අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16)

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16)


අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත හෙට (16)

(15.04.2023 – 18:50 +0530 – hirunews.lk/sinhala)

උදාවූ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ නැකත් චාරිත්‍රය හෙටට (16) යෙදී තිබෙනවා.

ඒ අනුව හෙට (16) පූර්ව භාග 09:41 ට රතු සහ කහ මිශ්‍ර තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත්ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු සහ තෙල් ගා ස්නානය කිරීම යෝග්‍ය බවයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.

මෙවර හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය බියගම – හෙයියන්තුඩුව පුරාණ රජමහා විහාරයේදී පැවැත්වෙනවා.

මේ අතර, අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම 17 වනදා සඳුදා පූර්ව භාග 06:28 ට යෙදී තිබෙනවා.

සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම සුදුසු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වුණේ.

මෙවර අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අප්‍රේල් 20 වනදා පූර්ව භාග 06:38 ට යෙදී තිබෙනවා.

+


හදිසි අනතුරුවලට ලක් වූ 185 ක් ජාතික රෝහලට

(15.04.2023 – 11:31 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුවලට ලක් වී ඇති අය අතරින් 55 දෙනෙක් මාර්ග අනතුරුවලට ලක්වූවන් බවයි රෝහල් බලධාරින් පවසන්නේ.

එමෙන්ම තවත් 44 දෙනෙකු ගැටුම්වලින් ද, 36 දෙනෙකු නිවෙස් තුළ සිදු වූ අනතුරුවලින් ද, තවත් 07 දෙනෙකු ගිනිකෙළි අනතුරු නිසා ද, රෝහල් ගත කර ඇති බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් පැවසුවේ ෴


ඇඹිලිපිටියේ මාරක අනතුරක්

(15.04.2023 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය පොලිස් වසමේ රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ 98 කණුව ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

ඇඹිලිපිටිය දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් එක්වරම මාර්ගය හරහා හැරවීමට උත්සාහ කිරීමේ දී රත්නපුර දෙස සිට පැමිණි වෑන් රථයක් කැබ් රියෙහි ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඒ සමගම රත්නපුර දෙස සිට පැමිණි යතුරුපැදියක් එම ගැටීමෙහි ලක් ව තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුරින් පසුව කැබ් රථයෙහි රියදුරු පලා ගොස් ඇති බවත් සැකකරු අත් අඩංගුවට ගැනීමට මේ වනවිඔට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් වාර්තාවනවා.

+


කතුන් දෙදෙනකුට (2) දිවි අහිමි කළ රිය අනතුර

(15.04.2023 – 21:00 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – ඕනගම මාර්ගයේ දී තවත් මාරක අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අද (15) පස්වරුවේ දී වලේකඩේ ප්‍රදේශයේදියි.

අධික වේගයෙන් පැමිණි කැන්ටර් රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 46-47 වියැහි පසුවන්නන්.

අනතුරින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර ළමුන් දෙදෙනකු (02) ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි ෴


සීදූවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(15.04.2023 – 11:02 +0530 – hirunews.lk/sinhala)

සීදුව – රාජපක්ෂපුර ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු විසින් ඊයේ (14) රාත්‍රියේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ එම ප්‍රදේශයේම පදිංචි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙක්.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සිදුකළ පරික්ෂණවල දී අනාවරණ වූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

+


බීමතින් පැමිණ මවට පහරදුන් පියෙකු පුතුගේ පහරකින් මිය යයි

(15.04.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala)

බීමතින් පැමිණ මවට පහරදීමට උත්සාහ කළ පියාට පුතු විසින් බෝතල් කටුවකින් කළ පහරදීමකින් 56 හැවිරිදි අදාළ පියා ජීවිතක්ෂයට පත්වූ පුවතක් බදුල්ල – කැන්ඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ (14) රාත්‍රියේ මියගිය පියා මෙලෙස තම බිරිඳට උදැල්ලකින් පහරදීමට තැත්කර ඇති අතර, අසල සිටි පුතු බෝතලයක් කඩා ඔහුට ඉන් පහර දී තිබුණා.

එහිදී තුවාල ලැබූ පියා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, මහනුවර ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.

+


යටියන්තොට දී කැළණි ගඟට වැටුණු පුද්ගලයෙකු අතුරුදන්

(15.04.2023 – 10:06 +0530 – hirunews.lk/sinhala)

යටියන්තොට ප්‍රදේශයේ දී කැළණි ගඟට ඇද වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යටියන්තොට – අත්තනකැළය ප්‍රදේශයේ දී ආහාර ගැනීමෙන් අනතුරුව අත් සේදීම සඳහා කැළණි ගඟ අසළට ගොස් ඇති අතර, එහිදී ඔහු මෙලෙස ගඟට ඇද වැටී ඇති බවයි.

වන්දනා ගමනක් ගොස් යළි පැමිණෙමින් සිටි කැළණිය ප්‍රදේශයේ පිරිසකගෙන් එක් (1) අයෙකුයි මෙලෙස ගඟට වැටී අතුරුදන්වී ඇත්තේ.

ඔහු සෙවීම සඳහා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා ෴


කහටගස්දිගිලියේ දී වගා ළිඳකට වැටී පාසල් සිසුවෙකු මිය යයි

(15.04.2023 – 14:36 +0530 – hirunews.lk/sinhala)

කහටගස්දිගිලිය – නෙකුටවැව ප්‍රදේශයේ දී වගා ළිඳකට වැටීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා.

16 හැවිරිදි ඔහු මිතුරන් සමඟ අසල්වැසි නිවසක ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴


අධිබලැති විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මරුට

(15.04.2023 – 16:43 +0530 – hirunews.lk/sinhala)

තෙමහල් නිවසක බිත්ති කපරාරු කිරීමට ගිය පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටී ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (15) උදෑසන අදාළ පුද්ගලයා තවත් දෙදෙනෙකු (2) සමග නිවසක බිත්ති කපරාරු කිරීමට යකඩ පලංචියක් බැදීමට ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පලංචිය බැදීමට යොදා ගත් යකඩ බටයක් අසල මාර්ගයේ තිබූ අධිබලැති විදුලි රැහැනක ගැටීමෙනුයි ඔහුට විදුලිසැර වැදී ඇත්තේ.

අදාළ පුද්ගලයා ජා-ඇල රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ ද ඒ වනවිටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව සඳහන්.

මෙලෙස මියගොස් ඇත්තේ ජා-ඇල, තුඩැල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු පියෙක්.

මේ අතර, පිලියන්දල – හල්පිට ප්‍රදේශයේ බොල්ගොඩ ගගේ පාවෙමින් තිබු නාඳුනන මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු එම සිරුර දැක ඒ පිළිබඳ පොලීසිය දැනුම්දී ඇති බව සඳහන්. එය මීට දින දෙකකට (2) පමණ පෙර මියගිය අයෙකුගේ සිරුරක් බවට පොලීසිය සැක පළ කරන අතර, ඔහුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කළේ ෴


අකුණු සැරක් නිහඬ කළ මල් කැකුළ

(15.04.2023 – 21:12 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග අද (15) දිනයේ දී ද කෑගල්ල ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවක් ඇද හැලීමෙන් ඇති වූ අකුණු සැර වැදී පාසල් ශිෂ්‍යයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රුවන්වැල්ල – මාපිටිගම ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දනුජ බිම්සර නමැති දරුවෙක්.

දරුවා දිය නෑමට ගොස් යළිත් නිවස කරා පැමිණෙන අවස්ථාවේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.

මියගිය දරුවා සාමාජිකයින් තුන්දෙනෙකු (3) ගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවායි.

අකුණු සැර වැදුණු දරුවා අවිස්සාවේල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටියා ෴


+


16-04-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *