අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි

අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි


අවසන් තීරණයකට වෘත්තිකයන් හෙට (03) රැස්වෙයි

(02.04.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala)

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන් හෙට (03) රැස්වනවා.

ඒ සඳහා ශිෂ්‍ය සංගම් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ද එක්වීමට නියමිතව ඇති බවයි වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇතත්, ඊට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක කියා සිටියේ ෴


පිරෙන්න තිබුණත් තිත්ත වුණු ජල පිරිපහදුව

(02.04.2023 – 14:20 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්මාන්තය යනු මෙරට ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායයි.

ඵලදායී ව්‍යාපෘති ආරම්භ කර, ඒවා නඩත්තු කරමින් රටට බත සපයන ගොවියාට අතහිත දීම අපේ රටේ බලධාරීන් සතු වගකීමක්.

එහෙත් මහජන මුදල් වැයකරමින් ආරම්භ කළ ඇතැම් අසාර්ථක සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත් ග්‍රාමීය ජනතාව පිළිබඳ තොරතුරු ප්‍රදේශ දෙකකින් (2) අපට වාර්තා වුණා.

අනුරාධපුර, මහකනදරාව ජලාශය කේන්ද්‍ර කරගනිමින් මෙම ජලපිරිපහදු මධ්‍යස්ථානය ඉදිකර සියළු වැඩ කටයුතු අවසන්කර තිබෙනවා.

ඒ ප්‍රදේශය පුරා නිරන්තරයෙන් වාර්තාවන වකුගඩු රෝගයට පවා සෘජු විසඳුමක් ලබාදීමේ අරමුණෙන්.

ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් බිලයන 12 කට අධිකයි.

2012 වර්ෂයේදී මහකනදරා ජලාශයේ රොන් මඩ ඉවත්කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කළේ, මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය යටතේ මහකනදරා ජලාශය හරහා උතුරු පළාතේ ජනතාවට පානීය ජලය සැපයීමේ අරමුණෙන්.

කෙසේවෙතත් මෙම ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ, මේ වන තුරුත් මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හරහා මහකනදරා වැවට ජලය සැපයීමක් සිදුනොවන බවයි.

කුඹුරු අක්කර 7500 කට අධික ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ අස්වැද්දීම අත්‍යාවශ්‍ය බැවින්, උතුරට ජලය සැපයෙන ව්‍යාපෘතිය, මහකනදරා වැවෙන් පමණක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මේ වනවිට තම එකම ජීවනෝපාය වන කෘෂිකර්මාන්තය සිදුකරගැනීමට අවශ්‍ය ජලය පවා, මහකනදරා වැවට ලැබෙන අහස්දියෙන් කළමනාකරණය කරගන්නේ දැඩි අපහසුතාවයෙන් බව ද ගොවීන් පවසනවා.

වැවට ජලය නොමැතිකම හේතුවෙන් මෙන්ම නිලධාරීන්ගේ කල්මැරීමේ ක්‍රියාවෙන් අතරමඟ නැවතී ඇති මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මෙන්ම මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය හරහා මහකනදරාවට ජලය සැපයීම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

මේ 2021 වසරේ වාරී සෞභාග්‍යා වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කළ නවගත්තේගම, මරියාගම ග්‍රාම සේවා වසමේ, මලීගම වැවයි.

රුපියල් කෝටියකට (1,00,00,000) අධික මුදලක් වැයකරමින් ප්‍රතිසංස්කරණය කළ මෙම වැව යටතේ ප්‍රදේශයේ කුඹුරු අක්කර 30 කට අධික ප්‍රමාණයක් අස්වද්දන බවයි ප්‍රදේශවාසී ගොවීන් සඳහන් කළේ.

කෙසේවෙතත් එතරම් මුදලක් වැයකළ ප්‍රතිසංස්කරණය කර ඇතත් මේ වන විට වැව වල් බිහිවෙමින් පවතින අයුරුයි මේ.

ගොවීන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මලීගම වැව ප්‍රතිසංස්කරණය කර තමන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය රැස්කරගැනීමට වැඩපිළිවෙළක් සකසාදෙන ලෙසයි.

+


රත්මලානට ප්‍රවාහන විශ්වවිද්‍යාලයක්

(02.04.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ හා බෙලාරුස් රාජ්‍ය නිල සංචාරයක නිරත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම රටවල ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහාම උපාධි පිරිනැමීම උදෙසා පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නිරීක්ෂණයක නිරත වී ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම දෙරාජ්‍යයන්ගේම පවතින ප්‍රවාහන විශ්වවිද්‍යාලවල දේශීය මෙන්ම විදේශීය සිසුන් ද විශාල ප්‍රමාණයක් ප්‍රවාහන විෂය සම්බන්ධ උපාධි පාඨමාලා හදාරන බව විශ්වවිද්‍යාල බලධාරීන් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව, රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලය හි උපකුලපති මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් ඇතුළු බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකා ජර්මානු දුම්රිය තාක්ෂණික පුහුණු මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීම, ශාස්ත්‍රීය හුවමාරුව, විද්‍යාත්මක පර්යේෂණ, මාර්ගගත දේශන සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහා පුහුණුව වැනි කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු වුණා.

එමෙන්ම ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව කටයුතු කිරීම සඳහා දෙපාර්ශවයෙන්ම නියෝජනය වන ද්විපාර්ශික කමිටුවක් පිහිටුවීමට ද එකඟතාවය පළ වී තිබෙනවා.

රත්මලාන දුම්රිය වැඩබිම් පරිශ්‍රයේ දැනට පවත්වාගෙන යන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය රුසියාවේ හා බෙලාරුස් හි ප්‍රවාහන විශ්වවිද්‍යාල හා ඒකාබද්ධව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ එරට විශ්වවිද්‍යාල බලධාරීන් සමග අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.

උසස් අධ්‍යාපනයට යොමුවන මෙරට සිසුන්ට මෙන්ම මාලදිවයින, නේපාලය ආදී අනෙකුත් දකුණු ආසියාතික රටවල සිසුන්ට ද ප්‍රවාහන ක්ෂේත්‍රයෙන් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙමගින් සලසා දිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

රුසියානු හා බෙලාරුස් ප්‍රවාහන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන්, අධ්‍යාපන බලධාරීන්, රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ ලියනගේ ඇතුළු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴


කතරගම වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාලයි

(02.04.2023 – 15:08 +0530 – hirunews.lk/sinhala)

කතරගම – පරණ වැඩිහිටිකන්ද මාර්ගයේ අද (02) දහවල් සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

වෙඩි තැබීමෙන් රෝහල්ගතකර ඇත්තේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ‘ප්‍රදීප් ලක්මාල්’ නොහොත් ‘උඩවත්තේ මංජු’ නැමැත්තෙක්.

මොහු කරාතේ ගුරුවරයෙකු වන අතර පසුපස හබාගොස් වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්. වෙඩි වැදීමෙන් ඔහුගේ පාදවලට හානි සිදුව තිබෙනවා.


දහම් පාසලට ඇතුළු වූ අයෙක් සිසුවියකට පිහියෙන් අනී

(02.04.2023 – 18:41 +0530 – sinhala.adaderana.lk)

දහම් පාසලක් තුළ සිදුවූ පිහි ඇනුමක් පිළිබඳ පුවතක් ගල්ඔය ප්‍රදේශයෙන් වාර්තා විය.

ගල්ඔය පොලිස්බල ප්‍රදේශයට අයත් විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක් එම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇත.

අද (02) උදෑසන 07:45 පමණ විහාර භූමියට ඇතුළු වුණු පුද්ගලයෙකු විසින් ‘ඉමාෂා’ නම් සිසුවියට තියුණු ආයුධයකින් ඇන පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ඔය පොලීසියට ලැබුණු තොරතුරක් මත ප්‍රහාරය එල්ල කළ ආයුධයත් සමග සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවිය.

මේ වනවිට සිසුවිය කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

සැකකරුගෙන් පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන ලෙසට ඇයට පැවසුවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම අනතුර සිදුකළ බවය ෴


ආනයනික භාණ්ඩවල තොග මිල පහළට

(02.04.2023 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර අගයක පැවතීම හේතුවෙන්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු ආනයනික භාණ්ඩවල තොග මිල 10% කින් අඩු වී ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා.

මෙම මිල පහළ යෑම තවදුරටත් පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ.

තොග මිල අඩු වුවත් සිල්ලර වෙළඳපලෙහි භාණ්ඩ කිසිවක් අඩුවී නොමැති බවයි ජනතාව චෝදනා කරන්නේ.

මේ අතර උත්සව සමය එළැඹීමත් සමඟ වෙළඳපලේ කුකුළු මස් මිල රුපියල් 260 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළඳුන් ප්‍රකාශ කළා.

ඒ අනුව රුපියල් 1200 කට පමණ අලෙවිවූ කුකුළු මස් කිලෝග්‍රෑමයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 1400 ත් 1500 ත් අතර මිලකටයි.

මේ අතර අලුත් අවුරුදු සමය නිමිත්තෙන් ඊයේ (01) සිට එළැඹෙන 12 වැනිදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ අනුව එළවළු, පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් අලෙවි කළ හැකියාව පවතින බවයි මහමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.

+


පාඩු ලැබූ ආයතන ගැන මුදල් අමාත්‍යාංශයෙන් හෙළිදරව්වක්

(02.04.2023 – 20:04 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසරේ මුල් මාස 08 හි පාඩුව රුපියල් කෝටි අසූ පන්දහස් හාරසීයකට (85,400) අධික බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ වාර්තාවකින් හෙළිවී තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීමේ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මේ බව අනාවරණ කළේ රත්නපුරේ අද (02) පැවති මාධ්‍ය හමුවක දීයි.

අදාළ ආයතන තුන (3) පමණක් ලැබූ පාඩුව මෙරට රාජ්‍ය ආයතනවල සමස්ථ පාඩුවෙන් 99% ක් බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.

මෙම තත්ත්වය හමුවේ කඩිනමින් අදාළ ව්‍යවසායන් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළා ෴


ගින්නකින් බිළිදෙකු ජීවිතක්ෂයට

(02.04.2023 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කුප්පි ලාම්පුවක් පෙරලීමෙන් ඇතිවූ ගින්නකින් මාස 06 ක් වයසැති බිළිදෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මුලතිව් – පුදුකුඩිඉරිප්පු, තෝරාවිල් ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පසුගිය ජනවාරි මස 22 වැනිදා රාත්‍රියේ අදාළ ගින්න හටගෙන ඇති අතර පිළිස්සුම් තුවාල ලැබූ බිළිඳා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (01) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ මොවුන් කුඩා කාමරයක ජීවත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බිළිදාගේ දෙමාපියන් ගෙමිදුලේ සිට ඇති බව සදහන් ෴


චෝදනාවලට රුහුණු උපකුලපති පිළිතුරු දෙයි

(02.04.2023 – 20:12 +0530 – sinhala.adaderana.lk)

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තමන්ට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් තමන් උපකුලපති තනතුරින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, කථිකාචාර්ය රොහාන් ලක්සිරි මහතාගේ නිල කාමරයට විෂ වායුවක් මුදාහැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ පරිපාලනය නිසි විමර්ශනයක් සිදුනොකළ බවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉකුත් පෙබරවාරි මස 08 වනදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ක්‍රියාත්මක කරන පසුබිමක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා අද (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා :

“අවුරුදු 4 ක්ම නවක වදයෙන් තොරවූ විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා තියෙනවා. අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පසුගිය වසර හතර (4) පුරාම මාව ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළා. මට එකේ අලුත් දෙයක් දැනෙන්නේ නෑ. පුදුමයි ඔවුන් තාම මාව ඝාතනය කිරීමට උත්සහ නොකිරීම ගැන. අලුතින් ගොඩ නැගුණු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් අලුත් ඉල්ලීමක්. ඔවුන් පටන් ගත්තේ බදු පිළිබඳ උඝෝෂණය කිරීමනේ පසුගිය ජනවාරි මාසේ. නමුත් පස්සේ ඇතිවු සිද්ධියකින් පසුව මේ සම්පූර්ණ ව්‍යාපාරය මා වෙතට හැරෙව්වා. මට චෝදනා එල්ලා කළා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්ගේ කාමරයට විෂ වායුවක් එල්ල කිරීමෙන් ඔහුව ඝාතනය කිරීමට උත්සහ කළා කියලා. මම ඒ චෝදනවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම ජාතික ජනබලවේගයට සහ ජනතා විමුක්ති පෙරමුණට ඊළඟ පාළාත් පාලන මැතිවරණයේ දී ඡන්දය දෙන්නට කියලා ඉල්ලා සිටින මාධ්‍ය සාකච්ඡා මේ ආචාර්ය සංගමයේ සාමාජිකයයින්ම කරනවා. ඔවුන් ඒක ආචාර්ය සංගමය හැටියට කරන්නේ නෑ. නමුත් පුද්ගලයෝ හැටියට ඒක කරනවා. මා හිතනවා ඔවුන් මේ ඉල්ලන්නේම ජාතික ජන බලවේගයේ එක අරමුණක් වෙනුවෙන් මාව ඉවත්කළ යුතුයි කියන එක කියලා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *