උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වන තෙක්
(20.04.2023 – 13:31 +0530 – hirunews.lk/sinhala)
උණුසුම් කාලගුණය මේ මස (අප්‍රේල්) අවසන් වනතෙක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි පර්යේෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂිකා අනූෂා වර්ණසූරිය කියා සිටියේ අද (20) දිනයේත් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ යන පළාත්වලට දැඩි උණුසම් කාලගුණ තත්ත්වයක් පවතින බවයි.
එම පළාත්වලට අමතරව මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් මෙම උණුසුම් කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බව ද ඇය සඳහන් කළා.
පවතින තත්ත්වය හමුවේ වැඩි වශයෙන් වැඩිහිටියන් සහ කුඩා ළමයින් ද ජලය පානය කිරීම අත්‍යාවශ්‍ය බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ, විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.
+
+
ලංගම බස් රථ අනතුරෙන් 10 ක් රෝහලේ
(20.04.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala)
අද (20) උදෑසන වෙන්නප්පුව නයිනමඩම පාලම මත දී ලංගම බස් රථයක් හා ලොරි රථයක් එකිනෙකට ගැටීමෙන් 10 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙසේ රෝහල් ගත කළ පිරිස අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා ද සිටින බවයි වාර්තා වෙන්නේ.
අදාල බස් රථය පාලම මත දී එක්වරම ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ වැදීමත් සමඟ පසුපසින් පැමිණි ලොරි රථයේ ගැටී තිබෙනවා.
මෙසේ අනතුරට පත් ව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ධාවනය වූ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ ෴
බිත්තර ගැසට්ටුව ප්‍රායෝගික නැහැ – නිෂ්පාදකයින්
(20.04.2023 – 13:35 +0530 – hirunews.lk/sinhala)
බිත්තර බරට විකිණීමට අදාළව නිකුත් කෙරුණු ගැසට් නිවේදනය ප්‍රායෝගික නොවන බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.
ඔවුන් පෙන්වා මෙම ගැසට් නිවේදන නිකුත් වනතුරු නිෂ්පාදකයින් නොදැන සිටි බවයි.
බිත්තර කිලෝවක උපරිම සිල්ලර මිල සඳහන් කරමින් ඊයේ (19) රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
අද (20) සිට ක්‍රියාත්මක මෙම ගැසට් නිවේදනයේ දැක්වුණේ සුදු බිත්තර කිලෝවක් රුපියල් 880 කට සහ දුඹුරු බිත්තර කිලෝවක් රුපියල් 920 කට මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි ෴
ත්‍රිකුණාමලයේ සුදුමැස්සන් රෝගයෙන් පොල් අක්කර 5000 ක් විනාශ වෙයි
(20.04.2023 – 13:43 +0530 – hirunews.lk/sinhala)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුලත් සුදුමැස්සන් රෝගය හේතුවෙන් අක්කර 5000 ක පමණ පොල් වගාවන් විනාශ වී ඇති බවට වාර්තා වෙනවා.
මෙම තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වෙන්නේ, අග්බෝපුර, මුල්ලිපොතාන, ත්‍රිකුණාමලය ප්‍රදේශවලින් ෴
සැමියා බිරිඳව ඝාතනය කරයි
(20.04.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)
බිරිඳට පහර දී ඝාතනය කළ සැමියෙකු හංවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ පහර කෑමට ලක් ව ඇත්තේ හංවැල්ල ඉරිදා පොළ තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක් වන කාන්තාවක්.
පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඊයේ (19) දිනයේ දී ඇය මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ ෴
ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ (19) වාර්තා වෙයි
(20.04.2023 – 13:53 +0530 – hirunews.lk/sinhala)
මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ (19) වාර්තාවු බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව, බලශක්ති උත්පාදනය සදහා ගිගාවොට් පැය 49.53 ක බලශක්ති ඉල්ලුමක් වාර්තාවූ අතර අද (20) දින සඳහා ගිගාවොට් පැය 50 ඉක්මවන බලශක්ති ඉල්ලුමක් පුරෝකථනය කරන බවයි ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර ඇතුළු සියලුම ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාර විදුලි උත්පාදනය සදහා යොදා ගැනෙන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ෴
උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම් ප්‍රමාදය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
(20.04.2023 – 13:56 +0530 – hirunews.lk/sinhala)
2022 උසස් පෙළ විභාගයට පෙනි සිටි සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් අද (20) පෙරවරුවේ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිය දරුවන්ට අසාධාරණයක් සිදුවන බව පවසමින් ෴
තවත් බිත්තර ලක්ෂ 10 ක් රැගත් නෞකාවක් අද කොළඹ වරායට
(20.04.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)
ඉන්දියාවෙන් ආනයනය කරන ලද තවත් බිත්තර ලක්ෂ 10 ක් රැගත් නෞකාවක් අද (20) රාත්‍රියේ කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ එම බිත්තර නෞකාව පැමිණීමත් සමග මෙරටට ඉන්දියාවෙන් බිත්තර ලක්ෂ 60 ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බවයි ෴
හය (6) ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා අයදුම්පත් ‘ඔන්ලයින්’ ක්‍රමයට
(20.04.2023 – 14:56 +0530 – hirunews.lk/sinhala)
2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගත ව සිදු කිරීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.
2023.04.20 දින දහවල් 12:00 සිට මැයි මස 08 දින රාත්‍රී 12:00 දක්වා කාලය වෙන් කර ඇත.
https://g6application.moe.gov.lk/#/ යන වේබ් අඩවිය වෙත පිවිසීමෙන් මාර්ගගත අභියාචනා අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.
එමෙන්ම පාසල් ඉල්ලුම් කිරීමට අදාළ පාසල් සංගණන අංක (Census No.) සහිත ලේඛනය https://moe.gov.lk/ වෙබ් අඩවියට පිවිසීම මඟින් ලබා ගත හැකි ය ෴
සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් උදයපුරම් වෙරළෙන්
(20.04.2023 – 15:13 +0530 – hirunews.lk/sinhala)
නීතිවිරෝධි ධීවර කටයුතු සඳහා යොදා ගැනීමට සඟවා තිබූ බවට සැකකෙරෙන ‘වෝටර් ජෙල්’ 25 ක් යාපනය – උදයපුරම් වෙරළේ තිබී සොයාගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන්ට ලද තොරතුරක් මත උතුරු නාවික විධානයේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (19) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පදුරක් යට සඟවා තිබූ සැකකටයුතු උරයක තිබී මේවා සොයාගත් බවයි .
නීතිවිරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිතකර ධීවර කටයුතුවල නිරත වීමෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවද නාවික හමුදාව ප්‍රකාශ කළා ෴
මීගමුවේ විරෝධතාවයට එරෙහි පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට
(20.04.2023 – 17:30 +0530 – hirunews.lk/sinhala)
මීගමුව – සෙල්ලන්දූව මංසන්ධියේ පැවැත්වීමට සැළසුම්කර ඇති විරෝධතා පෙළපාලියක් වළක්වාලන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (20) ප්‍රතික්ෂේප කළා.
‘ජාතික ජනබලවේගය’ විසින් හෙට (21) පස්වරුවේ එම විරෝධතා පෙළපාලිය සංවිධානය කර ඇති බවට ලද බුද්ධි තොරතුරක් මත එම ඉල්ලීම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ විරෝධතාව සඳහා පොලිස් ස්ථාන වෙත දැනුම්දීමක් සිදුකර අවසර ගැනීමක් සිදුකර නොමැති බව පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ එවැනි නියෝගයක් නිකුත් කිරීමට ඉදිරිපත් වී ඇති කරුණු ප්‍රමාණවත් නොමැති බවයි ෴
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් හතලිස් හත්දහසක් (47,000) උග්‍ර ආහාර අහේනියක
(20.04.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)
බදුල්ල දිස්ත්‍රික්කය තුළ පවුල් 47,665 ක් උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම පවසනවා.
සමීක්ෂණ වාර්තාවකින් මේ බව හෙළිව ඇති අතර එහි වැඩිදුරටත් දැක්වෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 05 ට අඩු ළමයින් 10,873 දෙනෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
දිස්ත්‍රික් ලේකම්වරිය මේ බව සඳහන් කළේ අද බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධ සහභාගිත්ව, සංවර්ධන වැඩසටහනේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීයි ෴
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර යොදාගනිමින් මෙරට දරුවන් යුරෝපයට විකිණූ ජාවාරමක් හෙළිවේ
(20.04.2023 – 18:20 +0530 – hirunews.lk/sinhala)
මැලේසියාවේ සංක්‍රමණ දෙපාර්තමේන්තුව විසින් මැලේසියානු ජාත්‍යන්තර විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් ශ්‍රී ලාංකික දරුවන් යුරෝපයට විකිණූ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මෙරට විවාහක යුවළක්.
මැලේසියානු ජාතික පුවත් ඒජන්සියේ ආගමන අධ්යක්ෂ ජනරාල් Datuk Ruslin Jusoh පැවසුවේ, ශ්‍රී ලාංකික දරුවෙකු සඳහා මැලේසියානු විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා පසුගිය අප්‍රේල් (12) දින ඔවුන් ක්වාලාලම්පූර් ආගමන මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වයස අවුරුදු 12 ට අඩු දරුවන් සිටින දුප්පත් මැලේසියානු දෙමාපියන් යොදා ගත් බවයි ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ.
දරුවාට විදේශ ගමන් බලපත්‍රයක් සෑදීමට අවශ්‍ය මුවාවෙන් තම දරුවාගේ උප්පැන්න සහතිකය ආගමන විගමන කාර්යාලයට ගෙන ඒමට ඔවුන් එම දෙමාපියන් රවටා ඇති බවටයි වාර්තා වන්නේ.
ඔහු පැවසුවේ, එදින විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍රය සකස් කරමින් සිටි ආගමන නිලධාරියා මැලේ භාෂාව කතා කළ නොහැකි දරුවාට වඩා භාරකරු සැලකිය යුතු ලෙස වෙනස් පෙනුමක් ඇති විට යම් වරදක් සැක කළ බවයි.
මූලික විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ, මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර මත යුරෝපයට රැගෙන යන සෑම ශ්‍රී ලාංකික දරුවෙකු සඳහාම යුරෝ 30,000 ත් 50,000 ත් අතර ප්‍රමාණයක් ඔවුන්ට ලැබුණු බවයි.
එමෙන්ම මෙම ජාවාරම කොපමණ කාලයක් ක්‍රියාත්මක වී ඇත්ද සහ ළමයින් කොපමණ සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇත්ද යන්න සොයා බැලීමට පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර අවුරුදු 37 සහ 26 වයස්වල පසුවන මෙම යුවළට අද ක්වාලාලම්පූර් සැසිවාර අධිකරණයේදී පුද්ගල ජාවාරම් කිරීම සහ සංක්‍රමණිකයින් ජාවාරම් කිරීම වැළැක්වීමේ පනතේ (ATIPSOM) 26A වගන්තිය යටතේ චෝදනා එල්ල වුණා ෴
හිසට දෙබෑ කරගෙන ගිය උදලු ප්‍රහාරය – අයෙක් මරුට
(20.04.2023 – 21:18 +0530 – hirunews.lk/sinhala)
ගල්නෑව ප්‍රදේශයේ දී උදැල්ලකින් හිසට පහර දී 72 හැවිරිදි තිදරු පියකු ඝාතනය කර තිබෙනවා.
මියගිය පුද්ගලයා, තම බිරිඳ සමග ඊයේ (19) සවස හේන් යායට ගොස් සිටි අවස්ථාවේ දී, එම ස්ථානයට පැමිණි බිරිඳගේ බාල සොහොයුරු මියගිය පුද්ගයාගේ හා ඔහුගේ බිරිඳගේ හිසට උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තාවන්නේ.
ඝාතනයට හේතු වී ඇත්තේ ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක්.
ප්‍රදේශවාසීන් එක්ව පහරකෑමට ලක්වූ දෙදෙනා (2) ම ගල්නෑව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙන අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
ඔහුගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබෙනවා.
ගල්නෑව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴