රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට

රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට


රිළවුන් අපනයනය පිළිබඳ ගැටළුව කැබිනට් මණ්ඩලයට

(15.04.2023 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු‍ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4 ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.

චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙහි පළමු (1) පියවර ලෙස රිළවුන් ලක්ෂයක් (1,00,000) චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවූ අතර පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.

ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ ෴

+++++++++

චීනෙට රිලවුන් පැටවීමේ තීන්දුව ආපස්සට හරවනවාමයි !- පූජ්‍ය ආනන්ද සාගර හිමි

(15.04.2023 – 18:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට රිලවුන් චීනයට ලබාදීම පිටුපස ඇත්තේ මිලියන ගණනක ජාවාරමක් බව ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ’ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

මේ දිනවල (15) දැඩි ලෙස ආන්දෝලනාත්මක අයුරින් කතාබහට තුඩු දී ඇති මාතෘකාවක් වන මෙරට රිලවුන් ලක්ෂයක් පිටරට සත්ත්වෝද්‍යාන වෙත පැටවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් ගන්නා මෙවැනි තීන්දු තීරණ පිළිගැනීමට තරම් ශ්‍රී ලාංකික ජනතාව ‘කොණ්ඩෙ බැඳපු චීන්නුන්’ නොවන බවත් උන්වහන්සේ කියා සිටිනවා.

මෙරටින් රිලවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පර්‍යේෂණ සඳහා බවත් , මෙම තීන්දුව ආපස්සට ගැනීමට ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බවත් පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++

+


රිදියගම සතුන් ඝාතනය ගැන තවත් අනාවරණයක්

(15.04.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

‘රිදියගම සෆාරි උද්‍යානය’ තුල සිටින වන සතුන් තවමත් දඩයක්කරුවන්ගේ ග්‍රහණයට ලක්වන බව හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වෙනවා.

මේ බව මුල් වරට අණාවරණ වුණේ එහි ස්ථාන භාර පශු වෛද්‍ය නිළදාරී ප්‍රියසාද් එදිරිවර්ණ සමාජ මාධ්‍යට එක් කළ වීඩියෝවක් සමගයි.

හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප දිගින් දිගිටම මේ පිළිබදව අනාවරණ කරන්නේ මෙලෙස දිනෙන් දින මිය යන රිදියගම සාෆාරි උද්‍යෑනයේ අසරණ සතුන්ගේ ජීවිත සුරක්ශිත කර ගැනීම උදෙසායි.

එමෙන්ම රිදියගම සෆාරි උද්‍යානයේ ‘ඩෝරා’ නම් සිංහ පැටවා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව පවතින බවට හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඉකුත් 2022 වසරේදීත් අණාවරණ කළා.

මේ අතර, ‘බ්ලැක් බක්’ නම් මුව විශේෂයට අයත් වැඩුනු සත්වයෙක් රිදියගම සෆාරි උද්‍යානය තුළ වෙඩි ප්‍රහාරයක්ට ලක්ව ඝාතනය වී ඇති බවට පැවසෙන පුවතක් ද වාර්තා වෙනවා.

‘බ්ලැක් බක්’ මුව විශේෂය සැලකෙන්නේ ගෝලීය වශයෙන් වද වීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොට්ඨාශයක් ලෙසයි.

ඝතානයට ලක් වූ මෙම මුව පැටවාගේ ඉදිරිපස පාද කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් තිබෙනවා.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානය තුළ ද ජීවත් වන මිලෙන් අධික කුරුළු විශේෂවල බිත්තර එහි සේවකයින් විසින් පිටස්තර පාර්ශවවලට අලෙවි කිරීමේ සිද්ධීන් ද වාර්තා වනවා.

එහි ඇතැම් සේවකයින් පිරිසක් ගෝනපොල ප්‍රදේශයේ පවත්වාගෙන යන සතුන් අලෙවි කරන ස්ථාන හරහා එම කටයුතු සූක්ෂම අයුරින් සිදු වන බවයි අප කළ සොයා බැලීමක දී අනාවරණය වුණේ.

+


කුරුණෑගල හරහා හමා ගිය සුළං හේතුවෙන් නිවාස 10 කට හානි

(15.04.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – උහුමීය රුක්අත්තන ජනපදය හරහා හමා ගිය සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 කට පමණ සුළු හානි සිදුව තිබෙනවා.

එය ඊයේ (14) රාත්‍රී 7 ට පමණ සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම සුළං තත්ත්වය හේතුවෙන් රුක්අත්තන ග්‍රාම සංවර්ධන හා සුබසාධක සමිති ශාලාවේ වහලය ද සම්පූර්ණයෙන් සුළඟට ගසාගෙන ගොස් තිබුණා.

+


සුඛෝපභෝගි රථවලින් කිරිගවයින් සොරකම් කිරීමේ ජාවාරමක තොරතුරු හෙළි වෙයි

(15.04.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක කණ්ඩායම් විසින් සුඛෝපභෝගි වාහනවලින් පැමිණ කිරි ගවයින් සොරකම් කිරීමේ සිද්ධීන් පිළිබඳව දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් පැමිණිලි රැසක් වාර්තාවීම කෙරෙහි කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

මෙලෙස කිරි ගවයින් සොරකම් කර මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරමක් පිළිබද තොරතුරු අනාවරණ වී ඇති අතර කිරි ගවයින් සොරකම් කිරීම ඉහළ ගොස් ඇති බවටයි එම අමාත්‍යාංශය සදහන් කළේ.

පසුගියදා පැවති හමුවක දී පළාත් සහ දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරින් මෙම ගැටළුව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

මේ හේතුවෙන් ගොවීන්ට කිරිගවයින් ආරක්ෂා කර ගැනීමට ආරක්ෂිත කැමරා මෙන්ම දම්වැල් ද යෙදීමට සිදුව ඇති බවටයි කෘෂිකර්ම නිලධාරින්, වැඩිදුරටත් පවසා ඇත්තේ.

දිනකට ලීටර් 20 ත් 30 ත් අතර කිරි ප්‍රමාණයක් ලබාගත හැකි කිරි ගවයින් මෙලෙස සොරකම්කර ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද සතියකට කිරි ගවයින් 35 ත් 40 ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

අනෙකුත් දිස්ත්‍රික්කවලින් ද කිරි ගවයින් සොරකම් කිරීම පිළිබඳ වාර්තා වී ඇති අතර, ඒ පිළිබද සොයා බලා ගව සොරකමේ යෙදෙන්නන් වහාම නීතියේ රැහැනට හසුකර ගන්නා ලෙසට ද කෘෂිකර්ම අමාත්‍යවරයා, පොලිස්පතිවරයාට දැනුම්දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ෴


මින්නේරියේ පිහිටි දැව කාර්මික පුහුණු මධ්‍යස්ථානයක් පරිහානියට

(15.04.2023 – 14:33 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය ඔරුබැඳිසියඹලාව ප්‍රදේශයේ පිහිටා ඇති දැව කාර්මික පුහුණු මධ්‍යස්ථානය කර්මාන්ත පුහුණු අමාත්‍යංශ්‍ය යටතේ ක්‍රියාත්මක වන අතර මෙමගින් අවට ගම්මාන රැසක ජනාතාවට ඉටුවූ සේවයක් ඉටුවුණා.

නමුත් වසර 05 ක පමණ සිට මෙම දැව කාර්මික පුහුණු මධ්‍යස්ථානය වසා තැබීම හේතුවෙන් මේ වන විට භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයට පත්වී තිබෙනවා.

පුහුණූ මධ්‍යස්ථානය පිහිටි ඉඩම ද වල් බිහි වී ඇති අතර රුපියල් කොටියක් පමණ වැයකර ඉදිකර ඇති ගොඩනැගිල්ලද විනාශ වෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම කාර්මික පුහුණු මධ්‍යස්ථානය මගින් පුහුණුව ලබාගත් බෝහෝ දෙනෙකු මේ වන විට විදේශ රටවලද වඩු කාර්මිකයන් ලෙස සේවය කිරීම විශේෂත්වයක්.

ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන්ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිළිසකර කර ඒහි සේවය නැවතත් ප්‍රදේශයේ ජනතාව වෙත ලබා දෙන ලෙසයි.

+


ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව අමෙරිකාව විරෝධතා දැක්විය යුතුයි

(15.04.2023 – 17:37 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකාව ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම් සුරකින්නේ නම්, මේ වනවිට ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව පැන නැගී ඇති විරෝධතාවට සහාය දැක්විය යුතු බව ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ ආසියා උපදේශක අධ්‍යක්ෂ කැරොලින් නාෂ් පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, එම පනතට විරෝධය පාමින් බයිඩ්න් පාලනය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පණිවිඩයක් යැවිය යුතු බවයි.

ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත සෑම මානව හිමිකම් මිනුම් ලකුණකින් ම නිශ්චිතව ම අසාර්ථක බවයි ඔහු සඳහන් කරන්නේ.

ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අමෙරිකාව නැගී සිටින්නේ නම්, මෙම නීතියට එරෙහිව ජනාධිපති රනිල්ට ලිපියක් යැවිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

ශ්‍රී ලංකා රජය දශක හතරකට (4) වැඩි කාලයක් තිස්සේ විවේචකයින් සහ සුළු ජාතීන් රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ කුරිරු පනත (PTA) භාවිතා කරමින් සිටින බවත් ‘ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්’ කියා සිටිනවා ෴


හෙට (16) දිනයේ උණුසුම් බවෙහි වැඩි වීමක් ?

(15.04.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ මේ දිනවල (15) පවතින අධික වියළි සහ උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ එළඹෙන දින කිහිපයේ දී ඇතැම් ප්‍රදේශවල අසාමාන්‍ය උණුසුම් දේශගුණික තත්ත්වයක් බලපැවැත්විය හැකි බවයි.

ඒ අනුව හෙට (16) දිනයේ දී නැගෙනහිර පළාතට, උතුරුමැද පළාතට සහ වව්නියාව, කිලිනොච්චි, මුලතිව්, කුරුණෑගල, මන්නාරම, මොනරාගල, හම්බන්තොට ආදී ප්‍රදේශවලට උණුසුම් දර්ශකය සැලකිය යුතු මට්ටමක පවතිනු ඇති බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

වැඩිවේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම වැඩිවේලාවක් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම් වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එම නිසා වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙසත් සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැළකිලිමත් වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *