කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්

කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්


කාන්තාවන් මත්කර මුදල් කොල්ලකන යුවළක්

(18.04.2023 – 22:24 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන කාන්තාවන් මත්කර ඔවුන් සතු මුදල් සහ රන් ආභරණ සොරා ගන්නා සිද්ධියක් වාර්තාවී තිබේ.

මරදාන පොලීසිය සඳහන් කළේ එම සිද්ධියට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.

එම සැකකරු සහ සැකකාරිය එක්වී එලෙස සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා රන් ආභරණ වැලිගම ප්‍රදේශයේ රන් භාණ්ඩ මිලදී ගන්නා ස්ථානයකට විකුණා තිබේ.

පොලීසිය සඳහන් කළේ එම රන් භාණ්ඩ අදාළ ව්‍යාපාරිකයින් විසින් උණුකර තිබියදී සොයාගත් බවය.

සායන ආසන්නයේ තබා තිබෙන පුටුවක් හෝ බංකුවක් මත රැඳී සිට එම සායනවලට සහභාගීවීමට පැමිණි වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් ඉලක්ක කර මෙම ක්‍රියාව සිදුකර තිබේ.

ඔවුන්ව උපක්‍රමශිලීව එම ස්ථානයෙන් පිටතට කැඳවාගෙන ගොස් ඔවුන්ට ආහාර පාන සමග මිශ්‍ර කරන ලද මත්ද්‍රව්‍ය ලබාදී මත්වීමෙන් පසු සැකකරුවන් විසින් මෙලෙස රන් ආභරණ සහ මුදල් කොල්ලකා ඇත.

පැමිණිලි 03 ක ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර යුවළ අඹු – සැමියන් නොවන අතර ඔවුන් දෙදෙනා බොරැල්ල ප්‍රදේශයේ බෝඩිමක රැඳීසිටිමින් මෙම ජාවාරම සිදුකර ඇත.

සැකකරු සහ සැකකාරිය අහංගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 සහ 42 යන වයස්වල පසුවන්නන් ය.

මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ පැවැත්වෙයි ෴


හෙරොයින් යාත්‍රාවේ සැකකරුවන්ට දින 07ක රැඳවුම් නියෝගයක්

(18.04.2023 – 22:08 +0530 – sinhala.adaderana.lk)

හෙරොයින් කිලෝ 179 ක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව සැකකරුවන් අද (18) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අදාළ රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශ රටක සිට මෙහෙයවනු ලබන බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ජාවාරම මෙහෙයවනු ලබන විදේශගතව සිටින සැකකරු සහ මෙරට සිට මෙහෙයවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.


කඳානේ යුවළට අධිකරණයෙන් ලොකු දඩයක්

(18.04.2023 – 15:06 +0530 – sinhala.adaderana.lk)

ඌරු සත්ත්ව ගොවිපෙළක සඟවාගෙන විකිණීමට සුදානම් කර තිබූ ගෝන මස් සමග අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි අඹුසැමි යුවළ අධිකරණේ දී වරද පිළිගෙන තිබේ.

අධි ආරක්ෂිත සතෙකු වන අඩි හතරක් (4) සහ අඩි තුනහාමාරක් (3½) උසැති ගෝනුන් දෙදෙනකුගේ (2) ගෝන මස් කිලෝ 82 ක් නීතිවිරෝධීව ඌරු සත්ත්ව ගොවිපොළක සඟවා ගෙන සිටි බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.

අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව ඔවුන්ට මුදලින් රුපියල් ලක්ෂ තුනක (3,00,000) දඩයක් හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත්‍ උදුම්බරා දසනායක මහත්මිය අද (18) නියම කළාය.

සැකකාර අඹුසැමි යුවළ සමඟ අධිකරණයට ඉදිරිපත් කළ ගෝන මස් කිලෝ 82 ගිරිතලේ වනජීවී සත්ත්ව රෝහලේ සතුන්ට ආහාර පිණිස ලබා දීමට සුදුසු තත්ත්වයක තිබේ නම් එම සතුන්ට ලබාදෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය පොළොන්නරුව වනජීවී කලාපයේ‍ වැටලීම් ඒකකයේ ප්‍රධානී වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්. කුමාරසිරි විජේකෝන් මහතාට තවදුරටත් නියෝග කරනු ලැබුවාය.

මෙසේ දඩ නියම වූයේ කඳාන, පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචි ඌරු සත්ත්ව ගොවිපොළක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළකටය.

ආරක්ෂිත සතෙකු වන අඩි හතරක් (4) උසැති සහ අඩි තුනහාමාරක් (3½) උසැති ගෝනුන් දෙදෙනකුගේ මස් කිලෝ 82 ක් නීතිවිරෝධීව සන්තකයේ තබා ගැනීම, විකිණිමට ප්‍රදර්ශනය කිරීම සහ ගෝනා ඇතුළු වන සතුන්ගේ මස් විකිණීම, නීතිවිරෝධී ව්‍යාපාරයක් අනවසරයෙක් පවත්වා ගෙන යාම යන චෝදනා යටතේ මෙම සැකකාර අඹුසැමි යුවළ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම සැකකාර ඇඹුසැමි යුවළ ඉකුත් 15 වැනි දින අත්අඩංගුවට ගෙන හිඟුරක්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගර ගත කෙරිණ.

පසුව ඔවුන් යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වරද පිළිගනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මෙලෙස දඬුවම් නියම කෙරුණි ෴


විශ්වවිද්‍යාල සිසුවෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට

(18.04.2023 – 11:23 +0530 – sinhala.adaderana.lk)

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක් දුම්රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී පොලීසිය පවසයි.

ඔහු ඊයේ (17) උදෑසන බම්බලපිටිය දුම්රිය ස්ථානයේදී මරදාන සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී තිබුණි.

24 හැවිර්දී එම විශ්වවිද්‍යාල සිසුවා කළුතර උතුර පදිංචිකරුවෙකි.

මේ අතර යාපනය, චුන්නාකම් දුම්රිය ස්ථානයේදී ඊයේ (17) උදෑසන දුම්රියට යටවීමෙන් 80 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයා දුම්රිය නැවැත්වීමට පෙර ඉන් බැසීමට උත්සාහ කළ විට එම දුම්රියටම යටවී ඇති බවය ෴


මුහුණට මුහුණ හැප්පුණු හැටි – CCTV

(18.04.2023 – 10:11 +0530 – sinhala.adaderana.lk)

කොළඹ – පාදුක්ක මාර්ගයේ වටරැක දුම්රිය ස්ථානය අසලදී ගොඩගම දෙස සිට පැමිණි වෑන් රථයක් හල්බරාව දෙසට එක්වරම හැරවීමට යෑමේදී අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.

පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට වේගයෙන් පැමිණි යතුරු පැදියක් එම වෑන් රථයේ ගැටීමෙන් ඊයේ (17) සවස එම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.

+

+


බුලත් කොරටුවක් මුවාවෙන් ගංජා වගා කළ අයෙක් අත්අඩංගුවට

(19.04.2023 – 06:57 +0530 – hirunews.lk/sinhala)

බුලත් කොරටුවක් සහ මිරිස් වගාවක් පවත්වාගෙන යන මුවාවෙන් නාරම්මල මුරුතැන්ගේ ප්‍රදේශයේ ඉඩමක සරුවට වගා කර තිබුණු ගංජා හේනක් වැටලීමට නාරම්මල පොලිසිය ඊයේ (18) සමත්ව තිබෙනවා.

මෙම ඉඩමේ ගංජා වගා කර ඇත්තේ ඉඩම් හිමියා විසිනි.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ තමා මෙම ඉඩමේ වගා කළ බුලත් යම් රෝගයක් හේතුවෙන් විනාශ වීමෙන් අනතුරුව ගංජා වගා කිරීමට තීරණය කළ බවයි.

ගංජා ගස් 200 ක් පමණ මෙහි වගා කර තිබූ බව බව පොලිසිය පවසනවා ෴


ව්‍යාජ අත්සන් ගසා ළමුන් පාසලට දැමූ විදිහ ගැන විමර්ශනයට කමිටුවක්

(19.04.2023 – 07:06 +0530 – hirunews.lk/sinhala)

චක්‍රලේඛවලට පටහැණිව හා කූට ලේඛන උපයෝගි කර ගනිමින් කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට සිසුවියන් ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පංච (5) පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

මෙම කමිටුව සඳහා විමර්ශන නිලධාරීන් තිදෙනකුගෙන් හා මධ්‍යම පළාත් සභාවේ අභ්‍යන්තර විගණන අංශ නිලධාරීන් දෙදෙනකු (2) ඇතුලත් ෴


බන්ධනාගාර නිලධාරීන්ට උසස්වීම් නැහැ

(19.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

පොලිස් දෙපාර්තමේන්තුවේ වසර දොළහක් (12) සම්පූර්ණ කළ කොස්තාපල්වරුන්ට උසස් වීම් ලබාදුන්නද, බන්ධනාගාර නිලධාරීන්ට වසර විස්සක් (20) ගත වී වත් උසස් වීම් ලැබී නොමැති බව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාර නිලධාරීහු පවසනවා.

වර්තමානයේ බන්ධනාගාර පරිපාලනය පහළ නිලධාරීන් කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකරන මට්ටමට පත් වී ඇති බවත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ තමන්ගේ ගැටලු අමාත්‍යවරයා වෙත යොමු කිරීමට ඉහළ නිලධාරීන් උත්සාහ නොකරන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

එම නිලධාරීන්ගේ අදහස වන්නේ වර්තමාන පාලන කොමසාරිස්වරයා වහා වෙනස් කළ යුතු බවයි ෴


නැවෙන් පැනමා යන්න හදපු 4 දෙනා ඇප මත මුදාහරී

(19.04.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් නෞකාවකට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස විදේශගතවීමට උත්සාහ කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සිව්දෙනා (4) ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඊයේ (18) ඉදිරිපත් කළ අවස්ථාවේ දියි.

එක් අයෙකු රුපියල් ලක්ෂ පහ (5) බැගින් වූ ශරිර ඇප දෙකක් (2) මත මුදා හැරිමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අදාළ පුද්ගලයින් ඒ සඳහා යොමුකළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවා.

නඩුව යළිත් වැඩිදුර විභාගය සඳහා ජුලි 20 වනදා කැඳවනු ඇති.

මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ යාපනයේ පදිංචි තරුණයන් සිව්දෙනෙක් (4).

මොවුන් නිති විරෝධි ලෙස විදේශ ගතවිමේ අරමුණින් කොළඹ වරායේ නැංගුරම්ලා තිබු පැනමා රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මාර්තු 24 වනදා හොර රහසේ ඇතුලුවී තිබුණා.

එය ඇමරිකාව බලා යාත්‍රා කරමින් සිටියදී සූවස් ඇල ආසන්නයේදී නැවේ සේවකයින් විසින් එම පිරිස සේවකයින් නොවන බවට හඳුනා ගැනිමෙන් පසු මාර්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුව නැව් පිළිබඳව කටයුතු කරන ගැක්ෂිපිං ආතනයට දැනුම් දීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව දෙසට පැමිණෙන නෞකාවකට ඔවුන් භාරදී තිබුණා.

පසුව එම නෞකාවේ දැනුම්දීම මත පසුගිය 10 වනදා ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේදී ආගමන විගමන නිලධාරින් ටග් යාත්‍රාවකින් නෞකාව වෙත ගොස් මෙම තරුණයින් භාරගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිසියට භාරදීමටයි කටයුතු කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *