සමනල වැව බලන්න ආ තරුණියට අතවර කළ කොස්තාපල් රිමාන්ඩ්
(10.04.2023 – 20:47 +0530 – hirunews.lk/sinhala)
බලංගොඩ – සමනල වැව නැරඹීම සඳහා පෙම්වතා සමඟ පැමිණි තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තණමල්විල – හම්බේගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු අද (10) බලංගොඩ මහේස්ත්‍රාවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය 06 වනදා මෙම තරුණිය සිය පෙම්වතා සමඟ යතුරුපැදියෙන් සමනල වැව නැරඹීම සඳහා පැමිණ තිබෙනවා.
එම අවස්ථාවේ සිවිල් ඇඳුමින් සිටි මෙම කොස්තාපල්වරයා, අදාළ තරුණියගේ පෙම්වතා යතුරුපැදියට සම්බන්ධ කර විලංගු දමා ඇයව කැළෑවකට රැගෙන ගොස් ලිංගික අතරවරයට ලක් කර ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.
සැකකරු දීර්ඝ කාලයක සිට සමනල වැව බැලීමට පැමිණෙන කාන්තාවන් හට විවිධ අතවර සහ හිංසා කර ඇති බවට විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා ෴
නුවරඑළිය උපරිම ලෙස දායක කර ගනිමින් රටේ ආර්ථිකය ගොඩනැංවීමට වැඩපිළිවෙළක් – ජනපති
(10.04.2023 – 17:31 +0530 – hirunews.lk/sinhala)
වසර 04 ක් තුළ දී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන් ලබා ගැනීමට විධිමත් සැලැස්මක් ඔස්සේ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අද (10) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම සහ නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීම ද සිදු කෙරුණා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය නැවත ගොඩනැගිය නොහැකි බව බොහෝ දෙනා සිතුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා රජය ඇතිකරගත් එකඟතාව සමග නැවත රටේ ආර්ථිකය පිළිබඳ නැවුම් බලාපොරොත්තුවක් තැබීමට සියලු දෙනාට අවස්ථාව ලැබුණු බවයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වසර පුරාම සංචාරකයන් ගෙන්වා ගත හැකි ආකර්ශණීය නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.
සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් එම සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල ගොඩනැගිලි වෙනුවට විවේකීව ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සමගින් එම සංවර්ධන සැලසුම් සකස් කිරීමේ වැදගත්කම පැහැදිළි කළා.
තවද නුවරඑළිය නගරයේ වැසි ජලය බැස යාම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොතිබීම දීර්ඝකාලින ගැටලුවක් වන අතර ඒ සඳහා කඩිනම් වැඩපිළිළෙක් ක්‍රියාවට නංවන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා පානීය ජල ගැටලුව විසඳීමට ද විශේෂ අවධානය යොමුකරන ලෙස උපදෙස් දුන්නා.
නුවරඑළිය නගරය තුළ අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ඉදිකිරිම් සිදු කිරිමේ අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශාල ගොඩනැගිලි ඉදිකිරීම හේතුවෙන් නගරය විනාශ වී ඇති බවත් එය නිව්යෝර්ක් නගරයක් කරනවාද නුවරඑළිය ලෙස පවත්වාගෙන යනවාද කියා තීරණය කළ යුතු බවත් පැවසුවා.
+
“රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ ජනතා සේවය කාර්යෂම කරන්නයි” – රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමති
(10.04.2023 – 18:49 +0530 – hirunews.lk/sinhala)
මාධ්‍යයට අදහස් දක්වමින් අද (10) දින මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹළාපිටිය පවසාසිටියේ, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම යනු විකිණීම නොවන බවයි.
එනම් රාජ්‍ය ඒකාධිකාරීත්වය අවම කරමින් ජනතාවට අවශ්‍ය සේවා පහසුකම් කාර්යක්ෂමව ලබා දීමට මෙයින් පියවර ගැනෙන බව ඔහු ප්‍රකාශ කළ සිටියා.
මෙලෙස ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සමාගම් මඟින් තෙල් ගෙන ඒමේ දී තෙල් සුලබ කළ හැකි බවත්, දැනට තෙල් ගෙන ඒමට පමණක් ඩොලර් බිලියන 450 ක් පමණ වැය වන බවත් නමුත් ප්‍රතිව්‍යුහගත කළහොත් පවතින විනිමය හිඟය පාලනය කළ හැකි බවත් ඔහු පැවසූවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියේ, රජයට මේ තුළින් අවශ්‍ය වන්නේ ආයතන ඒකාධිකාරීත්වයෙන් මිදී නිර්මාණය වන සමාගම් තරඟය තුළින් ඒ ලාභය ජනතාව දීමට බවයි ඔහුට අවශ්‍ය වන්නේ, ඒ අනුව ඕනෑම ආයතනයකට අඩු මිලට තෙල් සපයලා අලෙවිය වැඩි කරගැනීමට හැකියාව පවතින බවයි.
++++++++
මෙරට ඉන්ධන වෙළඳපලට ඇතුළු වීමට අවසර හිමි වූ විදේශීය සමාගම් මෙම වසරේ ජුනි මාසයේ සිට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
අදාල සමාගම් තුන (3) සමඟ වන ගිවිසුම් ඉදිරි මාස දෙක (2) තුළ අවසන් කිරීමට හැකි වනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
රජය විසින් ඉන්ධන සඳහා දැනට පනවා ඇති උපරිම මිලට වඩා අඩුවෙන් එම සමාගම් වලට මෙරට තුළ ඉන්ධන අලෙවි කිරීමට ඉඩ සැලසෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
චීනයේ – සයිනොපෙක්, ඕස්ටේ්රලියාවේ – යුනයිටඩ් පෙට්‍රෝලියම්, සහ ඇමරිකාවේ – ආර්.එම්. පාර්ක්ස් යන සමාගම් සදහා වසර 20 ක කාලයකට බලපැවැත්වෙන පරිදි මෙරටට ඉන්ධන ආනයනය කිරිමට, ගබඩා කිරීමට හා බෙදා හැරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා ෴
ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් තුළ රුසියානු ජාතිකයෙක් මිය යයි
(10.04.2023 – 18:51 +0530 – hirunews.lk/sinhala)
බණ්ඩාරවෙල, ඇල්ල පුංචි සිරිපාදය නමින් හදුන්වන සංචාරක ස්ථානය නරඹා ආපසු පැමිණි රුසියන් ජාතික තරුණයෙකු හදිසියේ ඇති වු රෝගි තත්ත්වයක් හේතුවෙන් ගමන් කළ ත්‍රී රෝද රථය තුළ දීම මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි ටී. ඇලෙක්සැන්ඩර් නම් රුසියන් ජාතික එක් දරු පියෙක්.
මොහු තමන්ගේ බිරිද හා දරුවා සමග පසුගිය 03 වැනිදා ලංකාවට පැමිණ ඇති අතර ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණිමෙන් පසුව හමුවූ තවත් තිදෙනෙකු (3) ගෙන් යුත් රුසියන් ජාතික පවුලක් සමග පසුගිය 08 වැනිදා ඇල්ල සංචාරක නගරයට පැමිණ නවාතැන් ගෙන තිබුණා.
ඊයේ (09) දිනයේ දී ඇල්ල නගරයේ සංචාරය කරමින් මෙම පවුල සහා ලංකාවට පැමිණිමෙන් පසු හඳුනාගත් රුසියන් ජාතික පවුල සමග පුංචි සිරිපාදය නැරඹිම සදහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
පුංචි සිරීපාදය නරඹා පසුව කන්ද බැස අසල තිබූ ත්‍රී රෝද රථයකට තම බිරිද හා දරුවා සමග නැග ඇති අතර අනෙක් පිරිස තවත් ත්‍රී රෝද රථයකට නැග සියලු දෙනා නැවත ඇල්ල නගරයට පිටත්ව ගොස් තිබෙනවා.
පසුව මීටර 250 ක පමණ දුරක් ගමන් කිරීමේ දි මෙම පුද්ගලයා හදිසියෙම අසනීප වී ත්‍රී රෝදය තුළම වැටි ඇති අතර බිරිඳ විසින් ප්‍රථමාධාර ලබා දී ස්වාමියාව බේරාගැනීමට දැඩි උත්සහයක් දරා තිබුණා.
එමෙන්ම ත්‍රී රෝද රථ රියදුරු ඇල්ල පොලිසිය දැනුවත් කර හැකි ඉක්මනින් දෙමෝදර ප්‍රාදේශීය රෝහල වෙල රෝගියා රැගෙන විත් තිබුණා.
එහිදි රෝහල් කාර්යමණ්ඩලය රෝගියාව බේරාගැනීමට දැඩි උත්සහායක් ගත්ත ද ඒ වන විටත් මෙම විදේශිකයා ජීවිතය මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙහිදි බිරිද අතිශයින් සංවේදි වු අතර රෝගියා රෝහලට ගෙන යන අතරම ඇල්ල සංචාරක පොලිසියේ නිළධාරිහුද රෝහල වෙත පැමිණි අතර ඒ වන විට දැඩි ලෙස අසරණව සිටි රැසියන් ජාතික කාන්තාවට තත්වය පැහැදිලි කර දී අවශ්‍ය කටයුතු සිදු කර දේහය මෘත ශරීරාගාරයේ තැනපත් කෙරුණා.
මිය ගිය පුද්ගලයා අධික රැධිර පීඩනය සදහා ඖෂධ ලබාගන්නා පුද්ගලයෙක් බවත් මරණය ගැන සැකයක් නොමැති බවත් ඔහුගේ බිරිඳ පවසා ඇති බවයි පොලිසිය පවසන්නේ.
අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු දේහය රුසියාව වෙත ගෙන යාමට අවශ්‍ය කටයුතු සලසන බව ඇල්ල පොලිස්ථානයේ නිළධාරින් වැඩිදුරටත් පැවසුවා.
+
උත්සව සමයේ වෙළඳපොළේ සිදුවන අක්‍රමිකතා මැඩලන්න සිදු කළ වැටලීම්
(10.04.2023 – 20:40 +0530 – hirunews.lk/sinhala)
උත්සව සමයේ වෙළඳපොළේ අලෙවි කරන භාණ්ඩ බහුතරයක සටහන් කර ඇති බර සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පෙන්වා දෙන්නේ, බේකරි නිෂ්පාදන ඇතුළු පෙර ඇසුරුම් කළ භාණ්ඩ සහ ඇතැම් සහල් ඇසුරුම්වල බර සම්බන්ධයෙන් වැඩි වශයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් අඛණ්ඩව වැටලීම් කරන බවයි.
උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා තබා ගැනීම හා විකිණීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලු වංචාවලට සම්බන්ධ වෙළෙඳුන් 1,500 කට ආසන්න පිරිසකට එරෙහිව නඩු පවරා ඇති බව ද, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වැටලීම් අතරතුර සිය භාරයට ගන්නා බිත්තර, රජයේ පාලන මිල යටතේ ජනතාවට අලෙවි කිරීමට පියවර ගෙන බවයි.
භාණ්ඩ මිල දී ගැනීමේ දී පාරිභෝගිකයින්ට සිදුවන අකටයුතුකම් වැළැක්වීම සඳහා උත්සව සමයේ විශේෂ කණ්ඩායම් යොදවා ඇති අතර නිවාඩු දිනවල දී සහ රාත්‍රී කාලයේ දී ද නිලධාරින් රාජකාරියේ යෙදවීමට පියවර ගෙන ඇති බව,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
මේ අතර අලුත් අවුරුදු සමයට සමගාමීව සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි දිවයින පුරා ආපනශාලා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.
+
‘ඉන්ෆ්ලුවෙන්සා’ වේගයෙන් ව්‍යාප්ත වෙයි – ප්‍රවේශම් වෙන්නේ මෙහෙමයි
(10.04.2023 – 22:19 +0530 – hirunews.lk/sinhala)
‘ඉන්ෆ්ලුවෙන්සා’ උණ රෝගය යළිත් දිවයින පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ ගර්භණී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.
මෙම රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශ පේශි වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වය බව විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන පවසනවා.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිර යාමේ අවදානමක් මතුව තිබෙනවා.
මේ වසරේ ගත වූ මාස තුනහමාරක (3½) කාලය තුළ පමණක් මී උණ හේතුවෙන් මරණ 15 ක් සිදුව ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළා.
+
විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයින් පිරිසකට අත් වූ ඛේදජනක ඉරණම
(10.04.2023 – 22:23 +0530 – hirunews.lk/sinhala)
සෞදි රාජ්‍යයේ රැකියා දෙන බව පවසමින් රැගෙන ගොස් අද අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී සිටින පිරිසක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා.
මේ වන විට සිය ජීවිතය ජය ගැනීමේ අරමුණින් සෞදි රාජ්‍ය බලා පිටත්ව ගොස් එරට ගොඩනැගිල්ලකට සීමා වී, යන එනමං නොමැතිව සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 57 ක්.
මොවුන් පෙන්වා දෙන්නේ, වැල්ලවත්තේ පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයකින් තමන් රවටා මෙලෙස සෞදි රාජ්‍ය බලා පිටත් කළේ රැකියාවක්, නවාතැන් පහසුකම් සහ ආහාර පානාදිය සපයා දෙන බවට වූ පොරොන්දුව මත බවයි.
එහෙත් අද ඔවුන්ට විඳීමට සිදුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක්.
ඔවුන් පවසන්නේ, තමන් සිටින ගොඩනැගිල්ලේ පහළ කොටසේ ඇති අවන්හලකින් ඉවත දමන ආහාර පානාදියෙන් කුසා පුරවා ගැනීමට මොවුන්ට සිදුව ඇති බවයි.
+
කොළඹ වරායෙන් විදේශ ගත වීමට නැවකට නැගි තරුණයින් පිරිසක් අත්අඩංගුවට
(10.04.2023 – 23:14 +0530 – hirunews.lk/sinhala)
කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ පැනමා රාජ්‍යයට අයත් නෞකාවට අනවසරෙන් ඇතුළු වී විදෙස් ගතවීමට උත්සාහ කරන ලද තරුණයින් 4 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෞකාව යාත්‍රා කරමින් සිටිය දී එහි කාර්ය මණ්ඩලය විසින් මෙම පිරිස නෞකාවේ සේවකයන් නොවන බවට හදුනාගැනීමත් සමඟයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුව ආගමන විගමන නිළධාරීන් අද (10) පස්වරුවේ නෞකාවට ගොඩවී සැකකරුවන් සිය භාරය ගැනීමෙන් පසු ගාල්ල වරාය පොලිසියට භාර දී තිබෙනවා.
යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස පසුගිය 26 වැනිදා නෞකාවට ගොඩවන්නට ඇති බවටයි සැක කරනු ලබන්නේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴