හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට

හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට


හිටපු නීතිපතිවරයා වෙනුවට නිතිඥවරයෙකු ටී.අයි.ඩී. යට

(19.04.2023 – 08:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කළ කැඳවීම සම්බන්ධයෙන් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අද (19) පිටු 7 ක ලිඛිත විරෝධතාවයක් ඉදිරිපත් කළා.

ඒ නිතිඥ දිමිත්‍රි අබේසේකර මාර්ගයෙන්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබුණේ 2021 වසරේ දි යි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි මාසයේ දී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදෙනු ලැබුවා.

එහි පිටපතක් එවක නීතිපති දප්පුල ද ලිවේරා වෙතද ලබාදීමටයි පියවර ගැනුනේ.

එවැනි පසුබිමක දප්පුල ද ලිවේරා 2021 වසරේදී නීතිපති ධුරයෙන් විශ්‍රාම ගත්තා.

සිය ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව, පාස්කු ප්‍රහාරය පසුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවටත්, ඊට සම්බන්ධ සියලුදෙනා සාක්ෂි හරහා අනාවරණ කළ යුතු බවටත් ඔහු විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණා.

කුමන්ත්‍රණය සිදුකළ පුද්ගලයින් වෙනම තලයක සිටින බවත්, සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තීරණය කළද, ඔහුත් මෙම කුමන්ත්‍රණකාරී පුද්ගලයින්ගෙන් එක් අයෙකු පමණක් බවත් හිටපු නීතිපති දප්පුල ද ලිවේරා එහිදී පවසා තිබුණා.

අදාළ ප්‍රකාශය පිළිබඳව හිටපු නීතිපතිවරයාගෙන් ප්‍රශ්න කළ යුතු බවටයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවස්ථා ගණනාවකදීම ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙන්නේ එවන් පසුබිමකයි.

+

+


දකුණු මුහුදේ දී හෙරොයින් සමඟ ඇල්ලූ හයදෙනා (6) රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(19.04.2023 – 08:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 179 ක් සමඟ දකුණු මුහුදු තීරයේදී නාවික හමුදා භාරයට ගෙන ගාලු වරායට රැගෙන ආ යාත්‍රාවේ සිටි සැකකරුවන් හයදෙනා (6) දින හතක් (7) රඳවාගෙන ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 15 වනදා දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගනු ලැබුවේ සැකකරුවන් හයදෙනෙකු (6) සමගයි.

ඒ, නාවික හමුදාව, පොලිසිය සහ අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදියි.

අදාළ යාත්‍රාව පරීක්ෂා කිරීමේදී පාර්සල් විශාල ප්‍රමාණයක් අඩංගු පොලිසැක් උර අටක් (8) සහ සැටලයිට් වර්ගයේ දුරකථනයක් (1) වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් භාරයට ගෙන තිබුණා.

ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, නඩු භාණ්ඩ සහ සැකකරුවන් පෙරේදා ගාලු වරායට රැගෙන එනු ලැබුවා.

එහිදී හෙරොයින් කිලෝ 179 යි ග්‍රෑම් 654 ක් සොයාගත් අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් නාකුළුගමුව, නෙටොල්පිටිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අවුරුදු 32, 34, 35 සහ 41 යන වයස්වල පසුවනවා.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, ජාවාරම මෙහෙයවනු ලබන විදේශයක සිටින සැකකරු සහ මෙරට සිටින මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


අහුන්ගල්ලේ ඝාතකයන් සොයා පොලිස් නිල සුනඛයා හමුදා කඳවුරට යයි

(19.04.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

අහුන්ගල්ල – මිද්දරමුල්ල ප්‍රදේශයේ පසුගියදා වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණවලට අදාළව කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකා කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි සෙබළුන් 36 දෙනෙකුට අයත් ටී 56 ගිනි අවි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ විමර්ශනවලට සහය දක්වන පොලිස් නිල සුනඛයෙකු අදාළ කඳවුර තුළට ඇතුලුවීම හේතුවෙන් ඇතිවූ සැකය මත මෙලෙස මෙම ගිනි අවි පොලිස් භාරයට ගත් බවයි.

එමෙන්ම ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියද යුද හමුදා බුද්ධි ඒකකය අසළ කුරුඳු ඉඩමක දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබුණා.

පසුවයි නිල සුනඛයන් යොදවා පරීක්ෂණ සිදුකරනු ලැබුවේ.

එම අවස්ථාවේ නිල සුනඛයා දෙවරක්ම (2) කඳවුර තුළට ගොස් ඇති අතර, ඒ අනුවයි විමර්ශන කටයුතු පුළුල් කර ඇත්තේ.

මේ අතර එම ගිනි අවි ඉදිරියේ දී රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 29 හැවිරිදි බහුදින ධීවර යාත්‍රා මුරකරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු සිය සොහොයුරියගේ දරුවන් දෙදෙනා (2) සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදියි මෙම වෙඩි ප්‍රහාරයට ලක්වුණේ.

එහිදී තුවාල ලැබූ දරුවන් දෙදෙනා (2) ද බලපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

+


ශ්‍රී ලංකාව සහ තායිලන්තය සමඟ පොදු ගෙවීමේ ක්‍රමවේදයක් ඉන්දීය මහ බැංකුව සහ ඉන්දීය ජාතික ගෙවීමේ ජාලයෙන්

(19.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සහ තායිලන්තය සමඟ පොදු ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා මූලික අදියරයේ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය මහ බැංකුව සහ ඉන්දීය ජාතික ගෙවීමේ ජාලය පවසනවා.

ඊට අදාළ සාකච්ඡා මේ වනවිට රටවල් කිහිපයක් සමඟම ආරම්භ කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ගිණිකොණ දිග ආසියාවේ රටවල් වැඩි වශයෙන් මෙම ගෙවීමේ ක්‍රමවේදය සඳහා එක් කරගැනීමටයි ඔවුන්ගේ අපේක්ෂාව වී ඇත්තේ.

පොදු ගෙවීමේ ක්‍රමවේදයක් තුළින් බැංකු ගිණුම් කිහිපයක් එක් ජංගම දුරකථන යෙදවුමකට ඇතුළත් කළ හැකි අතර, ඊට බැංකු පහසුකම් රැසක් ඇතුළත් කළ හැකි වනවා සේම ගෙවීම් සහ ලැබීම් ඒ හරහා අඩු පිරිවැයකින් සිදුකරගැනීමේ හැකියාවද පවතිනවා.

මේ වනවිට ඉන්දියාවේ මෙවැනි ක්‍රමවේද හරහා මසකට ගණුදෙනු බිලියන අටක සීමාව ඉක්මවා සිදු කෙරෙන අතර, එය ව්‍යාප්ත කිරීම තුළින් ඊට අනුගතවන රටවල ජනතාවට ඍජු ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හරහා විදේශ රටවල අධ්‍යාපනය ලබන දරුවන්ට ගෙවීම් කටයුතු මෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙන්ම සංචාරකයින්ට ඔවුන්ගේ ගෙවීම් කටයුතු කාර්යක්ෂමව සිදුකරගැනීමේ හැකියාවද පවතිනවා ෴


වරායට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

(19.04.2023 – 08:32 +0530 – hirunews.lk/sinhala)

වරාය තුළ වෙළඳ නාවික කටයුතුවලදී සහ භාණ්ඩ නිෂ්කාශනයේදී සිදුවන විශාල ප්‍රමාදයන් වළක්වා ගැනීමට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (18) පැවැත්වුණා.

ඒ සඳහා ඩොලර් මිලියන 35 ක් පමණ වැයවන අතර, ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර අදාළ පද්ධතිය ක්‍රියාත්මක කෙරෙන බවයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

+


මත් කරල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු අල්ලයි

(19.04.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන් විකල්පයක් ලෙස භාවිත කරන මත් කරල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට පැමිණි මොහුගේ ගමන් මළුවල තිබී මත් කරල් 60,000 කට වැඩි ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගෙන තිබුණා.

සැකකරු දිගන – රජවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴


හරක් හොරකම දරුණු අතට

(19.04.2023 – 09:29 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ අවම වශයෙන් ගවයන් හයක් හෝ හතක් (6-7) දිනපතා සොරකම් කරන බවව වාර්තා වී ඇතැයි පළාත් කෘෂිකර්ම නිලධාරීහු අවධාරණය කරනවා.

මේ සතුන් දිනකට කිරි ලීටර් 15-30 අතර, ප්‍රමාණයක් දෙන එළදෙනුන් වන අතර අඩුම තරමින් මාසයකට ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් කිරිදෙනුන් 35-40 අතර ප්‍රමාණයක් සොරකම් කරන බව වාර්තා වී තිබෙනවා.

පළාත් කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දෙන්නේ, රාත්‍රී කාලයේදී ගවමඩුවල බැඳ සිටින කිරිදෙනුන් මෙසේ පැහැරගෙන යන බවයි.

කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අන්තර් පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සාකච්ඡාවකදී මේ තොරතුරු අනාවරණය වුණා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද ගව සොරකම් ඉහළ යමින් පවතින බව සියලු කෘෂි බලධාරීහු ඇමතිවරයා හමුවේ අවධාරණය කළා.

කිරි ලබා ගන්නා ගව දෙනුන් මේ අන්දමින් දිනපතා සොරකම් කිරීම නිසා ඉදිරියේදී කිරි හිඟයක් පවා ඇතිවීමට ඉඩකඩ ඇතැයි ද කෘෂි අංශ බලධාරීහු ඇමතිවරයාට පෙන්වා දුන්නා.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඇමති මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට සිදු කරන රාත්‍රී කාලයේ මුර සංචාර කටයුඉතු ඉහළ දැමීම මෙන්ම ගව සොරුන්ට දැනට ලබා දෙන දඬුවම් ඉහළ නැංවීම සම්බන්ධව පොලිස්පතිටත්, ආරක්ෂක රාජ්‍ය ඇමතිටත් කරුණු දන්වා ලිපියක් යොමු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දෙනු ලැබුවා ෴


ළිඳක් තුළ පිරිමි මළ සිරුරක්

(19.04.2023 – 09:48 +0530 – hirunews.lk/sinhala)

කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක් ඇති බවට 119 මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයකට අනුව මැදගම පොලීසිය විසින් විමර්ශනයක් ආ‍රම්භ කොට තිබෙනවා.

එම මළ සිරුර ඊයේ (18) හමුවී ඇති අතර මරණකරු අලුත්තවල , කොටබෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයෙකුගේ බවටයි හඳුනාගෙන තිබෙන්නේ.

පසුගිය 15 වන දින සිට මෙම පුද්ගලයා අතුරුදහන් බවට ඔහුගේ පුතා විසින් මැදගම පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා බදුල්ල මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මැදගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴


හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(19.04.2023 – 10:38 +0530 – hirunews.lk/sinhala)

එගොඩඋයන හන්දියේ දී සිදුකරන ලද වැටලීමක් මගින් හෙරොයින් ග්‍රෑම් 06 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (18) දින එගොඩඋයන පොලිස් නිළධාරීන්ට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු අද (19) දින මොරටුව ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර, එගොඩඋයන පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *