“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත


“අමාත්‍ය ධූරය හැර යෑමට සූදානම්” – අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත

(19.04.2023 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පීඩනයකින් අමාත්‍ය ධුරයේ වැඩ කිරීමට තමන් සූදානම් නැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා.

අවශ්‍ය වුවහොත් තමා අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමේ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී යි.

උසස් පෙළ උත්තරපත්‍ර පරීක්ෂාකිරීමේ අර්බුධය පිලිබඳව අමාත්‍යවරයා සඳහන් කරනුයේ, තමන් අදාල සංගමයන් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල සංදේශ පවා ඉදිරිපත් කර ඇති බවත් තමන් හට ක්‍රියාකල හැකි සීමාවේ තමා එම කටයුතු සිදු කොට අවසන් බවයි.

උත්තරපත්‍ර පරීක්ෂකවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව රුපියල් තුන්දහසක් (3000) ගෙවීමට තමන් අනුමැතිය ලබාදුන් නමුත් මහා භාණ්ඩාගාරය එය අනුමත නොකළ බවත් මහා භාණ්ඩාගාරය නම්‍යශීලී භාවයක් මෙම ගැටලුව කෙරෙහි දැක්විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

+++++++++

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කෙරේ?

(19.04.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත්, ලබන සතිය වන විට හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපති මේ බව පැවසුවේ, අද (19) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින්.

එමෙන්ම, දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයකට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ද ජනාධිපතිවරයා පැවසුවා ෴


කිරිපිටි මිල යලි අඩු කිරීමට එකඟත්වයක්

(19.04.2023 – 10:28 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී කිරිපිටි මිල තවදුරටත් පහත හෙළීමට මෙරට ප්‍රධාන කිරිපිටි ආනයන සමාගම් එකඟත්වය පළ කර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සිය ෆේස්බුක ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ, එම සමාගම් වල නියෝජිතයින් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවේ දී ඔවුන් මෙම එකඟතාවය පළ කළ බවයි.

ඒ අනුව, ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් වාර්තාවක් අමාත්‍යාංශය වෙත ලැබීමට ද නියමිත බව වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව, රුපියල ශක්තිමත් වීමත් සමඟ පසුගිය මාසයේදී කිලෝග්‍රෑම් එකක ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 80 කින් අඩු කරනු ලැබුවා.

ඒ අනුව, මේ වනවිට ග්‍රෑම් 400 යේ කිරි පිටි පැකැට්ටුවක මිල රුපියල් 1160 ක් වන අතර කිලෝ ග්‍රෑම් එකක (1) කිරිපිටි පැකැට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 2,895 කටයි.

මේ අතර, තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම මෙලෙස ආනයන සීමා ලිහිල් කිරීමට පිටුවහලක් වූ බවයි ඊයේ පැවති රැස්වීමකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ෴


විශේෂඥ වෛද්‍යවරු හිඟයෙන් ඇඹිලිපිටිය රෝහල අර්බුදයක

(19.04.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

විශේෂඥ වෛද්‍යවරු නොමැති වීම හේතුවෙන් හදිසි ශල්‍යකර්ම සිදු කළ යුතු රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට සිදුව ඇති බව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ.එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර පවසනවා.

රෝගීන් මෙලෙස මාරුකර යවා ඇත්තේ කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙතයි.

එමෙන්ම රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේ පවතින තත්වය මත අත්‍යාව්‍ය හා හදිසි සැත්කම් සිදු කළ යුතු රෝගීන් රෝහල වෙත යොමු කිරීමෙන් වලකින ලෙසයි ෴


අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක්

(19.04.2023 – 11:00 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දය අප්‍රේල් 25 වන දිනට නියමිත පරිදි පැවැත්විය නොහැකි බව සඳහන් කරමින් සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒවායේ දැක්වෙන්නේ, මහා භාණ්ඩාගාරය මුදල් වෙන්කර පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව ලබා දුන් පසු මැතිවරණය පැවැත්වෙන නව දිනය ප්‍රකාශයට පත් කරන බවයි.

පසුගිය දා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමූ අතර ඒ අනුවයි ඊට අදාළ ගැසට් නිවේදන දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන් විසින් මෙලෙස නිකුත් කර ඇත්තේ ෴


සංචාරක කර්මාන්තයේ පැහැදිලි වර්ධනයක්

(19.04.2023 – 12:25 +0530 – hirunews.lk/sinhala)

මැයි මස 20 වැනිදා වන විට සංචාරකයින් හාරලක්ෂ‍යක් (4,00,000) පැමිණීමේ ඉලක්කය සම්පූර්ණ කර ගත හැකි බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ මස 16 දක්වා කාලය තුළ සංචාරකයින් 55,000 ක් මෙරටට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කර සිටියේ.

එමෙන් ම වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන්පසුව රුසියාවෙන් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ජනවාරි සිට මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් බවත් චීනයෙන් බලාපොරොත්තු වූ තරම් සංචාරක පිරිස් පැමිණ නොමැති බවත් එලැඹෙන මාසයේ දී චීන සංචාරක පිරිසේ ද වර්ධනයක් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර සිටියේ ෴


රිය අනතුරකින් එකොළොස් (11) හැවිරිදි දරුවෙක් මරුට

(19.04.2023 – 12:29 +0530 – hirunews.lk/sinhala)

මූණමල්දෙණිය කටුපොත මාර්ගයේ අංගමුව ප්‍රදේශයේ දී සිසුවෙක් ඊයේ (18) අනතුරට ලක්ව තිබෙනවා.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වයස අවුරුදු 11 ක් වූ වලව්වත්ත අනුක්කහේන ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

මියගිය මෙම සිසුවා පාසල් නිම වී බස් ‍රථයෙන් බැස, බස් රථයට පසු පසින් පාර මාරු වීමට යෑමේ දී කටුපොත දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූ සිසුවා කුලියාපිටිය රෝහලට ඇතුලත් කරන අවස්තාවේ දී මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙන අතර හෙට්ටිපොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

එමෙන්ම බිබිල හමාපොල හන්දියේ දී ද ඊයේ (18) උදෑසන සිදු වූ රිය අනතුරකින් ද කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

තල්ලන්ද මාර්ගයේ සිට ධාවනය වූ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

මියගිය කාන්තාව 57 වයසැති බිබිල කෝකුන්නෑව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත දේහය බිබිල රෝහලේ තැම්පත් කර ඇති අතර බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴


ජාතික රෝහලට එන කාන්තාවන් මත්කර කොල්ලකෑ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(19.04.2023 – 12:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත් කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ කොල්ලකෑ සැකකාරියක් සහ පිරිමි පුද්ගලයෙකු මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

කොල්ලකන ලද රන් භාණ්ඩ අහංගම ප්‍රදේශ රන් භාණ්ඩ අලෙවි කරන ස්ථානයකට ලබාදී ඇති අතර, ඒවා උණුකර තිබියදී පොලීසිය සොයා ගනු ලැබුවා.

සායනවලට සහභාගි වන රෝගී කාන්තාවන් සමග හිතවත් වී උපක්‍රමශීලීව, ඔවුන් පිටතට කැඳවාගෙන ගොස් මත් පෙති, ආහාර පාන සමග මිශ්‍ර කර ලබාදී, ඔවුන් සතු රන් ආභරණ සහ මුදල් පසුම්බි සැකකාරිය සහ සැකකරු විසින් සොරාගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබූ මත් පෙති තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට

(19.04.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

හොරණ නගරයේ සිදුවන අපරාධ සහ සොරකම් රැසකට සම්බන්ධ රොස්වුඩ් වත්තේ සුද්දා නමැත්තා සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 08 වනදා හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයකදී මුදල් සහ දේපල කොල්ලකෑමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ (18) මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් සොරා ගත් ජංගම දුරකථන සහ විදේශීය මුදල් පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴


ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් විකිණීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(19.04.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් පුද්ගලික අංශයට විකිණීමට එරෙහිව ටෙලිකොම් එක්සත් වෘත්තීය සමිතිය අද (19) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකළා.

නීතිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය, ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා ඇතුළු 34 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සමෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ සියයට 49.5 ක කොටස් පෞද්ගලික අංශයට විකිණීමෙන්, ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා බහුතරයක් ඉටු කරනු ලබන ආයතනය රජයේ පාලනයෙන් ගිලිහී යනු ඇති බවයි.

මහජන උනන්දුවක් සහිත හදිසි කරුණක් ලෙස සලකා මෙම පෙත්සම කඩිනමින් විභාගයට ගන්නා ලෙස ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා ෴


සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට සිහිකැඳවීමක්

(19.04.2023 – 14:12 +0530 – hirunews.lk/sinhala)

උණුසුම් කාලගුණය හේතුවෙන් පැය භාගයකට (½) වරක් ජලය මිලිලීටර් 250 ක් පානය කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමගින් විජලනය ඇතුළු රෝග තත්ත්වයන් වළක්වා ගත හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (19) පැවති මාධ්‍ය හමුවක දී එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව කියා සිටියේ.

+


රඹුක්කන පොලිස් වෙඩි තැබීමේ සිද්ධියේ අවසන් නිර්දේශය පොලිස්පතිට

(19.04.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

2022 අප්‍රේල් 19 වැනි දා කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවයක් අතරතුරදී එක් (1) අයෙකු මිය ගිය පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අවසන් නිර්දේශය පොලිස්පතිවරයාට භාරදුන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.

ජන විරෝධයක් අතරතුර රඹුක්කන නගරයේ දී පසුගිය වසරේ අප්‍රේල් මස 19 වැනි දින චමින්ද ලක්ෂාන් නමැති අයට වෙඩි වැදී මියයෑම සම්බන්ධව මානව හිමිකම් කොමිසම විසින් මෙලෙස විමර්ශනයක් සිදුකර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *