‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක්

‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක්


‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ දැව ජාවාරමක්

(19.04.2023 – 20:24 +0530 – hirunews.lk/sinhala)

‘රිදියගම සෆාරි උද්‍යානය’ තුළ සිදුවන තවත් ජාවාරමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු අනාවරණ වුණා.

ඒ, එම උද්‍යාන පරීශ්‍ර‍යේ ඇති බුරුත ගස් කපා කොටස් කර රහසිගතව උද්‍යානයටම අයත් ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන්.

ඉකුත් අප්‍රේල් 01 වැනිදා අලුයම් කාලයේ දී රිදියගම සෆාරි උද්‍යානය තුළ ඇති බුරුත ගස් කිහිපයක් කොටස් කර WP-LL 4388 දරණ CREW CAB වර්ගයේ ලොරි රථයෙන් රැගෙන ගොස් තිබුණා.

එම අවස්ථාවේ දී එම ලොරි රථය තුළ රිදියගම සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ‘කසුන් හේමන්ත සමරසේකර’ නැමති පුද්ගලයා ද රැදී සිටි බවයි සිද්ධිය ඇසින් දුටු සත්වෝද්‍යාන සේවකයින් අප වෙත කරුණු අණාවරණ කළේ.

අදාල ලොරි රථය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ‘රිදියගම සෆාරි උද්‍යානය’ වෙත අනුයුක්ත කළ වාහනයක් බව ද තහවුරු වී තිබෙනවා.

මෙලෙස බුරත දැව රැගත් ලොරිය එදින අලුයම් කාලයේ දී සූරිය වැව සහ පදලංගල යන ස්ථානවල දී පොලිස් විශේෂ කාර්‍ය බලකාය මගින්ද නවතා ප්‍රශ්න කර ඇති අතර එහිදී දෙහිවල සත්වෝද්‍යානයේ දර අවශ්‍යතාව සඳහා මෙලෙස දැව ප්‍රවාහනය කරන බවයි පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාල ලොරි රථයේ ගමනාන්තය වී ඇත්තේ රත්නපුර ප්‍රදේශයයි.

+


පවතින අධික උණුසුම ගැන අනතුරු ඇගවීම්

(19.04.2023 – 21:03 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇති ගොවීන්, පවතින දැඩි උණුසුම හමුවේ ශරීරයේ පවතින ජලය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර කියා සිටියේ හිරු රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වීමෙන් ඇති වන අහිතකර ප්‍රතිඵල වලක්වා ගැනීම සදහා ගොවිතැන් කටයුතු අතරතුර සෙවණකට පැමිණ විවේක ගැනීම ද වැදගත් වන බවයි.

මේ අතර, පවතින උෂ්ණත්වය හමුවේ ගර්භනී මව්වරුන් ද ජලය පානය කිරීම වැඩිකළ යුතු බවයි කාසල්වීදිය කාන්තා රෝහලේ නාරි සහ ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරොල් කියා සිටියේ.

දිවයිනේ පවතින අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පාසල් දරුවන් මෙන්ම, රාජකාරිවල නිරත ජනතාව ද මේ දිනවල දැඩි පීඩාවකට පත්ව තිබෙනවා.

+


යල කන්නයට අක්කර 20,000 ක බඩඉරිඟු

(19.04.2023 – 21:16 +0530 – hirunews.lk/sinhala)

මෙවර යල කන්නයේ අක්කර 20,000 ක බඩඉරිඟු වගා කිරීම සදහා මූලික කටයුතු සිදුකර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එමගින් බඩඉරිඟු මෙට්‍රික් ටොන් 90,000 ත් ලක්ෂයත් (1,00,000) අතර අස්වැන්නක් අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද (19) පැවති සාකච්ඡාවකට එක්වෙමින් බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ.

පසුගිය මහකන්නයේ බඩඉරිඟු වගාවෙන් මෙට්‍රික් ටොන් 2,16,000 ක අස්වැන්නක් ලැබී තිබෙනවා ෴


ජාතික අක්ෂි රෝහලේ ශල්‍යකර්ම නවතී

(19.04.2023 – 22:05 +0530 – hirunews.lk/sinhala)

ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්‍යකර්ම නවතා දමා ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා. එහි සභාපති රවී කුමුදේශ් සදහන් කළේ ශල්‍යාගාරයට විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් ශල්‍යකර්ම නතර කර ඇති බවට රෝගී ජනතාව වෙත දැනුම්දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ ජාතික අක්ෂි රෝහලෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය 13 වැනිදා සිට රෝහලේ සිදුකෙරෙන ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇති බවයි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (19) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති වීම සහ අනෙකුත් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳව අදහස් පළ කළා.

මේ අතර, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්, 1320 කට ලබන 25 වැනිදා සිට පත්වීම් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ප්‍රදේශයන්හි ග්‍රාමීය රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ ෴


සංශෝධන 73 ක් ඇති නව මහ බැංකු පනත තක්කඩි ලෙස සම්මත කරගැනීමට උත්සාහ දරනවා – නීතිපති දෙපාර්තමේන්තුවත් ලැජ්ජා වියයුතුයි – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(19.04.2023 – 18:17 +0530 – lankaleadnews.com)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියූ ලෙසට නව මහ බැංකු පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බවත්, මේ රටේ නීතිපති දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ලැජ්ජා විය යුතු බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යම් පනතක් සම්මත කිරීමේදී නීති කෙටුම්පත් අංශයෙන් අදාළ පනත සම්පාදනය කර අදාළ අමාත්‍යංශයෙන් ගැසට් කිරීමට පෙර නීතිපති දෙපාර්තමේන්තුවට යවන බවද, එහිදී ව්‍යවස්ථාවට පටහැනි කරුණු හෝ පනතේ අනුකූලතාවයට අදාළ ගැටලු ඇත්දැයි සොයාබලා එම දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබුණු පසුව පනත ගැසට් කෙරෙන බවද පවසන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මෙම පනත සම්මත කිරීමට උත්සාහ දරන්නේ ඒ කිසිවක් නොමැතිව 19 වැනි සංශෝධනය මෙන් හොර පාරේ බවයි.

සංශෝධන 73 ක් සමග මෙම පනත සම්මත කිරීමට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත්, මෙය ඉතා තක්කඩි ක්‍රියාවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කිසිදු රටක් මෙවැනි පනත් සම්මත කර නොමැති බවත්, වහාම මෙය නැවත සකස් කර ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ ඇමති මස් කට්ටක් වෙනුවෙන් තමන්ගේ වෘත්තීය ගෞරවය පාවා නොදෙන ලෙස විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ඊයේ (18) මාධ්‍ය හමුවකට එක්වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසීය.

+


ජැක්සන්ට දොස්තරවරුන්ගෙන් එහෙම දෙයක් වුණානම් ඒක බරපතළ අපරාධයක් – වෛද්‍ය හරිත අලුත්ගේ (19.04.2023)

+


පාර්ලිමේන්තුවට එන ලියවිල්ලක් චරිත උස්සයි – ලියවිල්ලේ තියන දේ එකිනෙක කියවයි (18.04.2023)

+


අලවතුගොඩ ඡායාරූප ශාලාවක හොර නෝට්ටු මුද්‍රණාලයක්

(20.04.2023 – 06:47 +0530 – hirunews.lk/sinhala)

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක් තුල රුපියල් පන් දහසේ (5000) ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක ඇතුළු උපකරණ කිහිපයක් සහ මෙම ස්ථානයේ මුද්‍රණය කළ ව්‍යාජ රුපියල් පන්දහසේ (5000) නෝට්ටු 43 ක්ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයෙකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේ දී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ (5000) ව්‍යාජ නෝට්ටුවක් හමු වී තිබෙනවා.

ඉන් පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ (5000) නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර, ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ (5000) නොට්ටු 40 ක් පොලීසියට හසුවී තිබෙනවා.

මෙම තැරැව්කරුගෙන් ලබාගත් තොරතුරු මත පොලීසිය මගින් ඉහත ඡායාරූප ශාලාව වටලා අදාල පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අද (20) දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි ෴


බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක්

(20.04.2023 – 07:05 +0530 – hirunews.lk/sinhala)

අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා බර අනුව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත්කරමින් ගැසටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් නිකුත් කර ඇති මෙම ගැසටි නිවේදනයට අනුව, සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල සටහන් වන්නේ රුපියල් 880 ක් ලෙසයි.

එමෙන්ම දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 920 ක් ලෙස සටහන් වෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *