වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ


වහාම ක්‍රියාත්මක වන පරිදි නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කෙරේ

(09.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට රෝහල්වල සැත්කම් සඳහා භාවිත කෙරෙන නිර්වින්දන ඖෂධයක් භාවිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ, ප්‍රමිතියෙන් තොර බවට ඉදිරිපත්වූ පැමිණිලිවලට අනුවයි.

ඒ අනුව මෙම එන්නත සම්බන්ධයෙන් විශේෂඥ සහය ලබාගනිමින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

කාණ්ඩ 3 ක් යටතේ අදාළ ඖෂධය භාවිත කිරීම තාවකාලිකව නවතා දමා ඇති බවයි වාර්තාවන්නේ.

මෙම නිර්වින්දන ඖෂධය ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබී ඇති අතර, එරට ඖෂධ සමාගමක් විසින් එය ශ්‍රී ලංකාවට එවා තිබුණා.

වෛද්‍ය සැපයුම් අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ මෙම නිර්වින්දන ඖෂධය නිසි පරීක්ෂාවකින් අනතුරුව මෙරට ගෙන්වූයේ දැයි යන්න පිළිබඳව සොයා බලන බවයි.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකින් අනතුරුව මියගිය 26 හැවිරිදි ගර්භනී මවට ලබාදී ඇත්තේ ඉන්දියාවෙන් ගෙන්වන ලද නිර්වින්දන ඖෂධයක් බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේෂ් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඇය නිර්වින්දනය කිරීම සඳහා භාවිත කර ඇත්තේ ‘බිපුවැකෙයින් හෙවි’ නම් ඖෂධයක් බවයි.

පසුගිය 06 වැනිදා, 26 හැවිරිදි ගර්භනී මාතාවට දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමේ දී මෙම ඖෂධය ලබා දී තිබුණා.

කෙසේ වෙතත් මහනුවර – ගන්නොරුව ප්‍රදේශයේ පදිංචි ගර්භනී මාතාව මියගිය ද ඇයගේ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් සිදුකළ විමසීමක දී සඳහන් කළේ.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ ශල්‍යකර්මය හෝ නිර්වින්දන ඖෂධවල සංකූලතා හේතුවෙන් මියගිය බවට පළවූ ඇතැම් වාර්තා සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.

පසුගිය කාලසීමාව තුළ ඉන්දියාවෙන් ගෙන්වන ලද තත්ත්වයෙන් බාල ඖෂධ සහ මෙරට ඖෂධ නියාමන අධිකාරියේ නිසි ප්‍රමිතිගත රසායනාගාර පරීක්ෂණවලින් තොරව අදාළ සමාගම්වල ලිපිගොනු පරීක්ෂාවෙන් පමණක් නිදහස් කිරීමට එම අධිකාරිය ගනු ලැබූ ක්‍රියාමාර්ග හෙළා දකින බව ද එම වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙනවා.


වැලිගම දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(09.04.2023 – 11:58 +0530 – hirunews.lk/sinhala)

වැලිගම නගරයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමක දී නීති විරෝධී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 4360 ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1660 ක් සහ මුදලින් රුපියල් 42,000 ක් සමග සැකකරුවෙකු ඊයේ (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පවසනවා.

වැලිගම නගර ආශ්‍රිතව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘චුට්ටෙ’ නැමැති අන්වර්ත නාමයෙන් හඳුන්වන වයස 50 ක පමණ පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුව සැකකරුව වැලිගම පොලිසිය වෙත භාර දී ඇති අතර ඔහු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිතාවක ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදන්

(09.04.2023 – 12:05 +0530 – hirunews.lk/sinhala)

අවිස්සාවේල්ල, ඉහල තල්දූව ප්‍රදේශයේ දී සිතාවක ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ(08) අතුරුදහන් වී තිබෙනවා.

අතුරුදහන් වූ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් පැමිණ ඇති බවත්, එසේ පැමිණි පිරිස සමඟ දිය නාමින් සිටි අවස්ථාවේ දී, මෙලෙස දියේ ගිලී අතුරුදන් වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කරනවා.

මෙම පුද්ගලයා වසය අවුරුදු 21 ක් වන අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික කොට්ඨාශයේ සහය ඇතිව අවිස්සාවේල්ල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴


යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(09.04.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය, ඔබේසේකරපුර, ගජබාපුර ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රියේ යතුරු පැදි දෙකක් (2) එකට ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

එම යතුරුපැදි ධාවනය කල දෙදෙනා (2) සහ එක් (1) යතුරුපැදියක පසුපස ගමන් ගත් අයෙක් මෙම අනතුරෙන් රෝහල් ගත කර තිබෙනවා.

එහිදී අනතු‍රින් බරපතල තුවාල ලැබූ එක් (1) පැදිකරුවෙක් කොළඹ ජාතික රෝහලේ දී ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලීසිය ප්‍රකාශ කරනවා.

මෙම අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 20 ක් වන උඩුමුල්ල පාර, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් ෴


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවනතුරු සටන් කරන බව කොළඹ අගරදගුරු හිමිපාණන් පවසයි

(09.04.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවනතුරු සටන් කරන බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ පැවති දේව මෙහෙයට එක්වෙමින්.

කුරුසිය මත සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, මරණය සහ උත්ඨානය සිහිපත් කරමින් ලෝකවාසී කිතුන් ජනතාව මහත් බැතියෙන් පාස්කු ඉරිදා දිනය අද (09) සමරනු ලබන්නේ මීට සිව් (4) වසරකට පෙර එල්ලවූ පාස්කු ප්‍රහාරයේ ශෝචනීය මතකයන් ද සමඟයි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේ දී මෙරට කළු පැල්ලමක් ඉතිරි කරමින් කිතුනු දේවස්ථාන තුනක් (3) ඇතුලු ස්ථාන අට (8) කට බෝම්බ ප්‍රහාර එල්ලවුණා.

ඒ අනුව මෙවරද පාස්කු ඉරුදින වෙනුවෙන් දිවයින පුරා පිහිටි දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව – කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

+

+


අලුත් අවුරුදු දුරගමන් බස් රථවල ගාස්තු වැඩි බවට මගීන්ගෙන් චෝදනා

(09.04.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

අඩුවූ ගාස්තුව ලබා නොදෙමින් අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවගෙන් බස් රථ සේවකයන් වැඩි ගාස්තු අය කරන බවට චෝදනා එල්ලවනවා.

මගීන් පවසන්නේ විවිධ හේතු දක්වමින් මෙලෙස වැඩි ගාස්තු අය කරන බවයි.

කෙසේ වෙතත් ‘ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන්’ අප මේ පිළිබඳව විමසීමක් කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අතිරේක සේවා සපයන්නේ නම් වැඩි ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි.

එය මීට පෙරද සිදුව ඇති බව ඔහු සඳහන් කළා.

‘ජාතික ගමනාගමන කොමිසන් සභාව’ පවසන්නේ වැඩි ගාස්තු අය කරන බස් රථ වැටලීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක බවයි.

කිසියම් පැමිණිල්ලක් වෙතොත් ගමනාගමන කොමිසන් සභාවේ 1955 කෙටි දුරකථන අංකයට එම තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ අතර ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ, මහනුවර ප්‍රදේශයේ දී අදහස් දක්වමින් ෴


සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

(09.04.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට අලෙවි කරන බිත්තර වැටලීම් නවතා දමන ලෙස නිෂ්පාදකයන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යේෂ්ඨ උපදේශක මාතලී ජයසේකර මේ බව කියා සිටියේ කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

+


මෙරට අක්කරයකට ලැබුණු ඉහළම වී අස්වැන්න අම්බලන්තොටින්

(09.04.2023 – 14:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට වී අක්කරයකට ලැබුණු ඉහළම වී අස්වනු ප්‍රමාණය වාර්තා කිරීමට අම්බලන්තොට ප්‍රදේශයේ ගොවීන් හතරදෙනෙකු (4) සමත්ව තිබෙනවා.

බතලේගොඩ වී පර්යේෂණායතනය විසින් නිකුත් කළ වාර්තාවකින් මේ බව අනාවරණ කර ඇති අතර, ඒ අනුව ගොවීන් තුන්දෙනෙකු (3) අක්කරයකට කිලෝග්‍රෑම් 4,500 ක් බැගින් වී අස්වැන්නක් ලබාගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ.

අනෙක් අස්වැන්න අක්කරයකට වී කිලෝග්‍රෑම් 4,000 කට ආසන්නයි.

මොවුන් අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් හඳුන්වා දී තිබෙන ඒ.ටී. 362 නැමති වී ප්‍රභේදය වගා කර තිබුණා ෴


ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳ දැනුම් දීමට විශේෂිත දුරකථන අංකයක්

(09.04.2023 – 15:01 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපළේ ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ පිළිබඳව දැනුම් දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

උත්සව සමයත් සමඟ පාරිභෝගික ජනතාව මුලාවට පත්කරමින් ප්‍රමිතියෙන් තොර තරාදි වැනි කිරුම් මිනුම් උපකරණ භාවිතකරන බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.

ඒ අනුව 011 218 2253 යන අංකයට අමතා එම උපකරණ සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *