වසරේ විශාලතම සත්ත්ව ඝාතකාගාරය රිදීයගම සෆාරි – උද්‍යාන භාර පශු වෛද්‍ය
වසරේ විශාලතම සත්ත්ව ඝාතකාගාරය රිදීයගම සෆාරි – උද්‍යාන භාර පශු වෛද්‍ය
(09.04.2023 – 19:52 +0530 – hirunews.lk/sinhala)
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ සිටින සතුන් ඝාතනය කර මස් පිණිස අලෙවිකරන බවට පළවන වාර්තා සත්‍ය බව ‘රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය’ පවසනවා.
ඒ පිළිබඳව අනාවරණය කළ සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක්ද ලබා දී ඇති බවයි එම සංගමය අනාවරණය කළේ.
එමෙන්ම සතුන්ට ලබාදීමට නියමිත පළතුරු යොදාගනිමින් උද්‍යානයේ ඇතැම් සේවකයින් වෙනත් නීතිවිරෝධි ක්‍රියා සිදුකරන බවටයි උද්‍යානය භාර පශූ වෛද්‍ය නිලධාරිවරයා චෝදනා කර තිබුණේ.
කෙසේ වෙතත් බලධාරින් ඒ පිළිබඳ විමර්ශන සිදු කරනවා වෙනුවට එම තොරතුරු අනාවරණ කළ පශූ වෛද්‍ය නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදීම විරෝධය පළකරන බවයි ‘රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ’ ලේකම් නුවන් හේවාගමගේ සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රිදියගම සෆාරි උද්‍යානයේ බලධාරින්ගෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සතුන් ඝාතනය කිරීම සහ සෆාරි උද්‍යානයේ සේවය කරන නිලධාරින් සම්බන්ධ නොවන බවයි.
අනවසරෙන් සෆාරි උද්‍යානයට ඇතුළුවන පුද්ගලයින් සතුන් ඝාතනය කරන බවද එම ප්‍රකාශකයා කියා සිටියා.
+
ගෙවුණු දින පහට (5) රිය අනතුරුවලින් 25 දෙනෙක් මරුට
(09.04.2023 – 15:06 +0530 – hirunews.lk/sinhala)
ගෙවුණු දින පහක (5) කාලය තුළදී පමණක් සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ගෙවුණු දින 05 දී රිය අනතුරු 270 ක් සිදුව ඇති බවයි.
උත්සව සමයත් සමඟ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴
සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට
(09.04.2023 – 16:14 +0530 – hirunews.lk/sinhala)
අරණායක – උස්සාපිටිය, ඇරැව්පොළ ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳ පහරදී ඝාතනය කර තිබෙනවා.
මියගිය කාන්තාව එක්දරු මවක් වන අතර පෞද්ගලික ආරවුලක් මත ඊයේ (08) රාත්‍රියේ නිවසේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පහරදීම සිදුකළ සැමියා අද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴
සැකකරුවෙකු නොමැති ගංජා තොගයක් අත්අඩංගුවට
(09.04.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)
යාල රක්ෂිතයේ ගෝනගංආර, දිවුලන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (08) පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකා බුත්තල කඳවුරේ නිලධාරීන් විසින් කල මෙහෙයුමක දී ගංජා තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරු මත ඩ්‍රෝන කැමරාවක් භාවිතා කරමින් ඊයේ (08) උදෑසන කරන ලද නිරීක්ෂණයකින් අනතුරුව මෙම වැටලීම සිදුකළ බව පොලිසිය සඳහන් කරනවා.
කෙසේ නමුත් මෙම වැටලීම සිදුවන අවස්ථාවේ දී සැකකරුවෙකු නොමැතිව පොහොර බෑග් 07 ක සඟවා තිබූ වියලි ගංජා 122 Kg ප්‍රමාණයක් සහ බෙහෙත් කොටන ගිනි අවියක් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන පොලිසිය වෙත බාර දී තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගෝනගංආර පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා
(09.04.2023 – 17:13 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා ගැනීමට සඳහා වන ද්විපාර්ශ්වික එකඟතාවන් රැසකට පැමිණීමට හැකියාව ලැබුණු බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ජපානයේ නිල සංචාරයක නිරත වන විදේශ රැකියා අමාත්‍යවරයා ජපානයේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි මෙම එකඟතාවන්ට පැමිණ ඇත්තේ.
ඒ අනුව ගොඩනැගිලි නඩත්තු කිරීම් සහ පිරිසිදු කිරීම් අංශයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට එම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබෙනවා ෴
රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුමක්
(09.04.2023 – 17:29 +0530 – hirunews.lk/sinhala)
75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ග වල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම උදෙසා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ඩිපෝ වෙත නව බස් රථ භාරදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (09) සිදු කෙරුණා.
මහනුවර දිස්ත්‍රික්කයේ ඩිපෝ 07 ක් වෙත නව බස් රථ 26 ක්, නුවරඑළිය ප්‍රාදේශීය බල ප්‍රදේශයට අයත් ඩිපෝ 07 ක් සඳහා බස් රථ 26 ක් මෙන්ම ඌව ප්‍රදේශයේ ඩිපෝ 09 ක් වෙත බස්රථ 28 ක් ද මෙම අවස්ථාවේ දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙනු ලැබුවා.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන පක්ෂ පාට ආදී බලපෑම් වලින් තොරව අවශ්‍ය තනතුරුවලට සුදුසු වෘත්තිකයින් පත් කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත්, ඒ අනුව රජය මත නොයැපෙන ආයතනයක් බවට ලංගම පත් කිරීමේ සැලසුම් රැසක් මේ වන විට ක්‍රියාවට නංවා තිබෙන බවයි.
එමෙන්ම 2025 වසර වන විට ස්වයං යැපුම් මට්ටමක් දක්වා ලංකා ගමනාගමන මණ්ඩලය පත්කිරිමේ තමාගේ ඉලක්කයට සැමදෙනාම දායක විය යුතු බවත් ඔහු එහිදී සඳහන් කලා.
රජයෙන් බඩු මිල බැස්සුවත් ඒ මිලට වෙළෙඳපොලේ බඩු නැහැ – පාරිභෝගිකයින්
(09.04.2023 – 18:01 +0530 – hirunews.lk/sinhala)
රජය විසින් භාණ්ඩ මිල අඩු වූ බවට ප්‍රකාශ කළ ද වෙළදපොළේ එළවලු හැරෙන්නට වෙනත් කිසිදු භාණ්ඩයක මිල තවමත් අඩු වී නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
මේ අතර වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන පුද්ගලයින් සොයා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අනුව අද (09) කොළඹ සුපිරි වෙළඳසැල් 05 ක් ඇතුළු තවත් වෙළඳසැල් 15 කට නීතිමය පියවර ගැනුණා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් දින 05 ක පමණ කාලයක්.
එබැවින් ජනතාව සිය අවශ්‍යතාවයන් ඉෂ්ඨකර ගැනීම සඳහා නගරය වෙත වැඩි වශයෙන් පැමිණෙන අතර ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සළසා දීම සඳහා රජය මේ වන විට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුවයි පාරිභෝගික ජනතාව රවටා වැඩිමිලට භාණ්ඩ අලෙවිකරන පුද්ගලයින් සොයා වැටලීම් ක්‍රියාත්මක කර ඇත්තේ.
එමෙන්ම උත්සව කාල සීමාවත් සමඟ වෙළඳපළේ ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.
ඒ පාරිභෝගික ජනතාව මුලාවට පත්කරමින් ප්‍රමිතියෙන් තොර තරාදි වැනි කිරුම් මිනුම් උපකරණ භාවිතකරන බවට ලද පැමිණිලි අනුවයි.
ඒ අනුව 011 218 2253 යන අංකයට අමතා එම උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක සුජීව අකුරන්තිලක මෙලෙස කරුණු පැහැදිලි කළා.
ඒ අනුව අද දින ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් සිදුකළා ෴
උත්සව සමය එළැඹෙත් ම රිය අනතුරුවල වැඩිවීමක්
(09.04.2023 – 18:03 +0530 – hirunews.lk/sinhala)
උත්සව සමය එළැඹීමත් සමඟ සිදුවන රිය අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.
ගෙවුණු දින පහක (5) කාලය තුළදී පමණක් එවැනි අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ.
එමෙන්ම ගෙවුණු දින 05 දී රිය අනතුරු 270 ක් සිදුව තිබෙනවා.
මේ අතර පසුගිය කාල සීමාව තුළදී පාසල් යන වයසේ පසුවන ළමයින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ අනතුරුවල ද ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴
ඉන්ධන පිරවුම්හල්වලින් බලශක්ති ඇමති වෙත ඉල්ලීමක්
(09.04.2023 – 18:09 +0530 – hirunews.lk/sinhala)
කිව්.ආර්. කේතයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් ඉන්ධන අලෙවිකිරීම අත්හිටවූ පිරවුම්හල් 40 ක් විසින් එම තහනම ඉවත්කරන ලෙස ඉල්ලා ඇති බව විදුලිබල හා බලශක්ති අමත්‍යංශය ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් තවමත් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, අලෙවිය අත්හිටුවීමේ නියෝගය ඉවත්කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.
එහෙත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම පිරවුම්හල් 40 සඳහා ඉන්ධන අලෙවියට යළි අවස්ථාව ලබාදීම පිළිබඳ සළකා බලමින් සිටින බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.
කිව්.ආර්. කේතයෙන් බැහැරව දිගින් දිගටම ඉන්ධන අලෙවිකිරීම හේතුවෙන් පසුගිය 06 වනදා සිට මෙම පිරවුම්හල්වල ඉන්ධන අලෙවිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.
මෙම ඉන්ධන අලෙවිය අත්හිටුවීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ හිරු ප්රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා ෴
කුඩා පුතුට හුස්ම දෙන්න ඔබට හැකි නම් එක්වන්න – ඥාතීන්ගෙන් ඉල්ලීමක්
(09.04.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)
අම්බලන්ගොඩ – මානම්පිට ප්‍රදේශයේ පදිංචි පුංචි සිඟිත්තෙකුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් වකුගඩුවක් අත්‍යවශ්‍ය වී තිබෙනවා.
මේ වනවිට (09) කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අවුරුදු 2 යි මාස 8 ක් වයසැති මෙම සිඟිත්තාගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය ව ඇත්තේ A Positive වර්ගයේ වකුගඩුවක් බවයි දරුවාගේ ඥාතීන් සඳහන් කළේ.
දරුවාගේ වකුගඩු දෙකම (2) මේ වනවිට අකර්මණ්‍යව පවතින බැවින් ඒ වෙනුවෙන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙකු වේ නම්, පහත සඳහන් දූරකථන අංක අමතා එම සහාය ලබාදිය හැකියි.
එම දූරකථන අංක වන්නේ 077 738 4760 හෝ 078 502 6531 යන අංකයි ෴
මහවැලියට පාසල් සිසුවෙක් බිලිවෙයි
(09.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)
මහවැලි ගඟෙහි දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියෙහි ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (09) පස්වරුවේදී මෙම ශිෂ්‍යයා තවත් මිතුරන් තිදෙනකු (3) සමග දියනෑමට මහවැලි ගඟට බැස ඇත්තේ පොල්ගොල්ල වේල්ල අසලින් බවයි වාර්තා වන්නේ.
මොවුන් පොල්ගොල්ල වේල්ලට මීටර් 300 කින් පහළින් ගලා බසින මහවැලියට බැස දිය නාමින් සිටියදියි ඉන් සිසුන් දෙදෙනකු (2) දියෙහි ගිලී ඇත්තේ.
දියේ ගිලුණු සිසුන් දෙදෙනාව (2) ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන් බේරාගෙන මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේ දී එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළා.
දියේ ගිලී ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 17 හැවිරිදි මහනුවර – නිත්තවල ප්‍රදේශයේ ජීවත්වන කටුගස්තොට සහිරා විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.
දියෙහි ගිලුණු 13 හැවිරිදි අනෙක් සිසුවා මේ වනවිට රෝහල්ගත කර ඇති බවටත් වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴
පුත්තලම් කළපුවට ආ ඩොල්ෆීන්
(09.04.2023 – 20:45 +0530 – hirunews.lk/sinhala)
පාරිසරික හේතූන් මත මේ වනවිට වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති ඩොල්ෆීන් මත්ස්‍යයෙකු පුත්තලම කළපු තීරයට පැමිණ තිබෙනවා.
අද (09) පස්වරුවේ මෙම ඩොල්ෆීන් මත්ස්‍යයා කළපු තීරයේ සිටින බව දැක ඇත්තේ ධීවරයින් පිරිසක්.
මෙම ඩොල්ෆීන් මත්ස්‍යයා හම්බැක් වර්ගයේ වන අතර දිගින් අඩි 07 කට වැඩි යි.
කෙසේවෙතත් පුත්තලම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ඉලන්තඩිය වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව යාත්‍රා උපයෝගී කරගනිමින් මෙම ඩොල්ෆීන් මත්ස්‍යයා ආරක්ෂිතව දියඹට මුදා හැරීමට කටයුතු කෙරුණා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴