කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට

කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට


කල් ඉකුත් වූ කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය සමග තිදෙනෙකු (3) අත්අඩංගුවට

(12.04.2023 – 20:10 +0530 – hirunews.lk/sinhala)

මෝදර ප්‍රදේශයේ දී කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නොසුදුසු කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය ගබඩාවක් සමග තිදෙනෙකු (3) පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (11) මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මෙම කිරිපිටි ඇතුළු ඒ අශ්‍රිත නිෂ්පාදනයන්ට යොදාගන්නා ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 80 ක්.

එහි දී වෙළදාම් කිරීම සදහා බෙදාහැරීමට සූදානමින් කර ගබඩා කර තිබූ කල් ඉකුත් වූ කිරිපිටි කිලෝ ග්‍රෑම් 1780 ක්, කල් ඉකුත් වූ කිරිපිටි ආශ්‍රිත නිෂ්පාදන, කල් ඉකුත් වූ රසකාරාක හා වර්ණකාරක ද්‍රව්‍ය රැසක් සිය භාරයට ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකි වුණා.

මෙම ද්‍රව්‍ය තොගය සමග හිමිකරු, කළමනාකරු හා ගබඩා පාලක අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් කොළඹ 05, බදුල්ල, වත්තල යන ප්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 49 – 72 අතර වයසේ පසුවන අයයි.

මෙම සැකකරුවන් තිදෙදෙනා (3) වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පාරිභොගික සේවා අධිකාරිය වෙත භාර දී තිබෙනවා ෴


රිදියගම සත්ත්ව මරණවලට හේතු දෙකක් (2)

(12.04.2023 – 13:02 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට – රිදියගම සත්වෝද්‍යානය තුළ සතුන් මරණයට පත් වන්නේ අයාලේ යන සුනඛයන්ගේ බලපෑමෙන් සහ බාහිර පුද්ගලයන්ගේ උගුල්වලට හසුවීමෙන් බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ සත්වෝද්‍යානය තුළ සිදුවන සත්ත්ව ඝාතන සම්බන්ධයෙන් එහි සේවය කළ පශු වෛද්‍යවරයෙකු සිදුකළ අනාවරණ සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

බාහිර පුද්ගලයන් සතුන්ට හිංසා කිරීම සහ නිලධාරින්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා කරුණු හෙළිකර තිබුණා.

ඊට අදාළව වීඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

+

+


අතුරුදන් වූ මුදල් සෙවීමට පොලීසිය මහබැංකුවට යයි

(12.04.2023 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ තිබී අතුරුදහන් යැයි පවසන රුපියල් ලක්ෂ 50 ක මුදල පිළිබඳ කොටුව පොලීසියට ලද පැමිණිල්ල විමර්ශනයට අද (12) පෙරවරුවේ කොටුව පොලිසිය මහ බැංකුව වෙත ගොස් තිබෙනවා.

අප කළ විමසීමකදී කොටුව පොලිසිය සඳහන් කළේ, එහිදී ඊට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

සිද්ධියට අදාළ පැමිණිල්ල මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් එය ගොනුකර ඇති බවයි වාර්තාවුණේ.

ඒ අනුව, අස්ථානගත වී ඇති බව පවසන්නේ රුපියල් ලක්ෂ 50 මුදල් නෝට්ටු බණ්ඩලයක් ෴


හිරු පුවත ඵල දරයි – ප්‍රවාහන ඇමති හදිසියේම කතරගම බස් නැවතුම්පොළට

(12.04.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (12) දින පෙරවරුවේ කතරගම බස් නැවතුම්පොලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ හිරු ප්‍රවෘත්ති තුලින් පෙරේදා(10) දිනයේ එම බස් නැවතුම්පොල පිළිබඳ සිදුකළ අනාවරණයත් සමගයි.

රුහුණු මහා කතරගම පුදබිම දේශීය බැතිමතුන් පමණක් නොව විදේශිකයන්ගේ ද ගෞරවයට පාත්‍ර වූවක්.

එවන් ස්ථානයක ප්‍රධාන බස් නැවතුම්පොල නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් චෝදනා කර සිටියේ.

මෙහි නඩත්තු කටයුතු කතරගම ප්‍රාදේශීය සභාව මගින් නිසි පරිදි සිදුනොකරන බවට ද ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

කතරගම බස් නැවතුම්පොලේ ගොඩනැගිලි සහ වහල දිරාපත් වෙමින් පවතින අතර මෙය යාචකයින්ගේ තෝතැන්නක් බවට ද පත්ව තිබෙනවා ෴


ගොවිජන වන සත්ත්ව ගැටුම් කළමනාකරණය සදහා ඒකකයක්

(12.04.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

ගොවිජන වන සත්ත්ව ගැටුම් කළමනාකරණය සදහා වන ඒකකයක් ස්ථාපිත කරන ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

එම නිර්දේශය සිදුකර ඇත්තේ මේ වනවිට රටේ පවතින වනගහනයට සාපේක්ෂව සත්ත්ව ගහනය ඉහළ යාම හේතුවෙන්. වගාවන්ට සිදුවන වන සත්ත්ව හානි අවම කිරීම සදහා ගත යුතු පියවර සම්බන්ධව විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්ය සහ සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානවල සහභාගිත්වයෙන් වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ වාර්ෂිකව වන සතුන්ගෙන් වගාවන්ට සිදුවන හානිය අඛන්ඩව ඉහළ ගොස් ඇති බවයි ෴


කඳාන, සම්බාහන මධ්‍යස්ථනයකදී පුද්ගලයෙක් මරුට

(12.04.2023 – 15:33 +0530 – hirunews.lk/sinhala)

කඳාන ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක දී 42 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, මිය ගිය පුද්ගලයා කඳාන ප්‍රදේශයේ පදිංචි විවාහක තැනැත්තෙක් බවට හඳුනා ගෙන ඇති බවයි.

ඔහු ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ එම සම්බාහන මධ්‍යස්ථනයට පැමිණ ඇති අතර, අද (12) අලුයම ඔහු මිය ගොස් සිටිය දී සොයා ගැණුනා.

හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය යන්නට ඇති බවටයි පොලිසිය සැක පහළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴


වැඩිමිලට විකිණීමට තිබූ බිත්තර 15,000 ක් මරදානෙන් සොයා ගැනේ

(12.04.2023 – 16:08 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල ඉක්මවා අලෙවි කිරීමට සුදානම් කර තිබු බිත්තර 15,000 ක් මරදාන මරියකඩේ වෙළඳ සංකීර්ණයේ වෙළඳසැලක් තුළ තිබිය දී සොයාගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු පැමිණිල්ලකට අනුවයි අද (12) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

පසුව රජය විසින් පනවා ඇති රුපියල් 44 ක පාලන මිලට අදාල බිත්තර තොගය පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට වැටලීම සිදුකල නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

+


සංචාරකයින් 2,125 ක් රැගත් එම්.සී.එස්. පියෝෂියා නෞකාව කොළඹ වරායට

(12.04.2023 – 17:05 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින් 2,125 දෙනෙකු රැගත් එම්.සී.එස්. පියෝෂියා මගී ප්‍රවාහන නෞකාව අද (12) දහවල් කොළඹ වරායට සේන්දු වුණා.

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම නෞකාව මලයාසියාවේ සිට මෙරටට පැමිණි අතර, එහි කාර්ය මණ්ඩලය 916 දෙනෙකුගෙන් සමන්විත බවයි වරාය අධිකාරිය ප්‍රකාශ කළේ.

මෙරටට පැමිණි මෙම නෞකාව මීළඟට ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතයි ෴


අමතර පන්තියට සහභාගි වී සිටි සිසුන් දෙදෙනකුට (2) අමානුෂික ප්‍රහාරයක්

(12.04.2023 – 18:54 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර Zahira මුස්ලිම් පාසලේ උසස් පෙළ අමතර පන්තියක් අතරතුර පාසල තුළට පැමිණි පිටස්තර කණ්ඩායමක් විසින් අමතර පන්තියට සහභාගි වී සිටි සිසුන් දෙදෙනකුට (2) අමානුෂික අයුරින් පහර දී තිබෙනවා.

ඊයේ (11) දහවල් වූ එම සිද්ධියෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින එම සිසුන් දෙදෙනා (2) අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් (1) අයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් තවත් හතරදෙනකු (4) අද (12) සවස පොලිසියට භාර වී ඇති බව පොලිසිය පවසනවා ෴


තමන්ට තවත් නඩු 408 ක් ඇති බව මෛත්‍රී පවසයි

(12.04.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට අදාළව තමන්ට තවත් නඩු 408 ක් වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට අද (12) එක්වෙමින්.

+


වළවේ ගඟේ ගිලී අතුරුදන් වු සිසුන් දෙදෙනාගේ (2) සිරුරු සොයා ගැනේ

(12.04.2023 – 22:33 +0530 – hirunews.lk/sinhala)

වළවේ ගගේ බලංගොඩ වැලිහරනාව ඡල පොම්පාගාරය ආසන්නයේ දියනෑමට ගොස් අතුරුදන් වු සිසුන් දෙදෙනාගේ (2) සිරුරු අද (12) සොයාගනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ පදිංචි 17 ත් හැවිරිදි සුන්දරලිංගම් ප්‍රවීන් හා 15 හැවිරිදි ජිවරාජ් අනුෂ් නමැති බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුන් දෙදෙනෙක් (2).

මෙම සිසුන් දෙදෙනා (2) දියේ ගිලී අතුරුදන් වී තිබුණේ තවත් පිරිසක් සමඟ ඊයේ (11) වලවේ ගඟේ දිය නෑමට ගිය අවස්ථාවේ දීයි.

නාවික හමුදාව හා ප්‍රෙදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයකින් අනතුරුව සොයාගත් ඔවුන් දෙදෙනාගේ (2) සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලංගොඩ මූලික රෝහලට රැගෙන ගියා ෴


මහා පරිමාණ නීති විරෝධී මත්පැන්පොළක් වටලයි

(12.04.2023 – 22:51 +0530 – hirunews.lk/sinhala)

මුල්ලේරියාව, මාලිගාගොඩැල්ල ප්‍රදේශයේ පාළු ගොඩනැගිල්ලක ඉතා සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් පවත්වා ගෙන ගිය නීති විරෝධී මත්පැන් සකස් කරන ස්ථානයක දී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අතුඅඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

එහිදී නීති විරෝධි මත්පැන් ලීටර් 20 ක්, නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 3,187 ක්, ගෑස් ලිප් 02 ක්, ගෑස් සිලින්ඩර් 03 ක්, විශාල වතුර ටැංකි 02 ක්, බැරල් 17 ක් සහ දඟර 02 ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාවේ පදිංචි වයස අවුරුදු 33 ක අයෙක්.

ඔහු හෙට (13) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

+


QR කේතය මගින් ඉන්ධන ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයක වර්ධනයක්

(12.04.2023 – 23:25 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතිය තුළ ඉන්ධන අලෙවි කිරීමේ දී ජාතික ඉන්ධන අලෙවිය සහ ඉන්ධන අවසරපත් QR කේතය මගින් ඉන්ධන ලබා දීම සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.

පෙර සතියේ QR කේතය මගින් ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු ඉන්ධන පිරවුම්හල් 66 ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු 60% කට පමණ තිබු QR කේතය මගින් ඉන්ධන අලෙවිය 80% කට වඩා ඉහළ වර්ධනයක් ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.

උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදා හැරීම වර්ධනය කර ඇති අතර, ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික් ටොන් 4650 ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක් ටොන් 5500 ක් නිකුත් කර බෙදා හරිනු ලැබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *