ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට විදෙස් රැකියා අවස්ථා රැසක්
(18.04.2023 – 15:32 +0530 – hirunews.lk/sinhala)
ජපානය, එංගලන්තය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන්ට ලැබී ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර පවසනවා. අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ මැද පෙරදිග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දැවැන්ත ප්‍රමාණයක් මෙරට පුහුණු ශ්‍රමිකයන්ට විවෘතව ඇති බවයි.
මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා හෙළි කළේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවභෝධතා ගිවිසුමක් අත්සන් කළ අවස්ථාවේදී යි.

රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකි වීම ගැටළුවක් බවද මෙහිදී අමාත්‍යවරයා හෙළිදරව් කළා.
මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කරගැනීම සදහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් බිහි කරගත යුතු බවත්, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබාදීම සදහා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ගිවිසුම් ගත වන බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
අත්සන් කෙරුණු මෙම අවභෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදෙන නිර්නායකයන්ට අනුව, විදේශ රැකියා සදහා අවශ්‍ය නිපුණතාවයන් සහිත වෘත්තිකයින් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහිතකය ලබාදීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබාදීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
තවද අවභෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුුහුණව සදහා සිසුන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබාදීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කරයි
(18.04.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)
වසර විස්සකට (20) පසුව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර දැනට පවතින ගුවන් ප්‍රවාහන ගිවිසුම සංශෝධනය කිරීම සඳහා වන සන්ධාන පත්‍රයට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඊට අදාළ යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍ය මණ්ඩලයට ඊයේ (17) ඉදිරිපත් කළ අතර, ඒ අනුව අදාළ සන්ධාන පත්‍රයට අත්සන් තැබීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට බලය පැවරෙනු ඇති.
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ප්‍රවාහන ගිවිසුමකට 2003 වසරේදී අත්සන් තබා ඇති අතර, එකී ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 2016 වසරේදී දෙපාර්ශවය අතර එකඟතාවකට පැමිණ තිබුණා ෴
අතිරේක පිරවුම්හල් ගැන අයි.ඕ.සී. සමාගමෙන් පැහැදිලි කිරීමක්
(18.04.2023 – 16:31 +0530 – hirunews.lk/sinhala)
අතිරේක ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බව ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කරනවා.
එම සමාගම ශ්‍රී ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවට පසුගියදා පුවත්පත් වාර්තාවක් පළව තිබුණා.
කෙසේ වෙතත් එවැනි පිරවුම්හල් පිහිටුවීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කරන්නේ ෴
කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර හරස් මාර්ගයක් වැසේ
(18.04.2023 – 17:24 +0530 – hirunews.lk/sinhala)
මඩකලපුව දුම්රිය මාර්ගයේ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර නෙල්ලියාගම මාර්ගයේ සැතපුම් 119 කණුව අසළ පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් මේ මස 29 වැනිදා සහ 30 වැනිදා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, හරස් මග අප්‍රේල් 29 වැනිදා පෙරවරු 07:00 සිට 11:30 දක්වා අර්ධ වශයෙන් ද 11:30 සිට පස්වරු 06:00 දක්වා සම්පූර්ණයෙන් ද වසා තැබෙනු ඇති.
එසේම අප්‍රේල් 29 වැනිදා පස්වරු 06:00 සිට අප්‍රේල් 30 වැනිදා රාත්‍රී 10:30 දක්වා අර්ධ වශයෙන් ද එය යළි වසා තැබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴
හෙටත් (19) ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට
(18.04.2023 – 17:28 +0530 – hirunews.lk/sinhala)
උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උෂ්ණත්වය හෙට (19) දිනයේත් සැළකිය යුතු ලෙස ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙනවා.
ඒ හේතුවෙන් වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩිවේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම නිසා වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.
එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴
රිදියගම උද්‍යානය ගැන එල්ල වන චෝදනා විමර්ශනයට කමිටුවක්
(18.04.2023 – 17:43 +0530 – hirunews.lk/sinhala)
රිදියගම උද්‍යානය ගැන එල්ල වන චෝදනා විමර්ශනයට වනජීවි අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්ෂක ජනරාල් පවසන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි ෴
පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් විනාශ කෙරේ
(18.04.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)
අලුත්ගම දර්ගා නගරයේ දී අලෙවිය සඳහා සූදානම් කර තිබූ පරිභෝජනයට නුසුදුසු කිලෝ 10,000 ආසන්න සහල් තොගයක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයා ගෙන තිබෙනවා.
ඒ ඔවුන්ට ලද තොරතුරතට අනුවයි.
පසුව එම සහල් තොගය රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිභෝජනයට නුසුදුසු බව අනාවරණය වුණා.
ඉන්පසු එම සහල් තොගය බේරුවල නගර සභා භූමියේ දී විනාශ කළ බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම අලුත්ගම හා බේරුවල ප්‍රදේශයට මෙම සහල් තොගය රැගෙන ආ ව්‍යාපාරිකයාට ද රුපියල් 35,000 දඩ මුදලක් ගෙවන ලෙස කළුතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
+
ජැක්සන්ට මෙහෙම වුනේ වෛද්‍යවරුන්ගේ වරදින්.. – ජැක්සන් පාර්ශවයෙන් ලොකු චෝදනාවක් ..
(18.04.2023 – 22:22 +0530 – lankacnews.com)
හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.
ජැක්සන් ඇන්තනී මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ප‍්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා විසින් බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවත් එය සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් වැඩි බරක් තබා විභාගයට ගත යුතු බවත් හෙතෙම කියා සිටී.
අනතුරින් පසු ජැක්සන් ඇන්තනි මහතාට සිදුකළ පළමු සැත්කමෙන් අනතුරුව තමන් හා කතා කළ බවත් ඉන් පසුව කල දෙවැනි ශල්‍යකර්මයෙන් නිසා ඔහුට ආබාධයක් පැමිණි බවටත් එල්ල කරන චෝදනාව බරපතළ එකක් බවත් හෙතෙම පවසයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකළ විට සත්‍යතාවය හෙළි කරගත හැකි වන බව ද හෙතෙම පවසයි.
ජැක්සන් ඇන්තනී මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල ඕපාදූප සාකච්ඡා වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස නිසි තොරතුරු සමාජගත කිරීම මේ මොහොතේ කළ යුතුව ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කර ඇති අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
+
රිළව් ලක්ෂයක් චීනයට යැවීමට තීරණය කළේ ඇයි?
(18.04.2023 – 21:41 +0530 – hirunews.lk/sinhala)
රිළව් ලක්ෂයක් චීනයට යැවීමට තීරණය කළේ කුමක් සඳහා ද? හේතුව මෙන්න.
කෘෂිකර්ම දෙපාර්තමේන්තු වාර්තාවන්ට අනුව 2022 වසරේ මුල් මාස 06 තුළ ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989 ක් ‘වන සත්ත්ව හානි’ මගින් විනාශ වී ඇති අතර එම හානිය දළ වශයෙන් රුපියල් මිලියන 30,000 කට අධිකයි.
වන සතුන්ගෙන් වාර්ෂිකව වගාවට සිදුවන හානිය ප්‍රතිශතයක් ලෙස 40% ක් වන අතර ඉන් වැඩිම බලපෑම් සහිත සත්ත්ව කොට්ඨාසය වන්නේ ද රිළවුන්.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන ආකාරයට මෙරට රිළවුන් ගහනය ලක්ෂ 30 ක්.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය ගොවිජන සංවර්ධන බලප්‍රදේශ ආශ්‍රිතව කළ සමීක්ෂණයක දී අනාවරණ වී ඇත්තේ බලප්‍රදේශ 110 ක වගාවන් රිළවුන් පූර්ණ වශයෙන් හානි කර ඇති බවයි.
බලප්‍රදේශ 235 ක උග්‍ර හානි කර ඇති අතර බලප්‍රදේශ 155 ක වගාවන් අර්ධ වශයෙන් රිළා හානියට ලක්ව ඇතැයි සඳහන්.
පොල් ත්‍රිකෝණයට බරපතළ වශයෙන්ම හානි කරන සත්ත්ව කොට්ඨාසය වශයෙන්ද රිළවුන් හඳුනාගෙන තිබෙනවා.
2022 වසරේ දී පමණක් පොල්ගෙඩි මිලියන 180 ත් 200 ත් අතර ප්‍රමණයක් රිළවුන් විසින් විනාශ කර ඇති බවද එම වාර්තාවල සඳහන්.
ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්ත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙස චීන නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති බව එම අමාත්‍යංශය නිවේදනය කළේ මෙවන් පසුබිමකයි.
මෙම ඉල්ලීම අනුව මෙරට රිළවුන් 100,000 ක් පළමු (1) අදියර යටතේ ලබාදීම සඳහා විශේෂ සාකච්ඡාවක් ද පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
රිළවුන් නිසා වගා හානියට ලක්වූවන් වෙනුවෙන් මෙය ඉතා හොඳ පියවරක් ලෙස ඇතමුන් මෙය දැනටමත් පෙන්වා දී තිබෙන අතර ඒ පිලිබඳව විරෝධය සහ කනස්සල්ල අනෙක් පසින් මතුවී තිබෙනවා.
සත්ත්වයින් මස් පිණිස වෙනත් රටවලට යැවීමේ වැඩපිලිවෙලකට රජය කිසිසේත් එකඟ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන වෙත යැවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්ණයකට පිලිතුරු ලබාදෙමින්.
එළවළු, වී, කෙසෙල්, පොල් හා බඩඉරිඟු වගාවන් සදහා රිළවුන් වැඩි වශයෙන් හානි කර තිබෙනවා.
මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මොණරුන්, වල් ඌරන්, ඉත්තෑවන් සහ දඬු ලේණන් රට යැවීම සඳහාද යෝජනා කරන බවයි.
+
ත්‍රස්ත විරෝධී පනත සකස් කර ඇත්තේ ජනතාවාදී අයුරින් – විජේදාස රාජපක්ෂ
(18.04.2023 – 20:48 +0530 – hirunews.lk/sinhala)
ත්‍රස්ත විරෝධී පනත සකස් කර ඇත්තේ ජනතාවාදී අයුරින් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
+
ඉදිරියේ දී තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කෙරේ – රංජිත් සියඹලාපිටිය
(18.04.2023 – 21:26 +0530 – hirunews.lk/sinhala)
ඉදිරියේ දී තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා එය ද පිටිවහලක් වනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, රේගුවේ වසරේ ඉලක්ක පිළිබඳ සමාලෝචන රැස්වීමකින් අනතුරුවයි.
පළමු මාස 03 සඳහා රේගුවට ලබා දී ඇති ආදාය් ඉලක්කය රුපියල් බිලියන 270 ක්.
නමුත් එම කාලය තුළ ලැබී ඇති ආදායම, අපේක්ෂිත ආදායමට වඩා 12% ක අඩුවක් දක්නට ලැබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෴
අවාරයේ සිරිපා ගමන්වලට වැටබැඳෙන ලකුණු
(18.04.2023 – 23:03 +0530 – hirunews.lk/sinhala)
අවාරේ සිරිපා ගමන් සීමා කිරීමට අවධානය යොමුවී ඇති බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.
රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ අද (18) පැවති රැස්වීමක දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුවූ අතර, එම සාකච්ඡාවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, සබරගමුව නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ රත්නපුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴