වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක්

වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක්


වැඩ බැරි දේශපාලඥයින්ගේ ‘බැරිබැරියාව’ රිළව් රට පැටවීමෙන් වහගන්න හදනවා – පරිසර සංවිධානවලින් චෝදනාවක්

(19.04.2023 – 14:41 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන රිළව්න් රට පැටවීමේ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘වැසි වනාන්‍තර සුරකින්නන්ගේ සංගමය’ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එම සංගමයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ කියා සිටින්නේ, රිළව් (Toque Macaque) පිටරට යැවීම සම්බන්ධයෙන්ව විශාල කතාබහක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කරන ලද ප්‍රකාශයක්මුල්කොටගෙන බවයි.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක් නෛතිකමය හෝ ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු තීන්දුවක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙනනොමැති බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ප්‍රකාශය මගින් ‘වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමය’ පවසන්නේ මෙවැන්නක් :

‘රිළවුන් රට පැටවීම’, ‘ඌරා, ඉත්තෑවා, දඬුලේනා ඇතුළු සතුන් 7 ක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කරනවා’ යැයි වාචික ව කළනොමඟ යවන සුළු ප්‍රකාශයට සමාන ප්‍රකාශයකි.

බැලූ බැල්මට මෙය ඡන්දදායකයින් සහ ගොවියන් සතුටු කිරීම සඳහා කරන ලද හුදු දේශපාලනික ප්‍රකාශයන් හැර වෙන කිසිවක් නොවේ.

එසේම IMF එකඟතා අනුව යමින් ලාභ ලබන රාජ්‍ය සම්පත් පවා සමාගම්වලට පවරන්නාක් මෙන්ම කෘෂිකාර්මික ඉඩම් සහ වනාන්තර ඉඩම් විදේශ සමාගම්වලට ලබාදීම සඳහා වන ඉදිරි සැලැස්මේ මෙය කොටසක්.

මෙලෙස ‘වනාන්තර ඉඩම්’ උක් වගාව සහ බඩඉරිඟු වගාව ඇතුළු නොයෙක් කෘෂිකාර්මික කටයුතු මුවාවෙන් විදේශීය සමාගම්වලට සහ දේශපාලනඥයින්ගේ හිත මිතුරු දේශීය සමාගම්වලට විකිණීමට පෙර සූදානමක් ලෙස පරිසර සංවිධාන සහ ජනතාව අතර, විශේෂයෙන් ගොවි ජනතාව අතර ගැටුමක් ඇති කර, දේශපාලනඥයින්ගේ ‘වනාන්තර ඉඩම් විකිණීමේ සූදුව’ට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමටත්, එලෙස පාරිසරික වැදගත්කමක් ඇති ඉඩම් විකිණීමට එරෙහිව පරිසර සංවිධාන පාරට බැසීම සහ ගොවි ජනතාව සමඟ එක්ව කටයුතු කිරීම වැළැක්වීමේ පූර්ව සූදානමක් ලෙස හා උපක්‍රමික ලෙස දේශපාලනඥයින් ‘රිළවුන් චීනෙට පැටවීමේ ගැටලුව’ තම හිතවත් මාධ්‍ය නාලිකා භාවිතා කරමින් දිගින් දිගටම ගොවියන් සහ පරිසර සංවිධාන අතර ගැටුමක් බවට පෙන්වමින් සිටියි.

මේ දිනවල ගොවියන් ලෙසින් ‘වොයිස් කට්’ දෙන බහුතරයක් සැබෑ ලෙසම ගොවියන් නොවන බවත්, ඉන් සමහරෙක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බවටත් හෙළි වී ඇති බවයි ‘වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමය’ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ‘ගම සමඟ පිළිසඳර’ නාඩගම් තුළින් ද මේ ආකාරයෙන්ම පරිසර සංවිධාන වලට මෙන්ම පරිසර නියාමන ආයතන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසරඅධිකාරිය වැනි ආයතනවල නිලධාරීන්ට එරෙහිව ඉතා උපක්‍රමශීලීව මෙකී මාධ්‍ය හරහා විශාල ද්වේෂසහගත ප්‍රචාරණ ව්‍යාපාරයක්ගෙන යනු ලැබූ ආකාරය ඔබට මතකයට නැගෙනවා ඇත.

එසේම කෘෂි කෘෂිකර්ම ඇමැතිවරයාගේ සහ රජයේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් රිළවුන් බිල්ලට ගැනීම් අප තේරුම් ගත යුතුය.

ලංකාවේ කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇත්තේ නිසියාකාරයෙන් පොහොර සහ අදාළ පළිබෝධ පාලනය පිළිබඳ රජයට නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසාවෙනි.

ගොවියන්ට පොහොර ලබා දීමට සහ වාරි ජලය ලබා දීමට නොහැකි කෘෂිකර්මාන්ත ඇමතිවරුන් මෙන්ම 40% කට ආසන්න පසු අස්වනු හානිය වළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කෘෂිකර්මාන්ත ඇමතිවරුන් තම නොහැකියාව රිළවුන් වෙත පටවා ඇත.

රිළවා ගෙන් සිදු වන්නේ පෙර අස්වනු හානියක් වන අතර එය බෝගයෙන් බෝගයට වෙනස් වන නමුත් රිළවුන් ගෙන් සිදු වන සම්පූර්ණ පෙර අස්වනු හානිය, පසු අස්වනු හානියෙන් 5% කටත් අඩු ය.

එසේ නම් විසඳිය යුතු ගැටලුවේ අනුපිළිවෙළ වන්නේ, කෘෂි කර්මාන්තයේ යෙදවුම්, පසු අස්වනු හානිය සහ වෙනත් හේතූන් නිසා සිදුවන පෙර අස්වනු හානිය වන අතර රිළවාගෙන් සිදුවන පෙර අස්වනු හානිය ඒ සා විශාල ගැටළුවක් නොවන නමුත් එය ද විසඳිය යුතු ගැටලුවක් බව පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ලෙස අපගේ විශ්වාසයයි.

රිළවා ගෙන් සිදුවන පෙර අස්වනු හානියට වඩා ඇති ගැටලුව වන්නේ ගෙවතු වගාවන්ට හා නිවාස තුළට පැමිණ කරන හානීන් වේ.

කෙසේ නමුත් දේශපාලනඥයින් සහ සමහර විද්‍යුත් මාධ්‍ය මගින් පෙන්වන්නෙ රිළවුන් සියලු වගාවන්ට හානි කරන බවයි.

එමෙන්ම රිළවුන්ගෙන් හානි සිදුවන ප්‍රදේශ සැලකීමේ දී වාණිජමය වශයෙන් සිදු කරනු ලබන වගාවන්ට රිළවුන්ගෙන් වන හානිය ඉතාම අල්ප බව පෙනී ගොස් ඇත.

එසේම ‍රිළා ගහනය වර්ධනය වී ඇති ආකාරය සැලකීමේදී රට පුරා විසිරී ඇති, ජනතාව අතිවිශාල වශයෙන් වන්දනාමාන කරන, දහස් ගණනින් පැමිණෙන පන්සල්, පූජනීය ස්ථාන අවට වූ ගම්මාන සහ කැලෑ තුළ මෙම රිලවුන් ව්‍යාප්තවීම බහුල බව පෙනී ගොස් ඇත.

එසේම මෑතක සිට එසේ පූජනීය ස්ථානවල සිය දහස් ගණනින් බෝවී ඇති රිළවුන් අල්ලා රක්ෂිත සහ කෘෂිකාර්මික ප්‍රදේශවලගම්මානවලට මුදා හරින බවට තොරතුරු ද ලැබී ඇත.

ලංකාවේ සුප්‍රසිද්ධ ම පන්සල් විශාල ප්‍රමාණයක් රිළවුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට පත්වී ඇති අතර , එම රිළවුන් බෝ කිරීමේකාර්යය සිදු කරන්නේ ද රිළවුන් එපා කියන ගොවි ජනතාව ප්‍රමුඛ වන්දනාමානකරුවන් විසින් බවයි පරිසරවේදී සංවිධාන චෝදනාකරන්නේ.

වනාන්තරගතව සිටි මෙම රිළවුන් පන්සල් සහ පූජනීය ස්ථාන අවට ආහාර බහුල කොට, මනුෂ්‍යයන්ගේ ආහාර රටාවට පුරුදුකිරීම සහ සිය දහස් ගණනින් බෝ කිරීමට අනුග්‍රහය හා අනුබල ලබාදුන්නේ වඳුරන්ට සහ රිළවුන්ට ආහාරලබා දීම පුරුද්දක් කරගත් වන්දනාකරුවන් විසිනි.

මිනිසුන්ගේ ආහාර රටාවට සහ මිනිසුන්ට පුරුදු වුණු රිළවුන් ඈත පළාත්වලට හෝ වනාන්තරවලට මුදා හැරියද, බොහෝ විට ජනාවාස වලට, ගම්මාන වලට සහ කෘෂිකාර්මික භූමි වලට පැමිණෙන්නේ මෙකී ආහාර රටාවට පුරුදු වීම සහ මිනිසුන් විසින් කැවීම පෙවීම නිසාවෙන් ඇති කරගත් පුරුද්ද නිසා බව රිළවුන් එපායැයි දවල්ට රූපවාහිනී තිර ඉදිරියේ කියාපානා වන්දනාවේ හෝ සංචාරයේ ගොස් ආහාර වනසතුන්ට දෙන පොදු ජනතාව ම භාර ගත යුතු බව ද පරිසර සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ප්‍රශ්නයකට පහසුම තාවකාලික උත්තරය සොයනවා වෙනුවට, හේතුව සොයා ඊට පිළියම් යෙදීම ලංකාවේ නම් කොහෙත්ම සිදුවන්නේ නැත. විශේෂයෙන් දේශපාලනඥයින් ගෙන් එය කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. එනිසා රිළවුන් බෝවීමට හේතු සොයනවා වෙනුවට, බෝවෙන රිළවුන් රට පටවන්නට දඟලන්නේ එතුළින් ද කොමිස් ලැබෙන නිසාවෙනි.

රිළවුන්, වඳුරන් මෙන්ම අලි කොටි පවා ගම්මාන කරා පැමිණෙන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ දැඩි වනාන්තර හායනය බවත් එමගින් සිදු වී ඇති ආහාර සහ භූමිය අහිමි වීම් බවත් තේරුම් ගැනීමට අපහසු නොවේ. ඉංග්‍රීසීන් රට හැර යන විට 50% කට ආසන්න ව පැවැති වනගහනය අද 17% කට අඩු වී ඇති අතර, දේශපාලනඥයින් සිදුකර ඇත්තේ හෙක්ටයාර ලක්ෂ 5 ක් පමණ වනාන්තර පිටරට සමාගම්වලට හා දේශපාලන හිතවත්කම් ඇති දේශීය සමාගම්වලට විකිණීමයි.

එසේ වනාන්තර විකිණූ පසු ඒ තුළ ඉන්නා වූ අලි ඇතුන්, කොටින්, වඳුරන් මෙන් ම ඌරන්, ඉත්තෑවන්, සහ ගෝනුන් වැනි සතුන් ගම්වදින අතර, එසේ ගම්වැදීම නිසාවෙන් ගහනය වැඩි වී ඇති බවට සුපුරුදු බොරුව ප්‍රචාරය කිරීමටත්, එනිසා ගහන පාලනයට මෙම සතුන් දඩයම් කළ යුතු බවත්, එසේ නොමැති නම් පිටරට පැටවිය යුතු බවටත් නොයෙක් ප්‍රකාශ මේ වන විටත් සිදුකර ඇත.

රිළවුන් ගෙන් පටන් ගෙන මෙලෙස අතිරික්තයක් ඇතැයි කියා අලි ඇතුන්ගේ සිට සියලුම ආකාරයේ වනජීවීන් පිටරට පැටවීම සඳහාවන මූලික අඩිතාලම දැමීම රිළවුන් ගෙන් ආරම්භ කිරීම මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ගේ තාවකාලික ලාභයයි.

කෘෂිකර්මයට රිළවුන් ගෙන් මෙන්ම අලීන් ගෙන් ඌරන් ගෙන් වැනි සතුන්ගෙන් වන හානි ගැන කතා කරන එක දේශපාලනඥයකු හෝ වනාන්තර මහා පරිමාණයෙන් එළි කිරීම සහ එම නිසා වන සතුන් ගම් වැදීම ගැන කිසිදු විටෙකත් කතා නොකරන අතර රිළවුන් බෝ කිරීමට මහා පරිමාණ පූජනීය ස්ථාන මඟින් සිදුකරන බව කිසිවිටෙකත් කියන්නේ නැත.

වනසතුන්ගේ ගහනය කිසිසේත් වැඩි වී නොමැති අතර වනාන්තර අහිමි වීම නිසාවෙන් වනාන්තර තුළ සිටි වනසතුන් ගම්වැදීම පමණක් වැඩි වී ඇත.

එසේ නම් විසඳිය යුත්තේ වන සතුන්ගේ වාසස්ථාන වන, වනාන්තර ආරක්ෂා කිරීම නොවේද ? විශේෂයෙන් ලංකාවේ රිළවුන් මිලියන 3.6 සිටිනවා යැයි කියන්නේ පට්ටපල් බොරුවකි. අඩුම ගණනේ රිළව් කොපමණ සිටී ද යන්න තබා දහස් ගණනක් වන අලිඇතුන් කොපමණක් රට තුළ සිටී ද යන්නවත් මෙම දේශපාලනඥයින් නොදනී.

මෙහිදී ඉස්මතු කොට දැක්විය යුතු වඩා වැදගත්ම කාරණය වන්නේ දේශපාලනඥයින් වනාන්තර විනාශ කරන අතර රිළවුන් විසින් වනාන්තර ප්‍රතිස්ථාපනයට සහ ප්‍රතිනිර්මාණයයට වසුරු හරහා සහ බීජ ප්‍රචාරණය හරහා අතිවිශාල දායකත්වයක් දෙන බවයි.

එම නිසා රිළා ගැටළුවට ඇති හොඳම විසඳුම් වන්නේ පන්සල්වලින් රිළවුන් බෝවීම වැළැක්වීමත්, දේශපාලන අනුග්‍රහයෙන් ඉතා වේගයෙන් සිදු වන රිළවුන්ගෙන් වාසභූමි වන වනාන්තර විනාශවීම වළක්වා ඔවුන්ගේ වාසස්ථාන වැඩිදියුණු කර දීමත්ය.

එසේ නොකරන තාක් කල් රිළවුන් පමණක් නොව අලි, කොටි, වලසුන් ගෝනුන් ඌරන් ඉත්තෑවන් පවා පිටරට පැටවීමට සිදුවනු ඇති බවටයි වැසි ‘වනාන්තර සුරකින්නන්ගේ සංගමයේ’ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ වැඩිදුරටත් සඳහන් කරන්නේ ෴

+++++++++

“රිළව් ආනයනයට ඉල්ලීම් කර නෑ” – චීන තානාපති කාර්‍යාලය

(19.04.2023 – 15:31 +0530 – hirunews.lk/sinhala)

චීන වන විද්‍යා හා තණබිම් පරිපාලන දෙපාර්තමේන්තුව ලංකාවෙන් රිළවුන් 100,000 ක් ආනයනය කරන ලෙස කරන ලද ඉල්ලීමක් පිලිබඳව දැනුම් දී නොමැති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

චීනයට වන සතුන් සහ ශාක ආනයනය කිරීම, අපනයනය අධීක්‍ෂණය කිරීම මෙන්ම කළමනාකරණය කරනු ලබන ප්‍රධාන අංශය වන්නේ එම දෙපාර්තමේන්තුවයි.

එමෙන්ම එම සතුන් ආනයන සඳහා කිසිදු චීන පෞද්ගලික සමාගමක් ද තමන් වෙත ඉල්ලීමක් සිදුකර නොමැති බවත් තානාපති කාර්‍යාලය පවසනවා.


විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යූහගත කිරීමේ මාර්ග සිතියම ගැන දැනුවත් කිරීම් ඇරඹේ

(19.04.2023 – 15:10 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාල රාමුව සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අද (19) උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන්ගේ සංගමය දැනුවත් කළ බවයි අමාත්‍යවරයා සදහන් කළේ. එහිදී ඉංජිනේරුවන් සහ ප්‍රතිව්‍යූහගත කිරීමට පත් කර ඇති කමිටුව අතර අදහස් හුවමාරු වී තිබෙනවා ෴


‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගැන අධිකරණ ඇමතිගෙන් නිවේදනයක්

(19.04.2023 – 15:14 +0530 – hirunews.lk/sinhala)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි නඩු පැවරීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවත්, එම කටයුතු මන්දගාමී බවට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ වන්දි ලබා ගැනීම, තක්සේරු කිරීම සඳහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සකස් කළ වාර්තාව පසුගිය වසරේ (2022) සැප්තැම්බර් මාසයට පෙර ලබාදෙන බවට පොරොන්දු වුවත් එම වාර්තාව තමන් වෙත ලබාදෙනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේ බවයි.

ඒ අනුව, නෛතික කටයුතු සදහා එම වාර්තා, නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව ද එහි සඳහන් ෴


නීතිවිරෝධී ලෙස මසුන් මැරූ ධීවරයින් පිරිසක් නාවික හමුදාවට කොටුවෙයි

(19.04.2023 – 16:04 +0530 – hirunews.lk/sinhala)

යාපනය මාමුනෙයි සහ චුන්ඩිකුලම් ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස මසුන් මරමින් සිටි දේශීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

සිදු කල විශේෂ වැටලීමක දී ධීවරයින් 12 දෙනෙකු, යාත්‍රා 3 ක් සහ ධීවර උපකරණ තොගයක් සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

අත්අඩංගුවට ගත් යාත්‍රා නාවික හමුදා භාරයේ තබා ගෙන ඇති අතර, ධීවරයින් සහ ධීවර ආම්පන්න තොගය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී තිබෙනවා ෴


වාහන ඉන්ධන ධාරිතාව පිළිබඳ සමාජ මාධ්‍ය කටකතා LIOC ප්‍රතික්ෂේප කරයි

(19.04.2023 – 17:00 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) වාහන ඉන්ධන ධාරිතාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ටැංකි උපරිම ධාරිතාවට පුරවා ගැනීමෙන් වළකින ලෙස වාහන හිමියන්ට අනතුරු ඇඟවීමක් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ කටකතා පැතිර යන බවත් එමගින් පිපිරීමක් සිදුවිය හැකි බවත් LIOC පවසනවා.

පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කරමින් LIOC ප්‍රකාශ කළේ, තමන් එවැනි අනතුරු ඇඟවීමක් කර නොමැති බවයි.

එමෙන්ම එය සමාජ මාධ්‍ය වේදිකාවල සංසරණය වන ව්‍යාජ පණිවිඩයක් බවයි LIOC පවසන්නේ ෴


අකුරණට විශේෂ ආරක්ෂාවක්

(19.04.2023 – 17:08 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අකුරණ නගරයට මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන සහ පොදු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පණිවුඩයකට අනුවයි.

අදාළ තොරතුරු තහවුරු කර ගන්නාතුරු පොලීසියට අමතරව, යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව අකුරණ නගරයට ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියා.

කෙසේ වෙතත්, අකුරණ නගරයේ ජනතාව අද (19) සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතු වල නිරත වූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ ෴


පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 1320 කට ලබන සතියේ පත්වීම්

(19.04.2023 – 17:12 +0530 – hirunews.lk/sinhala)

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්, 1320 කට ලබන 25 වැනිදා සිට පත්වීම් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔවුන්ගෙන් වැඩි පිරිසක් දුෂ්කර ප්‍රදේශයන්හි ග්‍රාමීය රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ වනවිට රට තුළ සමස්ත වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය 19,000 ක් වන අතර, නව වෛද්‍යවරුන්ගේ පත්වීමත් සමග එය 20,000 ඉක්මවනු ඇති.

එමෙන්ම, වාර්ෂිව වෛද්‍ය විද්‍යාලය සදහා ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව 1800 ක් පමණ වන බවත් එය 5000 දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා ෴


හෝටල් හිමිකරු සමග ත්‍රීරෝද රථය අඩි 100 ක ප්‍රපාතයට

(19.04.2023 – 11:35 +0530 – sinhala.adaderana.lk)

අද (19) උදෑසන බෙරගල සිට හපුතලේ දක්වා ගමන් ගත් ත්‍රිරෝද රථයක් රියදුරුට නින්දයාම හේතුවෙන් අඩි 100 ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, හපුතලේ – බෙරගල මාර්ගයේ දී ත්‍රීරෝද රථය එලෙස ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුරට පත්වු ත්‍රීරෝද රථයේ රියදුරු බෙරගල හෝටලයක හිමිකරුවෙක් වන අතර හපුතලේ බැංකුවකට මුදල් තැන්පත් කිරීමට යන අතරතුර අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ මාර්ගයේ ගමන්ගත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් තුවාලකරුව දියතලාව මුලික රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබු පුද්ගලයාගේ තත්ත්වය බරපතළ නොවන බව ද වාර්තා වේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *