ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ්

ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ්


ජැක්සන් පෙර සිටි තත්වයට ඒමේ හැකියාව ඉතාම අඩුයි.. වෙන්ටිලේටරයක් සමග ඔහු නිවසට ගෙන යාම සුදුසුයි.. – රවි කුමුදේශ්

(17.04.2023 – 22:02 +0530 – lankacnews.com)

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතා නැවතත් පෙර සිටි තත්ත්වයට පත්වීමේ හැකියාව වෛද්‍ය විද්‍යාත්මකව ඉතා අඩු බව සෞඛ්‍යය ව්‍යත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

මේ වන විට ඒ ඇන්තනී මහතාගේ ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයෙන් බැහැරව යම් යම් මිත්‍යා විශ්වාස මත තල්ලු වෙමින් ඉදිරියට යන බවක් පේන්න ඇතැයිද ඔහු පවසයි.

කොළඹ ජාතික රෝහල යනු බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන්න තැනක් මිස ආශ්චර්යයන් සිදු වන තෙක් බලා සිටිනා තැනක් නොවන බවද හෙතෙම කියා සිටියි.

අද වන විටත් ජැක්සන් ඇන්තනි මහතා ජීවත් වන්නේ යැයි විශ්වාස කරන්නේ තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර නිසා මිස මිත්‍යා විශ්වාස නිසා නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ජැක්සන් ඇන්තනි මහතාට ගැටලුවක් නොවන ආකාරයට මේ ආකාරයේම පහසුකම් ඇති වෙනත් වාට්ටුවක් දින දෙක තුනකින් නිර්මාණය කර දීමට ඔහුට ආදරය කරන සියළු පාර්ශවයන්ට හැකියාව හැකියාව ඇති බවත් එසේ නැතිනම් මෙවන් රෝගීන් තම නිවෙස තුළ මේ ආකාරයේ යන්ත්‍රසූත්‍ර සවිකරගෙන රජයේ මැදිහත්වීම ද සහිතව එම රෝගීන් රැකබලා ගන්නා බවද හෙතෙම පැවසීය.

ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙල අනෙක් ඕනෑම රෝගියකුට පොදු විය යුතු බවත් එම පොදු බව සෞඛ්‍ය සේවාවේ පැවතිය යුතු බවත් පවසන ඔහු කිසියම් පුද්ගලයකු තමන්ගේ ඥාති රෝගියාද මේ ආකාරයෙන් දීර්ඝ කාලයක් තබා ගන්නැයි රෝහල් පද්ධතියෙන් ඉල්ලීමක් කළ හොත් එය බරපතල අභියෝගයක් වන බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

https://www.youtube.com/watch?v=S2C5PrZFF3Q

+


අපරාධ නඩුවලින් බේරීමට තවත් අපරාධයක් කළ තරුණයෙක් අත්අඩංගුවට

(17.04.2023 – 19:32 +0530 – sinhala.adaderana.lk)

තමා දිවි හානි කරගත් බවට සමාජයට ඇඟවීම සඳහා යාචකයෙකු ඝාතනය කොට එම මළසිරුර හුවා දක්වමින් පොලීසිය නොමඟ යැවීමට උත්සාහ කළ අයෙකු පිළිබඳව පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ තමාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට මෙලෙස සිදුකළ බවය.

හබරණ පලුගස්වැව කුඩා රඹෑවේ ගල් වැඩපොළක් ආසන්නයේ තිබී පිළිස්සී මියගිය පුද්ගල මළ සිරුරක් හබරණ පොලීසියට හමුවන්නේ 2021 ඔක්තෝබර් 29 වනදාය.

හඳුනාගත නොහැකි තරමට පිළිස්සී තිබූ මළසිරුරට මඳක් ඈතින් වැටී තිබූ කඩදාසියක සටහන්ව තිබූ ලිපිනයක් එහිදී පොලීසියට හමුවී තිබුණි.

ඒ අනුව, මියගොස් තිබුණේ පලුගස්වැව පදිංචිකරුවෙකු වූ සුදේෂ් ඉලංගසිංහ නමැති 26 හැවිරිදි අයෙකි.

එහි ලිපියක් ද තිබී ඇති අතර ඒ අනුව එම මරණය දිවිහානි කරගැනීමක් වන්නට හැකි බවට පොලීසිය සැක පළ කළේය.

නමුත් විමර්ශනවලදී පොලීසියට හෙළිවී තිබුණේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අධිකරණයේ වරෙන්තු ලබා සිටි අයෙකු බවටය.

කෙසේවෙතත් මරණය සම්බන්ධයෙන් පැවති මහෙස්ත්‍රාත් පරීක්ෂණයට පවුලේ කිසිවෙකු සම්බන්ධ නොවීම පොලීසියට සැකයක් මතු කර තිබුණි.

පසුව මෙහි සුලමුල හෙළිවන්නේ සිද්ධියෙන් වසර එකහමාරකට (1½) පසුවය.

ඒ ගලේවෙල අන්දරගොල්ල බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, සිය ජාතික හැඳුනුම්පත අතුරුදන්ව ඇති බවට පසුගිය 10 වනදා පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

අසල්වැසි ඉඩමක පදිංචිව සිටින අයෙක් සිය සැමියාගේ මිතුරෙකු වන බවත් ඔහු නිතරම සිය නිවසට පැමිණෙන නිසා සිය හැඳුනුම්පත අස්ථානගතවීම සම්බන්ධයෙන් ඔහු ගැන සැකයක් ඇති බවත් ඇය පොලීසියට පවසා ඇත.

ඔහු සිය ජංගම දුරකථනය ආරෝපණය කර දෙන ලෙසට තමාට ලබාදුන් අවස්ථාවක එහි සිම්පත හොර රහසේ ගලවාගෙන එය තම ජංගම දුරකථනයට ඇතුළත් කොට පිරික්සූ බව කාන්තාව පොලීසිය පවසා තිබේ.

එහිදී කාන්තාවට හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා ඇයගේ හැඳුනුම්පත භාවිත කර එම සිම්කාඩ් පත මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව මකුළුගස්වැව පොලීසිය විසින් පසුගිය 11 වනදාය ගලේවෙල ප්‍රදේශයේ වත්තක සේවය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලීසියට හෙළිවී ඇත්තේ මෙම සැකකරු 2021 වසරේ හබරණ පලුගස්වැව කුඩා රඹෑව ප්‍රදේශයේදී පිළිස්සී මියගිය බවට වාර්තා වූ සුදේශ් ඉලංගසිංහ යන අය බවටය.

ඒ අනුව, සැකකරුගේ නවාතැන්පොළේ තිබූ මුදල් පසුම්බියක් පරික්ෂා කිරීමේදී එහි තිබී ලිපියක් පොලීසියට හමුවී ඇත.

එය සැකකරු සිය මවට ලියූ ලිපියක් වන අතර එහි සඳහන්ව තිබී ඇත්තේ තමන් දිවි හානි කර නොගත් බවත් තමන් සහ මිතුරෙකු එක්ව හබරණ ප්‍රදේශයේ යාචකයෙකු රැගෙනවිත් පලුගස්වැවදී ඝාතනය කොට පුළුස්සා දමා තමා මියගිය බව හුවා දැක්වූ බවත්ය.

අධිකරණයේ පවතින නඩු සහ අධිකරණයට ගෙවීමට තිබූ මුදල් ගෙවා ගැනීමට නොහැකි නිසා තමන් මිය ගිය බව ලෝකයාට හැඟවීමට මෙලෙස උත්සාහ කළ බව ලිපියෙහි සඳහන්ව තිබේ.

මේ අතර, යාචකයා ඝාතනය කිරීමට සහාය දුන් බව කියන ප්‍රදීප් ගයාන් විජේසිංහ නමැත්තෙක් ද සැකකාර සුදේශ් සේවය කරමින් සිටි ගලේවෙල වත්තේදී ම මකුලුගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මැදිරිගිරිය රණවිරු ගම්මානයේ පදිංචිකරුවෙකි.

ඔහු පොලීසියට පවසා ඇත්තේ මිතුරාගේ ජීවිතය බේරාගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් යාචකයෙකු රැගෙන ගොස් ඝාතනය කළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

+


කතානායක ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතල ලෙස හානියක් කලා..

(18.04.2023 – 03:21 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

2023 අප්‍රේල් 17 දින

ගරු කතානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ

ගරු කතානායකතුමනි,

මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය (Supreme Court Determination) නිවේදනය කිරීමේ දී පෙත්සම්කාර මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරීම

මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය අතිශයින්ම තීරණාත්මක මෙන්ම පරිපූර්ණ ලේඛණයක් ලෙස වර්ණනා කරමින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ කඩාකප්පල්කාරින් ලෙස සමහරෙක් සඳහන් කරන ලදී. එසේ වුවද මෙම ලියැවිල්ලේ පවතින අතිශයින්ම භයානක විධිවිධාන මෙන්ම දුර්වලතා හේතුවෙන් මා ඇතුළු පෙත්සම්කරුවන් හත්දෙනෙක් මෙකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදී. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අප වෙනුවෙන් නොමිලේම පෙනී සිටින ලදී.

2022 අප්‍රේල් 4 දින ඔබතුමා විසින් මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එහි දී ඔබතුමා සඳහන් කලේ එකී කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි. (ඔබතුමාගේ නිවේදනය අඩංගු වීඩියෝ පටය සහිත සීඩී තැටියක් ඇමුණුම 1 ලෙස ද එහි මුද්‍රිතයක් ඇමුණුම 2 ලෙස ද මීට අමුණා ඇත). එදින රාත්‍රියේ විද්‍යුත් නාලිකා ද පසුදින පුවත්පත් ද එකී වැරදි ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලදී (2023 අප්‍රේල් 5 දින Ceylon Today පුවත්පත් හි මෙම ප්‍රකාශය පළ කල උධෘතය ඇමුණුම 3 ලෙස ලකුණු කර මීට අමුණා ඇත). නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති විසින් සංශෝධන 80 ක් යෝජනා කර තිබුණි. එවැනි දැවැන්ත සංශෝධන ගණනක් යෝජනා වුණු මහ බැංකු පනත් කෙටුම්පත මා දන්නා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වඩාත් දෝෂ සහිත පනත් කෙටුම්පතයි.

ඉතිහාසයේ ඉදිරිපත් වුණු වඩාත් දුර්වලම පනත් කෙටුම්පතක් කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතල ලෙස හානියක් සිදු විය. එය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට තුඩු දෙන කරුණකි. එමෙන්ම පනත් කෙටුම්පතේ දුර්වලතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ නීතිඥ මඩුල්ලට ද නිගාවකි. පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රමුඛ පෙත්සම්කරුවන් ද අසීරුතාවයට පත් කිරීමකි.

ඉහත කරුණු මත මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ඔබතුමා කළ ප්‍රකාශය වහාම නිවැරදි කිරීමට ඉදිරිපත් වීම පෙත්සම්කාර මන්ත්‍රිවරයෙකු ලෙස මා කර මත පැටවුණු වගකීමක් විය. එහි දී ඔබතුමාගේත් පාර්ලිමේන්තුවේත් ගෞරවය ආරක්ෂා විය යුතු බැවින් නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නොකියවා ඔබතුමාට ලබා දුන් වැරදි උපදෙසක් මත ඔබතුමා මෙම ප්‍රකාශය සිදු කළ බව මම මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කලෙමි (එකී ප්‍රකාශයේ මුද්‍රිතයක් ඇමුණුම 4 ලෙස මීට අමුණා ඇත).

මේ පිළිබඳ ඔබතුමා දැනුම්වත් කිරීමට උත්සහ කළත් ඔබතුමා විදේශ ගත වී සිටි බැවින් ඔබතුමාගේ සම්බන්ධිකරණ ලේකම් වෛද්‍ය චමීර අබේවර්ධන මහතා දැනුම්වත් කලෙමි. මේ අතරේ ඔබතුමාගේ මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මා විසින් රට සහ අධිකරණය නොමග යවන ප්‍රකාශයක් කර ඇති බවත් එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර අදාළ මූලාශ්‍ර අධ්‍යනය කළ යුතු බවත් මා කලේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ පහත් උත්සහයයක් බවත් සඳහන් කර ඇත. (කතානායක මාධ්‍ය ලේකම්ගේ 2023.04.11 දිනැති මාධ්‍ය නිවේදනය ඇමුණුම 5 ලෙස මීට අමුණා ඇත.)

මා විසින් එකී ප්‍රකාශය සිදු කරේ සියළු මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුවය. නීතිඥයෙකු මෙන්ම වගකිවයුතු දේශපාලකයෙකු ලෙස නිසි අධ්‍යනයකින් තොරව මා කිසිම දිනක ප්‍රකාශ සිදුකර නොමැත. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තු කටයුත්තක් පිලිබඳ සිදු කළ ප්‍රකාශයක් පිලිබඳ වැරදි මතයක් අධිකරණයේත් සමස්ත සමාජයේත් ඇති කිරීමට උත්සාහ කරමින් ද මට පහත් ලෙස අපහාස කරමින් ද මාගේ පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරමින් ද පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතින් මට හිමි වරප්‍රසාද උල්ලංඝණය කර ඇත.

මේ පිලිබඳ 2023 අප්‍රේල් 25 දින පාර්ලිමේන්තුවේ දී ඔබතුමාට සහ ඔබතුමාගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

මීට දේශප්‍රේමිත්වයෙන්

උදය ගම්මන්පිල


තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් සියලුම දෙනා අත්අඩංගුවට

(18.04.2023 – 06:50 +0530 – hirunews.lk/sinhala)

තල්දෙන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන්ගෙන් සියලුම දෙනාවම අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අද (18) දින පාන්දර බන්ධනාගාර නිලධාරීන් විසින් කඳවුර අවට ඇති රක්ෂිත වනාන්තරයේ කළ සෝදිසි මෙහෙයුමක දීයි.

එමෙන්ම ඊයේ (17) පස්වරුවේ ද පැනගිය රැදවියන්ගෙන් හතරදෙනෙකු (4) බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන තිබූ අතර පැනගිය ඉතුරු තිදෙනා (3) අද (18) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අනියම් පෙම නිසා පොල්ලකින් පහර දී අයෙක් මරුට

(18.04.2023 – 07:27 +0530 – hirunews.lk/sinhala)

ඇන්දාන මඩලගම ජනපද ප්‍රදේශයේ දී පසුගිය 16 වන දා පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 39 ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මරණකරු සහ තවත් පුද්ගලයෙකුගේ බිරිඳ අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලකින් අනතුරුව සැකකරු විසින් මෙම පුද්ගලයාට පොල්ලකින් පහර දී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී ඊයේ (17) උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සැකකරුව ඇන්දාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ (17) දින පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴


වෙන්නපුවේ දරු තිදෙනෙක් (3) අතුරුදහන්

(18.04.2023 – 07:31 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14, 15 වයස් සීමාවේ පසුවන දරුවන් තිදෙනෙකු (3) අලුත් අවුරුදු දා (14) සිට අතුරුදහන්ව තිබෙනවා.

මේ වන විටත් මොවුන් සොයා වෙන්නප්පුව පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විමර්ශන වලින් අණාවරණය වී ඇත්තේ, මෙම දරුවන් වෙන්නප්පුවේ ඩිපෝ පාර, දුම්මලගෙදර සහ ජයවීදී මාවත යන ප්‍රදේශවල පදිංචි මිතුරන් තිදෙනෙකු (3) බවයි.

මොවුන් තිදෙනා (3) එම ප්‍රදේශයේ පිහිටි කනිෂ්ඨ විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටි අය බව පොලීසිය පවසනවා.

මෙයින් 15 හැවිරිදි වියේ පසුවන දරුවන් දෙදෙනා (2) 10 ශ්‍රේණියේ ද, 14 හැවිරිදි දරුවා 09 ශ්‍රේණියේ ද අධ්‍යාපනය ලබමින් සිට ඇත.

මෙයින් 15 හැවිරිදි දරුවෙකුගේ මව එම දරුවාගේ යම් වැරැද්දක් සම්බන්ධයෙන් කළ තරවටුවක් මුල් කරගෙන තිදෙනාම (3) මෙලෙස නිවාසවලින් පලාගොස් ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.

තමා රැකියාවක් සොයා යන බව එම දරුවා විසින් මිත්තණියට පවසා ඇති අතර පසුගිය (14) දා මොවුන් තිදෙනාම (3) අලුත් ඇඳුම් වලින් සැරසී එකට ගමන් කරන අයුරු දුටු අයද සිටින බවට පොලීසියට දැනට ලැබී ඇති තොරතුරු වල සඳහන් වෙනවා.

පොලීසිය විසින් සඳහන් කළ සිටියේ, අදාළ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මෙම දරුවන් අත තිබූ ජංගම දුරකථන අංක ඔස්සේ සිදු කරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *