ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට


ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද (15) සිට

(15.04.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ එළැඹෙන 17 වැනිදා දක්වා මෙය ක්‍රියාත්මක බවයි.

ඒ අනුව හෙට (16) උදෑසන සිට මෙම විශේෂ දුම් රිය සේවය ක්‍රියාත්මක වන්නේ බදුල්ල, බෙලිඅත්ත, ගාල්ල සිට කොළඹටයි.

බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් උදේ 08:30 ට සහ ගාල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 06:00 ට ද, බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 07:00 ට,සවස 05:20 ට සහ සවස 06:00 ට ද මෙම විශේෂ දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

මේ අතර ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස සඳහන් කළා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අද (15) දිනයේ 10% ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරන බවයි.

++++++++

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනවල රියදුරන් වෙත පොලිසියෙන් ඉල්ලීමක්

(15.04.2023 – 07:38 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයෙන් පසු දින කිහිපයේ දී ද පොලිසිය සහ බුද්ධි නිලධාරීන් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි.

අධිවේගී මාර්ගවල ධාවනය කරන රථවාහන රියදුරන්ගෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා ඉල්ලීමක් සිදුකළා.

එහිදී ඔහු කියා සිටියේ වාහන අධිවේගී මාර්ගයේ නවතා ආහාර ගැනීමෙන් වළකින ලෙසයි.

අප්‍රේල් පළමු වැනිදා සිටි 12 වැනිදා දක්වා සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් 63 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++

ඉදිරි දින කිහිපයේ දී ද ආරක්ෂාව තර කෙරේ – නිහාල් තල්දූව

(15.04.2023 – 12:48 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයෙන් පසුව ඉදිරි දින කිහිපයේ දී ද පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය හා ආරක්ෂක අංශ නිලධාරීන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ බීමත් රියදුරන් සොයා සිදුකෙරෙන සෝදිසි කිරීම් ද අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

මීට අමතරව අලුත් අවුරුදු සමයේ පැවැත්වෙන අවුරුදු උත්සව හා සංගීත ප්‍රසංගවලට සහභාගී වීමේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙස ද ඔහුු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

++++++++

අදත් (15) දුම්රිය 34 ක් අවලංගුයි – සඳුදා (17) සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි

(15.04.2023 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (17) කාර්යාල සහ පාසල් වෙත පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස කියා සිටියේ උත්සව සමය වෙනුවෙන් ධාවනයට යොදා තිබූ විශේෂිත බස් රථ සේවාව ද 17 වනදා තෙක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේ හෙට (16) දිනයේ සියයට 50 ක පමණ බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති අතර, අනිද්දා (17) සිට පෞද්ගලික බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට එක්කරන බවයි.

මේ අතර, අද (15) දිනයේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 210 න් ප්‍රාදේශීය ගමන්වාර 34 ක් පමණ අවලංගු කිරීමට කටයුතු කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වී.එස්. පොල්වත්තගේ ප්‍රකාශ කළා.

ප්‍රමාණවත් පරිදි මගීන් නොසිටීම ඊට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් සදුදා (17) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ගමන්වාර ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

+


දුම්රිය ආසන වෙන් කරද්දී සිදුවන අක්‍රමිකතා ගැන පැමිණිල්ලක්

(15.04.2023 – 21:27 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීමේදී අක්‍රමිකතා සිදුවන බවට දුම්රිය මගීන් චෝදනා කරනවා.

ඊට අදාළ තොරතුරක් අපට වාර්තා වුණේ, අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිටි මගියෙකුගෙන්.

උත්සව සමයේ නිවාඩු දින ඉලක්කර ගෙන බොහෝ දෙනෙකු ගම්බිම් බලා යන අතර, රට පුරා සංචාරය කිරීමට ද පෙළඹෙනවා.

දුම්රියෙන් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම සඳහා බොහෝ දෙනා – අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත් වෙන්කරගන්නා ආකාරය දැකගත හැකියි.

නමුත් බොහෝ අවස්ථාවලදී එලෙස අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කර ගැනීමේදී – ප්‍රවේශපත් සියල්ල අලෙවි වී අවසන් බවයි දැක්වෙන්නේ.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් නීති විරෝධී ලෙස දුම්රිය ප්‍රවේශපත් අලෙවි කිරීමේ සිදුවීමක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණේ මෙවන් පසුබිමකයි.

ඒ, අනුරාධපුර දුම්රිය ස්ථානයෙන්.

උත්සව සමයේ ගම්බිම් බලා ගිය ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටුවන ආකාරය සම්බන්ධව වාර්තා කිරීම සඳහා අද (15) පෙරවරුවේ, අප ප්‍රාදේශීය වාර්තාකරුවෙකු අනුරාධපුර දුම්රිය ස්ථානයට ගොස් තිබුණා.

එම අවස්ථාවේ දුම්රිය මගියෙකු අප ප්‍රාදේශීය වාර්තාකරුට දන්වා ඇත්තේ, දුම්රිය ආරක්ෂක නිලධාරීන් නීති විරෝධී ලෙස දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවිකරන බවයි.

නීත්‍යනුකූල ලෙස ප්‍රවේශපත් මිලදී ගැනීමට යාමේදී ප්‍රවේශපත් විකිණී අවසන් බව දැනුම් දෙන බවත් ඔහු සඳහන්කර තිබෙනවා.

මේ පිළිබඳව සොයා බැලීමටත්, මගී ප්‍රවාහන අවශ්‍යතා සම්බන්ධ පුවතට අදාළ වාර්තාකරණ කටයුතු සඳහාත් දුම්රිය ස්ථානය තුළට ගිය අප වාර්තාකරුට එහි ආරක්ෂක නිලධාරිනියක බාධාකළ අයුරුයි මේ.

අනතුරුව දුම්රිය ස්ථානාධිපතිවරයා ද පැමිණ අප වාර්තාකරුට බාධාකර තිබුණා.

මේ අතර, පසුගිය 13 වැනිදා බීමත් පුද්ගලයෙකු වැලිමඩ, කැප්පෙටිපොළ ප්‍රදේශයේදී වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයකට ගොඩ වී මුදල් ඉල්ලා රියදුරුට තර්ජනයකර ඇති අතර, එම සිදුවීම බස් රථයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණේ මෙලෙසින්.

පසුගිය මස 28 වැනිදා ද වැලිමඩ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථයක් නවත්වා කප්පම් ලබා ගැනීමට තැත් කිරීමේ සිදුවීමක් බස් රථයේ සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබුණා.

මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අදාළ පුද්ගලයා පහර දී ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

අප වාර්තාකරු පැවසුවේ, කලක සිට එම ප්‍රදේශය ආශ්‍රිතව මෙවන් සිදුවීම් වාර්තාවන බවයි.

+


අලුත් අවුරුද්දේ අනතුරු අඩුවෙයි

(15.04.2023 – 18:59 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවීමත් සමඟ පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී සිදු වූ රිය අනතුරුවල කැපී පෙනෙන අඩුවීමක් දක්නට ලැබෙන බව පොලිස් රථවාහන කොට්ඨාශය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල කියා සිටියේ උත්සව සමය අවසන් වනතුරු බීමත් රියදුරන් වැටලීමේ මෙහෙයුම්ද ක්‍රියාත්මක බවයි.

ඒ සඳහා පොලිස් රථවාහන නිලධාරීන් 9,009 ක් දිවයින පුරා රථවාහන රාජකාරීයේ යොදවා තිබෙනවා.

එසේම, බීමත් රියදුරන් හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ නළ 1,65,000 ක් පොලිස් රථවාහන නිලධාරීන් වෙත ලබාදී ඇති බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

මේ අතර, ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේ 100 කණුව ප්‍රදේශයේදී වැන් රථයක්, කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටී අද සිදු වූ අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථය රත්නපුරය සිට ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් තිබී ඇති අතර, කැබ් රථය ඇඹිලිපිටිය දෙස සිට රත්නපුරය දෙසට ධාවනය වෙමින් තිබියදී එකිනෙක ගැටී ඇති අතර, පසුව මාර්ගයේ ගමන් කළ යතුරුපැදියක්ද කැබ් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් පසුව කැබ් රථයේ රියදුරා පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේදී ගිනිකෙලිවලින් සිදුවූ අනතුරු සංඛ්‍යාව ද පසුගිය වසරට සාපේක්ෂව මෙවර පහත වැටී තිබෙනවා.

ඒ අනුව කොළඹ ජාතික රෝහලට ගිනි කෙලි අනතුරුවලින් තුවාල ලැබූ එක් (01) අයෙකු පමණක් ඇතුළත් වී ඇති අතර, මහනුවර ජාතික රෝහලට ඇතුළත් වී ඇත්තේ 04 දෙනෙකු පමණයි.

කරාපිටිය ශික්ෂණ රෝහලට ගිනිකෙලි අනතුරුවලින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු (02) ඇතුළු වී ඇති අතර, යාපනය ශික්ෂණ රෝහලට ගිනිකෙලිවලින් තුවාල ලැබූ කිසිවෙකුත් ඇතුළත් වී නැහැ.

කෙසේ වෙතත්, මාර්ග අනතුරුවලින් කොළඹ ජාතික රෝහලට පුද්ගලයින් 55 දෙනෙකු, මහනුවර ජාතික රෝහලට පුද්ගලයින් 08 දෙනෙකු සහ කරාපිටිය ශික්ෂණ රෝහලට පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇතුළත් කර තිබෙනවා.

කලකෝලාහලවලට මැදිව තුවාල ලැබූ පුද්ගලයින් 44 දෙනෙකු කොළඹ ජාතික රෝහලටත්, මහනුවර ජාතික රෝහලට පුද්ගලයින් 11 දෙනෙකුත්, කරාපිටිය ශික්ෂණ රෝහලට පුද්ගලයින් 25 දෙනෙකුත් අවුරුදු උදාවෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති බව සඳහන් ෴


අවුරුදු උත්සව වර්ජනය කරන, සමෘද්ධි වෘත්තීය සමිතිවල තීරණයේ වෙනසක් නැහැ

(15.04.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)

‘සමෘද්ධි බැංකු අරමුදලේ’ මුදල් යොදා ගනිමින් දිවයින පුරා පැවැත්වීමට නියමිත අවුරුදු උත්සව වර්ජනය කිරීමේ තීරණයෙහි වෙනසක් නොවන බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

බැංකු ශාඛා 1089 ක අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සදහා සමෘද්ධි බැංකු අරමුදලෙන් රුපියල් ලක්ෂ 816 ක මුදලක් ලබා ගැනීමටයි නියමිත බවටයි ඔවුන් ප්‍රකාශ කළේ.

සමෘද්ධි බැංකු වෘත්තීය සමිති 10 ක් එක්ව අවුරුදු උත්සව වර්ජනය කිරීමේ තීරණයට පසුගිය 10 වනදා එළඹි අතර ඊට සමගාමීව සේවක ඉල්ලීම් 6 ක් ද ඉදිරිපත් කළා.

එමෙන්ම, අද (15) දින අවුරුදු ගණුදෙනු සදහා බැංකු විවෘත නොකර සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට ද අවතීර්ණ වන බව ඔවුන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව විෂය භාර අමාත්‍යවරයා සහ පාලනාධිකාරිය තීරණය කරනු ලැබුවේ අද (15) දින සමෘද්ධි බැංකු විවෘත නොකිරීමටයි.

සමෘද්ධි වෘත්තීය සමිති විසින් අවුරුදු උත්සව වර්ජනය කිරීමේ තීරණය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරිගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ මේ වනවිට අවුරුදු උත්සව පැවැත්වීම සදහා සියලු කටයුතු සූදානම් බැවින් සංවිධානය කළ පරිදි එම උත්සව පවත්වන බවයි ෴


‘New Year in Paradise 2023’ උණවටුනේ දී

(15.04.2023 – 15:50 +0530 – hirunews.lk/sinhala)

විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුදු අත්දැකීම් ලබාදෙන ‘New Year in Paradise 2023’ පැවැත්වුණා.

ඒ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් උණවටුන මුහුදු තීරයේදීයි.

අද (15) පෙරවරුවේ මෙම අවුරුදු උත්සවය ආරම්භ වූයේ අලුත් අවුරුද්ද හා බැදුණ සංස්කෘති අංග රැසකින් වර්ණවත් කරමින්.

විදේශීය සංචාරකයින් වෙනුවෙන් වෙන් කර තිබූ අලුත් අවුරුදු කෑම මේසය, සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වුණා.

විදේශිකයින් සදහා කණා මුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, ලිස්සන ගහ නැගීම, අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි තරග රැසක් සංවිධානය කර තිබූ අතර දේශීය නැටුම් හා බෙර වාදන සහිත සංස්කෘතිකාංග ද මෙහි සංවිධානය කර තිබීම ද විශේෂත්වයක්.

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *