හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන

හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන


හිටපු නීතිපතිගේ කාර්‍යාලයට කඩා වැදුණු අය සොයා සීඅයිඩී විමර්ශන

(11.04.2023 – 08:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ කාර්‍යාලයට අනවසරයෙන් පැමිණ ලිපිගොනු ඇවිස්සූ බව කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන අරඹා තිබෙනවා.

මෙම සිද්ධියට අදාලව නාරාහේන්පිට පොලිසිය මඟින් පැවැත්වූ විමර්ශන‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් තම දෙපාර්තමේන්තුව වෙත බාර දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

හිටපු නීතිපතිවරයාගේ කොළඹ 07, ලන්ඩන් පෙදෙසේ පිහිටි කාර්‍යාලයට පසුගිය වසරේ (2022) නොවැම්බර් මස 22 වන දා සුදු වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු එහි තිබූ ලිපිගොනු අවුස්සා එක් ලිපිගොනුවක් පමණක් රැගෙන ගොස් ඇති බව එම පැමිණිල්ලේ සඳහන් බවත්, එකී සිදුවීම පටිගත වූ සීසීටීවී දර්ශන විමර්ශන කටයුතු සඳහා වෝහාරික ඩිජිටල් විද්‍යාගාරය වෙත බාර දී ඇති අතර තවමත් එහි වාර්තාව තමන්ට ලැබී නොමැති බවත් එම දෙපාර්තමේන්තුව එහිදී ප්‍රකාශ කළා.

+


දත් ගැලවෙන අවුරුදු ක්‍රීඩා එපා – සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය

(11.04.2023 – 07:20 +0530 – hirunews.lk/sinhala)

දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සවවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ (10) පැවති මාධ්‍ය දැනුවත් කිරීමක දී දන්ත වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ මේ බව ප්‍රකාශ කළා.

ඇය පවසන්නේ දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවත්, අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්වයට පත් කිරීමට නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එහිදී සඳහන් කලේ එවැනි අනතුරක් සිදු වුවහොත් කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක, සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යෑම ‍යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් බවයි.

+


යාපනයේ මහ පොළොවෙන් දේව ප්‍රතිමා 12 ක් හමුවෙයි

(11.04.2023 – 08:48 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ කොඩිගාමම් කුරිච්චි ප්‍රදේශයේ ඉඩමකින් ඉපැරණි දේව ප්‍රතිමා 12 ක් ඊයේ (10) දා හමු වී තිබෙනවා.

ඉඩම් හිමියා විසින් සිය ඉඩමේ වලක් හාරමින් සිටි අවස්ථාවේ දී කලුගලක් හමු වී ඇති අතර ඒ පිළිබදව විමසිලිමත් වූ විටයි එය දේව ප්‍රථිමාවක් බව අවබෝධ කරගෙන ඇත්තේ .

පසුව කොඩිගාමම් පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය පැමිණ කල කැණීම් වලදී ඉපැරණි දේව රූප 12 ක් හමු වී තිබෙන බවටයි වාර්තා වන්නේ.

එම දේව ප්‍රතිමා වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර පුරා විද්‍යා නිලධාරීන් ලවා එම ප්‍රථිමා වල ඉතිහාසය හෙළි කර ගැනීමට පොලිසිය අධිකරණමය ක්‍රියාදාමයක් අනුගමනය කොට ඇති බව සඳහන් වනවා.

අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොඩිගාමම් පොලිසිය විසින් පවත්වනවා ෴


බැංකු කාඩ්පත් මඟින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

(11.04.2023 – 09:07 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු ඒ.ටී.එම්. යන්ත්‍ර මඟින් මුදල් ලබා ගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයන් හට මුදල් ගැනීමට සහය වන ලෙස හඟවා ඔවුන්ගේ කාඩ්පත් වල රහස් අංක ලබාගෙන එම අවස්ථාවේ දී යන්ත්‍රයෙන් මුදල් රැගෙන ඔහු සන්තකයේ තිබූ ව්‍යාජ කාඩ්පතක් සමඟ අදාල පුද්ගලයාට ලබා දී තිබෙනවා.

ඉන් අනතුරුව අදාල පුද්ගලයාගේ වලංගු කාඩ්පත මඟින් මෙම සැකකරු මුදල් වංචා කර ඇති බව පරීක්ෂණවල දී හෙලි වූ බව පොලිසිය පවසනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් මිරිහාන, කොට්ටාව, පිලියන්දල, දෙහිවල මෙන්ම මහරගම යන පොලිස් ස්ථානයන් හි පැමිණිලි 50 කට අධික සංඛ්‍යාවක් තිබූ බවත්, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව තිබූ ව්‍යාජ ඒ.ටී.එම්. කාඩ්පත් 15 ක් ද පොලිස් භාරයට ගත් බව සඳහන්.

වයස අවුරුදු 24 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (11) ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


පොලීසියෙන් රියදුරන්ට විශේෂ දැනුම් දීමක්

(11.04.2023 – 09:20 +0530 – hirunews.lk/sinhala)

අවුරුදු සමයේ ප්‍රධාන නගර ආශ්‍රිතව රථවාහන නවතා තැබීමේ දී රියදුරන් වඩා සැළකිලිමත් ව කටයුතු කළ යුතු බව පොලිසිය සඳහන් කර සිටිනවා.

ඒ, අවිධිමත් ලෙස රථවාහන නතර කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද දන්වා සිටිමින්.

මෙම තීරණය ගෙන තිබෙන්නේ පසුගිය දින කිහිපයේදී ප්‍රධාන නගර කිහිපයක දුටු රථ වාහන තදබදය සැලකිල්ලට ගෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ ෴


මීරිගම වෙළඳ සංකීර්ණයේ පුද්ගල ඝාතනයක්

(11.04.2023 – 09:25 +0530 – hirunews.lk/sinhala)

මීරිගම පොදු වෙළඳ සංකීර්ණය තුළ දී වෙළඳාම් කටයුතු සඳහා පැමිණි දෙදෙනෙක් (2) අතර අද (11) අලුයම ඇති වූ ආරවුලක් නිසා තියුණු ආයුධයකින් පහර දී එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙහිදී මීරිගම පොලිස් ස්ථානයට පොලිස් හදිසි ඇමතුම් ඒකක‍ය මඟින් ලද පණිවිඩයක් මත නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් ඇති අතර, එහිදී තුවාල ලබා සිටි සැකකරු රෝහල් ගත කිරීම සඳහා ගිලන් රථයක් කැඳවා ඇති නමුත් එම අවස්ථාව වන විටත් අදාල තුවාලකරු මියගොස් තිබෙනවා.

මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 55 ක් වන මුගුරුගම්පල, මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනය සිදුකළ සැකකරුව පොලිසිය විසින් එම ස්ථානයේ දී ම අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සඳහන් ෴


පළාත් පාලන සීමා නිර්ණ කමිටු වාර්තාව අගමැතිට භාර දෙයි

(11.04.2023 – 14:37 +0530 – hirunews.lk/sinhala)

සීමා නිර්ණ ජාතික කමිටුවේ දෙවන (2) වෙළුම අද පළාත් සභා හා පළාත් පාලන විෂය භාර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ වෙත අද (11) භාරදෙනු ලැබුවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදි එය භාරදෙනු ලැබුවේ එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින්.

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සහභාපතිත්වයෙන් යුත් සීමා නිර්ණ ජාතික කමිටුවට සමාජිකයන් හතර (4) දෙනෙකු ඇතුලත්.

දැනට පවතින 8000 ක් පමණ වන පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩුකිරීම වෙනුවෙන් කොට්ඨාශ සංඛ්‍යාව අඩුකිරීම සදහා සීමා නිර්ණය කිරීම මෙම කමිටුව මගින් සිදුකෙරෙන අතර එහි කටයුතු මේ වසරේ පෙබරවාරි මස 28 වැනිදාට පෙර අවසන් කිරීමටයි නියමිතව තිබුන ද පැවති තත්ත්වයන් මත එය නියමිත කාලයට අවසන් කිරීමට හැකිවුයේ නැහැ.

කෙසේ වෙතත්, අප්‍රේල් මස 30 වනදා මෙහි කමිටුවේ කාලය අවසන් වීමට නියමිතයි.

සීමා නිර්ණ ජාතික කමිටුවේ දෙවන (2) වෙළුම අග්‍රාමාත්‍යවරයා වෙත භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ කොට්ඨාශ වලට අයත් වන ග්‍රාම නිලධාරී වසම් සම්බන්ධයෙන් විස්තර මෙම වෙළුමෙහි අන්තර්ගත බවයි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම තවදුරටත් කල් දමන්නේද යන්න සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට රැස්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් ඊයේ (10) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමගද සාකච්ඡා කරනු ලැබුවා.

එසේම මැතිවරණ කොමිසම නියම කරගත් පරිදි අප්‍රේල් මස 25 වැනිදා පළාත් පාලන ජන්ද විමසීම පැවැත්විය නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියේ කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴


බඩඉරිඟු ළඟ තබා ගන්න එපා – කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලයි

(11.04.2023 – 09:31 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නය සඳහා ගොවින් විසින් වගා කරන ලද බඩඉරිඟු තොග ගොවි ජනතාව සතුව පවතින්නේ නම් ඒවා වහා අලෙවි කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාශය ඉල්ලීමක් කරනවා.

බඩඉරිගු වල හිඟයක් පවතින බැවින් යලිත් බඩඉරිඟු ආනයනය කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් ඇතැම් ගොවීන් තමන් සතු බඩඉරිඟු තොග ගබඩා කර තැබීමට කටයුතු කළත්, බඩඉරිගු ආනයනය කළහොත් මිල ගණන් පහළ යා හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාශය පෙන්වා දෙන්නේ.

එබැවින් දැනට වෙළඳපලේ බඩඉරිඟු සඳහා හොඳ මිලක් පවතින බැවින් තමන් සතු බඩඉරිඟු තොග ඉක්මනින් අලෙවි කරන ලෙසයි ඉල්ලා සිටින්නේ ෴


ගිනි අවි ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් (3) මාට්ටු

(11.04.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවි ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙක් ගත වූ පැය 24 ක කාලය තුල දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුවරසන්කුලම පම්පමඩුව වැව ප්‍රදේශයේ දී ඊයේ (10) පුවරසන්කුලම පොලිස් නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 29 ක සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සුන්දරපුරම්, වව්නියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා.

එමෙන්ම ගල්ගමුව බුදුරුව කන්ද ප්‍රදේශයේ දී ගල්ගමුව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී ද මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් තම සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 60 ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු ද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබෙනවා.

තවද අඟුණකොළපැලැස්ස බරවකුඹුක ප්‍රදේශයේ දී ඊයේ (10) උදෑසන අඟුණකොළපැලැස්ස පොලීසියේ නිලධාරීන් ලද තොරතුරක් මත කල වැටලීමක දී මෙරට නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක්, අත් බෝම්බයක් සහ ජීව උණ්ඩ 03 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 29 ක් වන එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද (11) දින අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී පිටුවහල් කෙරේ

(11.04.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

බහමාස් රාජ්‍යයට අයත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගි කරගනිමින් මෙරටට ඇතුළු වීමට උත්සහ කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන, පිටුවහල් කර තිබෙනවා.

මොහු නයිජීරියාවේ සිට ලයිබීරියාවට පැමිණ ඉන්පසු මොරොක්කෝ රාජ්‍යයට පැමිණ ඇති බවටයි සඳහන් වන්නේ.

පසුව මොහු කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්. 654 දරණ යානයෙන් ඊයේ (10) පස්වරුවේ මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පසුව ගමන් බලපත්‍රය පරීක්ෂා කළ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරින් ඔහු යළි පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා ෴


නන්දිකඩාල් කලපුවේ බෝට්ටු තරගයක්

(11.04.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් නන්දිකඩාල් කලපුවේ බෝට්ටු තරගය ඊයේ (10) දින සංවිධානය කර තිබෙනවා.

එම තරගයෙන් ජයග්‍රහණය කළ අයට ලක්ෂ ගණනින් මුදල් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය විසින් පියවර ගත් බවයි සඳහන් වන්නේ.

දෙමළ ජාතික සංවිධානයේ හිටපු වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සිවමෝහන් විසින් ප්‍රථම වතාවට පැවති මෙම බෝට්ටු තරගය සංවිධානය කර තිබුණා.

මෙම බෝට්ටු තරගයෙන් පළමු (1) ස්ථානය දිනා ගත් තරගකරුට, රුපියල් ලක්ෂයක් දෙවැන්නාට (2) පනස් දහසක් හා තුන් වැන්නාට (3) රුපියල් විසි පන්දහසක් බැගින් ප්‍රදානය කළ අතර තවත් සැනසිලි තෑගි 10 ක්ද සංවිධායක මණ්ඩලය පිරිනමා තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *