උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ


උසස් පෙළ දෙමළ මාධ්‍ය පිළිතුරු පත්‍ර ඇගයීම ඇරඹේ

(21.04.2023 – 18:42 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ දෙමළ මාධ්‍යය පිළිතුරු පත්‍ර ඇගයීමේ මූලික කටයුතු අද (21) ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විෂයයන් කිහිපයකට අදාළව පාලක පිළිතුරු පත්‍ර සළකණු පටිපාටිය සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර සඳහන් කර සිටියේ හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, හින්දු ශිෂ්ටාචාරය, භරත නැටුම්, පෙරදිග සංගීතය, කර්නාටක සංගීතය, බටහිර සංගීතය, චිත්‍ර, නාට්‍ය හා රංග කලාව සහ හින්දි යන විෂයයන්ට අදාළව එම කටයුතු ආරම්භ කර ඇති බවයි.

යාපනය, කොළඹ, මඩකලපුව, ගම්පහ, කලුතර සහ කුරණෑගල යන නගර ආශ්‍රිත පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථානවල දී එම කටයුතු සිදු කෙරෙන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

එමෙන්ම සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යය ඇතුළු අනෙක් විෂයයන්ට අදාළව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා අයදුම්පත් ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බවත් එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ජනතා ආරක්ෂාවටයි – විජේදාස රාජපක්ෂ

(21.04.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ‘ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත’ ගෙන ඒමේ රජයේ අරමුණ වන්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරිම බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා.

එමෙන්ම, එතුළින් මානව හිමිකම් කඩවීමට ඉඩ ඇති අවස්ථා අවම කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ අධිකරණ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ එම අමාත්‍යාංශයේදී මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් ඊයේ (20) හමුවූ අවස්ථාවේදියි.

එහිදී අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සහ මේ වනවිට ශ්‍රී ලංකාව විසින් අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිවරයා දැනුවත් කර තිබෙනවා.

මෙරට ඇමරිකානු තානාපතිවරිය එහිදී සඳහන් කර ඇත්තේ වත්මන් රජය මේ වනවිට ජනතාවගේ ආරක්ෂාව, ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති වැඩපිළිවෙල අගය කරන බවයි.

ආර්ථික අර්බුදයට මුහුණදුන් ලොව සෙසු රටවල් සමඟ සසඳා බැලීමේදී මෙතරම් කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන්ද අමෙරිකානු තානාපතිවරිය සිය සතුට පළ කර තිබෙනවා.

+

+


බිත්තර මිල අඩු කිරීමට සූදානමක්

(21.04.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙක (2) තුළ බිත්තර මිල අඩුකිරීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

කෙසේ වෙතත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30 කට වඩා අඩු වුවත් ඊට සාපේක්ෂව ඉදිරියේදී බිත්තර මිල අඩු කළහොත් බිත්තර නිෂ්පාදකයන් ගැටළු රැසකට මුහුණදෙන බවයි බිත්තර වෙළඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි ජාඇළ අද (21) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

කෙසේ වෙතත් පාලන මිල ඉක්මවා බිත්තර අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවයි අමාත්‍යවරයා ගනේමුල්ල ප්‍රදේශයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු කියා සිටියේ.

+


තෙල්දෙණියේ හදිසි ගින්නක්

(21.04.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

තෙල්දෙණිය පොලිස් වසමේ අඹකොටේගම ප්‍රදේශයේ කැලෑවක ඊයේ (20) දින හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ තෙල්දෙණිය පොලීසියේ නිළධාරීන් හා ප්‍රදේශවාසීන් ගින්න මැඩ පැවැත්වීමටයි පියවර ගෙන තිබෙන්නේ.

අක්කර 03 ක පමණ භූමි ප්‍රදේශයක් ගින්නෙන් විනාශයට පත්වී ඇති අතර එම හේතුවෙන් ජීවිත හානි නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තෙල්දෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


පොලිස් නිලධාරීන්ට ඇමති ටිරාන්ගෙන් උපදෙසක්

(21.04.2023 – 14:15 +0530 – hirunews.lk/sinhala)

පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පොලිස් නිලධාරීන් ඍජුව කටයුතු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) දින පැවති කළුතර – කටුකුරුන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව අවසන් කළ පොලිස් නිලධාරීන් 189 දෙනෙකු විසිර යාමේ උත්සවයේදී අදහස් දක්වමින්.

මෙහිදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 167 දෙනෙකු සහ ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරුන් විසි දෙදෙනෙකු (20) විසිර ගියා.

එම උත්සවය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වැඩිදුරටත් කියා සිටියේ පාතාලය මැඩලීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ගෙන යන වැඩපිළිවෙලට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවයි ෴


දඹුල්ලේ එළවළු මිල අඩුවෙයි

(21.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අලුත් අවුරුදු සමයේ ඇතැම් එළවළු වර්ග වල මිල ඉහළ යනු ලැබුවා.

නමුත් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන එළවළු තොගවල අඩුවක් දක්නට ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ ලේකම් අයි. ජී. විජේනන්ද පවසනවා.

එමෙන්ම පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක්ද දක්නට ලැබෙන අතර, එළවළුවල මිල ගණන් අඩුවක් පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴


තරග නැති දඹුල්ලේ විදුලි ආලෝක පහන් යළිත් ගළවයි

(21.04.2023 – 14:44 +0530 – hirunews.lk/sinhala)

වසර පහකින් (5) දිවා රාත්‍රි තරග පවත්වා නැති රන්ගිරි දඹුලු‍ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ විදුලි ආලෝක පද්ධතිය නඩත්තු කටයුත්තක් සඳහා බව පවසමින් දෙවන (2) වතාවටත් ගලවා ඉවත් කර ඇති බව වාර්තා වනවා.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෞද්ගලික සමාගමකට ලබාදී ඇති බව කියන කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් මිලියන 160 ක්.

මීට පෙර 2016 වසරේදීද මෙම විදුලි ආලෝක පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කර තිබුණා.

කෙසේ වෙතත් එම නඩත්තුවෙන් පසුව ගතවූ වසර පහ (5) තුළම දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රි තරගයක් පැවැත්වීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකිරීම ගැටළු සහගත තත්වයක් ෴


ජාතික අක්ෂි රෝහල සඳුදා (24) සිට සැත්කම් සඳහා යළි විවෘත කෙරෙන ලකුණු

(21.04.2023 – 14:53 +0530 – hirunews.lk/sinhala)

ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් යළිත් සළකා බැලිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ බව කියා සිටියේ ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට සිදුවීම පිළිබඳව අදහස් දක්වමින්.

එහිදී ඔහු විශ්වාසය පළ කළේ ලබන සඳුදා (24) සිට යළිත් ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි ෴

+


අහංගමදී ස්පාඤ්ඤ ජාතිකයෙකු කාණුවකට වැටී මරුට

(21.04.2023 – 14:58 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ස්පාඤ්ඤ ජාතිකයෙකු අහංගම තැපැල් කාර්යාලය අසළදී කොන්ක්‍රීට් කාණුවකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිට ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් අහංගම සිට ගාල්ල දෙසට ගමන් කරමින් සිටියදී මෙම විදේශිකයා අනතුරට ලක්ව ඇති අතර, පසුව ඔහු හබරාදූව කළුගල රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

31 හැවිරිදි මෙම ස්පාඤ්ඤ ජාතිකයා මීට මාස එකහමාරකට (1½) පමණ කාලයක සිට අහංගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇති බවටයි පොලිස් විමර්ශනවලදී තවදුරටත් අනාවරණ වී ඇත්තේ ෴


ළමා නිවාසයකින් දැරියන් දෙදෙනෙකු (2) පලායාම ගැන විමර්ශන

(21.04.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

ගම්පොළ ළමා නිවාසයක පරිවාස නිලධාරින් භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු (2) ඉන් පලායාම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම ළමා නිවාසයේ පාලිකාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

වයස අවුරුදු 15 ක පමණ දැරියක සහ වයස අවුරුදු 09 ක දැරියක මෙලෙස ඉන් බැහැරව ගොස් ඇති අතර ඔවුන් ඔවුන් දෙදෙනා (2) සහෝදරියන් බවයි පොලිසිය සඳහන් කළේ.

මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයකට අනුව මොවුන් පසුගිය 10 වනදා සිට පරිවාස භාරයට පත්කර තිබුණා ෴


පාසල් සිසුවෙකුට පහරදුන් ගුරුවරුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(21.04.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුවෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහඔය ප්‍රදේශයේ ගුරුවරුන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුවා රෝහල්ගත කිරීමත් සමග පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුවයි මොවුන් තිදෙනා (3) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් වයස 34, 37 හා 43 වයස්වල පසුවන මහඔය පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අදාළ සැකකරුවන් අද (21) දින දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

(21.04.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ (20) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් සිදුකළ විශේෂ වැටලීමක දී යි.

අදාළ සැකකරු වයස අවුරුදු 75 ක් වන පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම පොතුවිල් පොලීසිය විසින් ද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28 ක් වන පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොතුවිල් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා ෴


ආවාසගෙය බිඳ රන් පිළිම හා මුදල් කොල්ලකෑ පහක් (5) අල්ලයි

(21.04.2023 – 16:36 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – කුඩාඉඳිවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ආවාස ගෙය බිඳ එහි තිබූ රුපියල් ලක්ෂ විස්සක (20,00,000) මුදලක් සහ රන් ආලේපිත බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මස 28 වනදා සැකකරුවන් එය කොල්ලකා තිබුණේ ආවාස ගෙයි සිටි පුද්ගලයන් දෙදෙනකුගේ (2) අත්පා ගැට ගසා තබමින්.

ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර ඒ අනුවයි සූරියවැව සහ මත්තලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් සන්තකයේ තිබී කොල්ලකන ලද අඟල් හතරක් (4) පමණ උසැති රන් ආලේපිත බුදු පිළිමයද සොයාගෙන තිබෙනවා ෴


අපේක්ෂාවට අරුණළු පායයි – රෝගීන් වෙනුවෙන් ඖෂධත්

(21.04.2023 – 16:50 +0530 – hirunews.lk/sinhala)

‘අපේක්ෂාවට අරුණළු සමාජ සත්කාරක සංවිධානය’ විසින් පිළිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

මෙම ඖෂධ මහරගම අපේක්ෂා රෝහල වෙත පරිත්‍යාග කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම සමාජ සත්කාරය අප්‍රේල් මස 29 වන දා පෙ.ව. 10:00 ට එම රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

මේ සඳහා ඔබටත් දායක වීමේ අවස්ථාව හිමිවන අතර ඒ සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග 15 ක පමණ ලැයිස්තුවක් පහත අමුණා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *