සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි

සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි


සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙක් එක් (1) අයෙකු මරුට – 8 කට තුවාලයි

(08.04.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජීප් රථයක් මාතලේ – තොටගමුව වෙල්යාය අසළ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් එක් (1) අයෙකු මියගොස් අටදෙනෙකු (8) තුවාල ලබා තිබෙනවා.

අද (08) අලුයම සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි තොටගමුව පළාපත්වල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මෙම සිසුන් ඊයේ (07) රාත්‍රියේ පලාපත්වල ප්‍රදේශයේ හෝටලයක පැවති සුහද හමුවකට ගොස් යළි පැමිණෙමින් සිටියදියි මෙම අනතුරට මුහුණ දී ඇත්තේ ෴

++++++++

(08.04.2023 – facebook.com/accident1stofficial/)

මාතලේ ප්‍රදේශයේ පාසලක 2022 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනීසිටි සිසුන් පිරිසක්, පලාපත්වල ප්‍රදේශයේ පිහිටි හෝටලයක සංවිධානය කර තිබූ සුහද හමුවක් අවසානයේ ආපසු එමින් සිටිදී තොටගමුව වෙල්යාය අසලදී ඔවුන් ගමන්කල රථය රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අද (08) අලුයම සිදුවු අනතුරකින් එක් (1) තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයන් 09 දෙනෙකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළත් කෙරුනා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තොටගමුව වත්ත, පලාපත්වල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

+


තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාවක් මරුට

(08.04.2023 – 09:46 +0530 – hirunews.lk/sinhala)

තියුණු ආයුධයකින් පහරදීමෙන් අද (08) අලුයම ඉපලෝගම ප්‍රදේශයෙ දී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉපලෝගම හිරිපිටියාගම පුදේශයේ පදිංචිව සිටි සමන්තිකා අධිකාරි නම් වූ 46 හැරිදි දෙදරු මවක්.

ඇගේ සැමියා සමඟ ඇතිවු පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

රැකියාවක නිරතව සිටින බිරිය අද (08) අලුයම 05:30 ට පමණ රැකියාව සදහා පිටත්වීමට තලාව කැකිරාව ප්‍රධාන මාර්ගයට පැමිණෙමින් සිටිය දී සැමියා විසින් ඇයට තියුණු ආයාධයකින් පහර දී ඝාතනය කර ඇතැයි මෙතෙක් සිදුකළ පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

බිරියගේ ඝාතනයෙන් පසු සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මේ වනවිට පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

මියගිය කාන්තාවගේ සිරුර මේ වනවිට කැකිරාව මූලික රෝහලේ තැන්පත්කර තිබෙනවා ෴


හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට පහරදුන් සැකකරු අත්අඩංගුවට

(08.04.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳට උල් ආයුධයකින් ඇණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

බේරුවල – හෙට්ටිමුල්ල මංසන්ධියේ වෙළඳසැලක් පවත්වාගෙන යන මෙම කාන්තාවට උල් ආයුධයකින් ඇණ තිබුණේ ඊයේ (07) පස්වරුවේයි.

සිද්ධියෙන් පැය දෙකකට (2) පසු පොලිසිය සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා ෴


‘හරක් කටා’ගේ සහ ‘කුඩු චූටි’ගේ ගෝලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(08.04.2023 – 11:03 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් වන ‘නදුන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ගේ සහ ‘මිදිගම කුඩු චූටි’ගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ සහයකයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිදිගම – සුනාමි හන්දිය අසල දී හෙරොයින් ග්‍රෑම් 16 යි මිලි ග්‍රෑම් 200 ක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව 2017 වසරේ පාතේගම ප්‍රදේශයේ ඝාතන සිද්ධියක් ඇතුලු මනුෂ්‍ය ඝාතන චෝදනා රැසක් එල්ලවී ඇති අතර, පුද්ගලයන් පැහැරගැනීම සහ පහරදීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

+


හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සිදුකළ වැටලීම්වලින් ආයතන 19 කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනේ

(08.04.2023 – 11:44 +0530 – hirunews.lk/sinhala)

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ සිදු කළ හදිසි වැටලීම්වලින් ආයතන 19 කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් තවත් ස්ථාන 9 කට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

ළඟ එන උත්සව සමය හා ආහාර සෞඛ්‍ය සතිය නිමිතිකොටගෙන හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් හබරාදුව, උණවටුන, අහංගම, කොග්ගල, තල්පේ, ආදි ප්‍රදේශවල විශේෂ වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී සෞඛ්‍ය මාර්ග උපදේශයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ බේකරි නිශ්පාදන ආයතන පහකට (5) සහ හෝටල්, තොග සහ සිල්ලර වෙළඳසැල්, ඇතුළු ස්ථාන 19 සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවයි හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

එමෙන්ම එහිදී තවත් ස්ථාන නමයකට දැඩි ලෙස අවවාද සිදු කොට එම ස්ථාන සඳහා රතු නිවේදන නිකුත් කිරීමටත් පියවර ගෙන තිබුණා.

මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග ලබාගත් ස්ථාන සඳහා නැවත ඒවා නිවැරදි කොට අධිකරණ ක්‍රියාමාර්ග මත නැවත එම ස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කෙරෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම වැටලීම්වල දී අය කරගෙන ඇති දඩ මුදල රුපියල් 14,22,000 කට ආසන්න බව ද වාර්තා වෙනවා‍.

+++++++++

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන අලෙවි කළොත් වැඩ වරදියි

(08.04.2023 – 18:11 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය ආසන්නයේ දී බේකරි ආහාර නිෂ්පාදනය කෙරෙන ආපණශාලා සහ හෝටල්වල සිදු කරන ලද පරීක්ෂාවක දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාරපාන පිළියෙළ කිරීමේ වරදට හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ආහාර අලෙවිසැල් 19 කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ආහාර අලෙවි කරන ස්ථාන 09 කට ඉන් ‍’රතු නිවේදන’ නිකුත් කරනු ලැබූ බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් මෙම වෙළෙඳසැල්වල ආහාරපාන පිළියෙළ කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසුවේ.

මෙම වෙළෙඳසැල්වලට පැනවූ දඩ මුදල රුපියල් 1,422,000 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

කොග්ගල, තල්පේ, උණවටුන, අහංගම ආදී ස්ථානවල ඇති වෙළෙඳසැල්වලයි මෙම හදිසි වැටලීම සිදු කෙරුණේ.

මේ අතර අද (08) පස්වරුව වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් බිත්තර සම්බන්ධව වැටලීම් 41 ක් දිවයින පුරා සිදු කර තිබෙනවා.

මෙම වැටලීම් අතර බිත්තර වැඩි මිලට අලෙවි කිරීම සහ තොග සඟවා ගැනීම සම්බන්ධව ද වැටලීම් ඇතුළත්.

එම වැටලීම්වල දී මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශවල බිත්තර තොග බෙදාහරින ආයතන දෙකක් (2) ද වැටලීමට ලක් කර ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත ඔවුන්ට බිත්තර වැඩි මිලට සැපයූ කුරුණෑගල ප්‍රදේශයේ ගොවිපල හිමියන්ට විරුද්ධව ද නඩු පැවරීමට නියමිත බවයි වාර්තා වන්නේ ෴


‘හෙඩ්සෙට්’ භාවිතයෙන් තරුණ ප්‍රජාවට ශ්‍රවණාබාධ

(08.04.2023 – 12:33 +0530 – hirunews.lk/sinhala)

අධික ශබ්දයෙන් යුතු ශ්‍රවණ උපකරණ භාවිතයෙන් තරුණ පිරිස් ශ්‍රවණාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බව උගුර, කණ, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය පවසනවා.

ජංගම දුරකථන සහ සංගීතය නිකුත් වන උපකරණ භාවිතයේ දී පැහැදිළිව සවන් දීම සඳහා ශ්‍රවණ උපකරණ උපයෝගී කරගැනීම බහුලව දක්නට ලැබෙන ඇය පාලනයක් සහිතව එම උපකරණ භාවිත කිරීම යෝග්‍ය බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ඇතමුන් කන් පිරිසිදු කිරීම සඳහා විවිධ උපකරණ භාවිත කිරීම හේතුවෙන් කණ අභ්‍යන්තරයට හානි සිදුවිය හැකි බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴


මෙරට දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 932.48 ක් පරිසරයට මුදා හැරේ

(08.04.2023 – 12:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුල දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 932.48 පමණ පරිසරයට මුදා හැරෙන බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒවායින් මෙට්‍රික් ටොන් 300.30 පමණ එකතු කෙරෙන අතර ඉතිරි මෙට්‍රික් ටොන් 632.18 ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පරිසරයට බැහැර වන බවටයි වාර්තා වන්නේ.

එලෙස පරිසරයට මුදා හැරෙන ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 419.47 ක් විවෘත දහනය සිදු කෙරෙන අතර මෙයින් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමුවන්නේ මෙට්‍රික් ටොන් 38.48 පමණ ප්‍රමාණයක් බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ ප්‍රතිචක්‍රියකරණ ආයතනවලට අවශ්‍ය පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නොලැබීමයි.

ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා දිවයින පුරා ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කරන ස්ථාන ස්ථාපිත කිරීමටත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාලය ශක්තිමත් කිරීමටත් කටයුතු කෙරෙමින් පවතිනවා.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නිෂ්පාදකයා වගකීය යුතු වන පරිදි නීති සහ රෙගුලාසි ගෙන එන බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

මේ අතර, ජුනි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් ඊයේ (07) නිකුත් කළා.

ඒ අනුව, ප්ලාස්ටික්වලින් තැනූ බීම බට , පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ ප්ලාස්ටික් පිහි ආදිය ආනයනය කිරීම තහනම් වනු ඇති ෴


ත්‍රස්ත පනත ඉවත් කරන ලෙස ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය, ආණ්ඩුවෙන් ඉල්ලයි

(08.04.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රජය ගෙන ඒමට සූදානම් වන ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගත යුතු බවට හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරනවා.

වාර්තාවක් නිකුත් කරමින් එම සංවිධානය පැවසුවේ, මෙම පනත් කෙටුම්පත මගින් මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලබා දෙන බවයි.

ඒ අනුව, එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා – එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් පාර්ශවයන් කිහිපයකින් ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම කල් දැමීමට ලක් රජය මේ වනවිටත් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයද ඉල්ලා තිබුණේ ඒ සම්බන්ධයෙන් නිවැරදි සංවාදයක් සිදුකර පනත් කෙටුම්පත ඉදිරිපත් කළ යුතු බවයි.

+

+


අලුත් අවුරුදු සමයේ දී ගිනිකෙළි මිල 40% කින් ඉහළට

(08.04.2023 – 12:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දෙසැම්බර් උත්සව සමයට සාපේක්ෂව මෙම අලුත් අවුරුදු සමයේදී ගිනිකෙළි මිල 40% කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගිකයින් පවසන්නේ, වෙළෙඳපොළේ සෙසු ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ඇතුළු භාණ්ඩ මිලද සැළකිය යුතු ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර වෙළෙඳපොළ තුළ සෑම භාණ්ඩයකම මිල දෙසැම්බර් මාසයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති අතර, පාරිභෝගික ජනතාව පවසන්නේ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත්ව ඇතත් එහි වාසිය තමන්ට නොලැබෙන බවයි.

එමෙන්ම, ඉන්ධන මිල පහළ දැමුව ද කිසිදු භාණ්ඩයක හෝ සේවාවක මිල ඊට සමගාමීව පහළ ගොස් නොමැති බව ඔවුන් පෙන්වා දෙන්නේ.

+


තේ කෝප්පයක් විෂ වී වෛද්‍යවරයෙකු රෝහල්ගත වෙයි

(08.04.2023 – 15:26 +0530 – hirunews.lk/sinhala)

හෙදියක විසින් ලබාදුන් කිරි තේ කොප්පයක් පානය කිරීමෙන් පසුව සිහිසුන් වූ බව පවසමින් වෛද්‍යවරයෙකු රෝහල්ගත වීමේ පුවතක් තංගල්ල මූලික රෝහලෙන් වාර්තා වනවා.

කාරියමඩිත්ත රෝහලට අනුයුක්තව සේවය කරන වෛද්‍යවරයෙකු ඊයේ (07) රාත්‍රි මෙලෙස රෝහල් ගත වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

රාජකාරියේ නිරත වන අතරතුර අදාළ හෙද නිලධාරිනිය විසින් තමාට කිරි තේ කෝප්පයක් ලබා දුන් බවත්, එය පානය කර නිල නිවසට ගිය පසු තමන් සිහිසුන් වූ බවත් එම වෛද්‍යවරයා පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසියට වෛද්‍යවරයා විසින් පැමිණිල්ලක් ද සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

51 හැවිරිදි වියේ පසුවන අදාළ වෛද්‍යවරයා කොළඹ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෛද්‍ය නිල නිවාසයේ තනිව ජීවත්ව ඇති බව සඳහන් ෴


ආනයනික දෙවන (2) බිත්තර තොගයත් වෙළෙඳපොළට මුදා හැරීමට අනුමැතිය

(08.04.2023 – 16:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර ලක්ෂ 20 ක දෙවන (2) තොගය වෙළඳපොලට මුදා හැරීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබෙනවා.

සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව ඒ සඳහා අනුමැතිය ලබාදුන් බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල සඳහන් කළේ.

ලක්ෂ 20 ක අදාළ බිත්තර තොගය මෙරටට රැගෙන එනු ලැබුවේ පසුගිය මාර්තු 29 වනදා වන අතර, අනුමැතිය ලබාදීම සඳහා දින 10 ක පමණ කාලයක් ගත වී තිබෙනවා ෴

+++++++

සාම්පල පරීක්ෂාවකින් අනතුරුව වෙළඳපොලට මුදා හැරීම සඳහා අනුමැතිය ලබාදුන් ලක්ෂ 20 ක බිත්තර තොගයේ බෙදා හැරීම් කටයුතු මේ වනවිට (08) ආරම්භ කර තිබෙනවා.

මහා පරිමාණ බේකරි නිෂ්පාදකයන් හා හෝටල් වෙත එම බිත්තර බෙදා හැරීමට රැගෙන යාමට මුතුරාජවෙල පර්යන්තය වෙත පැමිණි ලොරි රථ දැනටමත් බෙදා හැරීම් ආරම්භ කිරීම සඳහා පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, අද (08) කොළඹ වරායට ළගා වූ ආනයනික බිත්තර තොගයක් රැගත් නෞකාවේ ඇති බිත්තර පරික්ෂාව සඳහා සාම්පල ලබාගැනීම අද (08) දිනයේම ආරම්භ කළ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල ප්‍රකාශ කළා.

ඒ අනුව, එලෙස ලබා ගන්නා සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත සහ පේරාදෙණිය පශු වෛද්‍ය කාර්යාලය වෙත යොමු කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *