් 15,000 ක දීමනාවක් මෙමඟින් ලබාදෙනවා ෴
සුදුමැස්සාගේ හානි මකන්න තැඹිලි පැළ ලක්ෂ 35 ක්
(22.04.2023 – 07:35 +0530 – hirunews.lk/sinhala)
සුදුමැස්සාගෙන් හානි වු තැඹිලි වගාව ප්‍රවර්ධනය කිරිම සඳහා මේ වසර අවසානය වන විට තැඹිළි පැළ ලක්ෂ 35 ක් පමණ වගාකිරීමට සුදානම් බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති මාධවී හේරත් කියාසිටියේ ඉදිරියේදී තැඹිලි වාණිජ වගාවක් ලෙස ද ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි.
පොල් වගාවට හානි පමුණවන සුදුමැස්සන් පාලනය කිරීමට සඳහා විශේෂ යන්ත්‍ර 700 ක් උපයෝගී කරගෙන ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිට ලියයි
(21.04.2023 – lankadeepa.lk)
යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබඳව පැහැදිලි කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
එම පනතේ ඇතැම් වගන්තිවලින් ප්රජාතන්ත්රවාදයේ මූලික අංගයක් වන රටවැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසිවීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් විශේෂඥ මණ්ඩලයක් හරහා මෙම පනත් කෙටුම්පතෙහි නුසුදුසු වගන්ති ඉවත් කිරීම සුදුසු බවත් එහි සඳහන් වේ.
ත්‍රෛනිකායික මහනාහිමිවරු යොමු කළ ලිපිය :
15 හැවිරිදි දරුවෙකු වෙඩි තබාගනී
(22.04.2023 – 07:50 +0530 – hirunews.lk/sinhala)
අම්පාර – බණ්ඩාරදූව – මායාදුන්න ප්‍රදේශයේ දී වයස අවුරුදු 15 ක පිරිමි ළමයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ(21) පස්වරුවේ ඔහු සිය නිවසේ තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි.
බරපතල තුවාල ලැබූ මෙම දරුවා අම්පාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴
කොළඹ වරායේ සිටි කිඹුලෙකු අල්ලයි
(22.04.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරාය ආශ්රිත මුහුදේ රැඳී සිටි කිඹුලෙකු වරාය අධිකාරියේ සේවකයින් විසින් අද (22) උදෑසන අල්ලා ගනු ලැබුවා.
වරාය අධිකාරියේ බණ්ඩාරනායක පාලම සහ හර්තාල් පාලම අසළ මුහුදේ වරාය අධිකාරියේ කම්කරුවන් විසින් යොදා තිබූ දැළකට මෙම කිඹුලා හසුවී ඇති බවයි වාර්තාවන්නේ.
පසුව වරාය අධිකාරියේ සේවකයින් විසින් කිඹුලා දැළත් සමඟ ගොඩට ගෙන ඇති අතර, නාවික හමුදා සහය ඇතිව අඩි 12 ක දිගින් යුත් මෙම කිඹුලා අද (22) වනජීවී දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.
මීට පෙර ද දෙහිවල, ගල්කිස්ස, ගාලුමුවදොර යන මුහුදු ප්‍රදේශවල කිඹුලන් නිරීක්ෂණය වූ අතර, දෙහිවල ප්‍රදේශයේදී විසිතුරු මසුන් අල්ලමින් සිටි කිමිදුම්කරුවෙකු ද කිඹුල් ප්‍රහාරයකින් පසුගිය වසරේ ජීවිතක්ෂයට පත්වුණා.
+
නිවසක තිබී අභිරහස් මළසිරුරක් හමු වේ
(22.04.2023 – 10:49 +0530 – hirunews.lk/sinhala)
මරදන්කඩවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයගෙන තිබෙනවා.
මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව සිදුකළ සෝදිසියක දී අදාළ නිවස තුළ තිබී මෙම මළසිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ මරදන්කඩවල පදිංචි වයස අවු 65 ක් වන අවිවාහක පුද්ගලයක්.
අදාළ පුද්ගලයා දින කිහිපයකට ඉහත දී මිය ගොස් ඇති අතර සිරුර සොයා ගන්නාවිට නරක්වෙමින් තිබූ බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.
මරණය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා ෴
ලංගමට වෙට්ටු දැමූ ප්‍රයිවට් බස් ලොක්කා පොලිසියට කොටුවෙයි
(22.04.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)
අනුරාධපුර සිට මාතලේ දක්වා ගමන් කරමින් තිබූ දඹුල්ල ඩිපෝවට අයත් බස් රථයකට එම මාර්ගයේ ගමන් කරමින් තිබූ අනුරාධපුර කැකිරාව පෞද්ගලික බස් රථය පසුකර යාමට නොදී ඩිෆෙන්ඩර් රථයක් මගින් ඉතා අනාරක්ෂිත අකාරයෙන් බාධා කරන අයුරු පුද්ගලයෙකු විසින් සිය ජංගම දුරකතනයෙන් පටිගත කර තිබෙනවා
මෙම ලංගම බස් රථය වසර 20 ක පමණ සිට සෑම දිනකම මෙම මාර්ගයේ රාජ්‍ය සේවකයින් ප්‍රවාහනය සිදු කරන බවත් අදාළ පෞද්ගලික බස් රථය පසු නොකර ගමන් කළ යුතු බවට එම පෞද්ගලික බස් රථයේ හිමිකරු විසින් තර්ජනය කර තිබෙන බවත් වාර්තා වෙනවා
මෙහිදී එම තර්ජනයට අවනත නොවී ලංගම බස් රථය ධාවනය කීරිම හේතුවෙන් පෞද්ගලික බස් රථයේ හිමිකරු ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ එම බස් රථය පසු කර යාමට බාධා කර තිබෙනවා.
මේ අවස්ථාවේ ලංගම බස්රථ රියදුරු විසින් තිරප්පනය නගරයේ දී පොලිස් ස්ථානයට බස් රථය ඇතුළත් කර ඇති අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඩිෆෙන්ඩර් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු (2) සහ බස් රථයේ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලංගම බස් රථයේ ගමන්ගත් රාජ්‍ය සේවකින් 40 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශ ලබා දී ඇති අතර තිරප්පනේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
+
නානුඔය සිට නුවරඑළිය සහ රාගල දක්වා නව දුම්රිය මාර්ගයක්
(22.04.2023 – 11:46 +0530 – hirunews.lk/sinhala)
නානුඔය සිට නුවරඑළිය සහ රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතින නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බ්‍රිතාන්‍ය යුගයේ නිර්මාණය කෙරුණු රාගල දක්වා දුම්රිය මාර්ගය කුඩා විදුලි දුම්රිය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමටයි යෝජනා වී ඇත්තේ.
නානුඔය ප්‍රදේශයේ නිල සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයින්ගේ පහසුව සඳහා මෙම මාර්ගය ඉදිකරන බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විශේෂයෙන්ම දිවයින පුරා පිහිටි සංචාරක ආකර්ෂණය සහිත දුම්රිය ස්ථාන විධිමත් ලෙස සංවර්ධනය කරමින් ආයෝජන අවස්ථා සඳහා ඉඩ ප්රස්ථා විවර කර දීමට පියවර ගත යුතු බවයි.
එමෙන්ම එළවලු ප්‍රවාහනය කිරීමේ කටයුතු ද නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට සැළසුම් සකස් කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කළේ.
ප්‍රදේශයේ ජනතාව සිදු කරන ලද ඉල්ලීමකට අනුව උදෑසන කාලයේ නානුඔය සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට නුවරඑළිය නගරයයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීමට විශේෂ බස් රථයක් යෙදවීමට ද අමාත්‍යවරයා විසින් මෙහි දී උපදෙස් ලබා දී තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴