‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට

‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට


‘බිග් මැච් පෙරඩ්’ ගිය රථය පෙරළී සිසුන් දෙදෙනෙක් (2) මරුට

(01.04.2023 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාසල් ක්‍රිකට් තරගයක් වෙනුවෙන් රථ පෙළපාලි ගිය රථයක් පෙරලී සිසුන් 07 දෙනෙකු තුවාල ලබා ඉන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් (2).

බදුල්ල ධර්මදූත විදුහල සහ ඌව විද්‍යාලය අතර පාඨශාලාන්තර ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙමින් තිබූ බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ආසනනයේ ඇති නව ක්‍රීඩාංගණයේ දී අද (01) දවහල් මෙම අනතුර සිදු වී තිබුණේ.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ සිසුන් රෝහල වෙත රැගෙන යන අතරතුර දෙදෙනෙකු (2) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි.

+++++++

+


ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(01.04.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ගෝමරන්කඩවල ඔට්ටටිච්චන්වකුලම් ප්‍රදේශයේ දී මෙරට නිශ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් ඊයේ(31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගෝමරන්කඩවල පොලීසියට ලද තොරතුරක් මත සිදුකල වැටලීමක දී යි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන ඔට්ටටිච්චන්වකුලම් ප්‍රදේශයේම පදිංචි අයෙක් වනවා.

සැකකරු අද (01) දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


බස් රථයකට යට වී කාන්තාවක් මරුට

(01.04.2023 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (31) රුවන්වැල්ල සියඹලාවල ප්‍රදේශයේ දී බස් රථයකට ගොඩවීමට පැමිණි කාන්තාවක් එම බස් රථයටම යටවීමෙන් මිය ගොස් තිබෙනවා.

වරකාපොල – අඟුරුවැල්ල මාර්ගයේ අඟුරුවැල්ල දෙසට ධාවනය වූ බස්‍ රථයකට මෙම කාන්තාව ගොඩවීමට යාමේදි බස් රථයේ ඉදිරිපස ගැටී ඇති අතර, ඉන් පසු ඉදිරිපස රෝදවලට යටවී ඇති බව රුවන්වැල්ල පොලීසිය සඳහන් කරනවා.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළොත් බැංකු පද්ධතිය අනතුරේ – ආර්ථික විශේෂඥයෝ

(01.04.2023 – 13:40 +0530 – hirunews.lk/sinhala)

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදුකිරීම තුළින් මෙරට බැංකු පද්ධතිය දැඩි අවදානමකට ලක්විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක (2) තුළ අවසන් කිරීමේ සැළැස්මක් පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (31) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අප කළ විමසීමකදියි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකරන්නේ නම් ආර්ථික න්‍යායන් භාවිත කරමින් ඒවාට අදාළ විශ්ලේෂණ සිදුකළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් එහි දී සඳහන් කළේ ෴


ගත වූ මාස තුනේ (3) පාස්පෝර්ට් 2,78,117 ක් නිකුත් කරලා

(01.04.2023 – 13:45 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ සිට මේ දක්වා සාමාන්‍ය සේවා, එක්දින සේවා සහ විදේශ දූත ගමන් සදහා විදේශ ගමන් බලපත්‍ර 2,78,117 ක් නිකුත් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය පාලක සහ මාධ්‍ය ප්‍රකාශිකා හංසිකා කුමාරසිංහ මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී යි.

එහි දී ඇය වැඩිදුරටත් කියා සිටියේ විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත හොත් වහා ම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුතු බවයි.

එම පැමිණිල්ලත් සමග නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර එය කල් ඉකුත් වීමේ දිනයට පෙර අස්ථානගත වුවහොත් යම් දඩ මුදලක් ගෙවිය යුතු බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ ෴


දුම්වැටි නිසා දවසකට 40 ක් එළොව ගිහිං

(01.04.2023 – 13:50 +0530 – hirunews.lk/sinhala)

දුම්වැටිවලට ඇති ආකර්ශණය අඩු කිරීමේ අරමුණින් අද (01) දිනයේ දීප ව්‍යාප්තව විශේෂ වැඩසටහන් රැසක් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබෙනවා.

අද අප්‍රේල් මස 01 වනදා බැවින් ‘තවමත් දුම්වැටි බොන කිහිපදෙනාට සුබ උපන්දිනයක් වේවා’ යන්න ප්‍රදර්ශනය කරමින් දිවයිනේ ප්‍රධාන නගරවල ස්ථාන 21 ක, පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කරන ආකාරයට වසරකට 15,000 ක පිරිසක් දුම්වැටි භාවිතය නිසා ජිවිතක්ෂයට පත්වනවා.

මේ අතර, දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 40 කට ආසන්න පිරිසක් මියයන බවයි මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක ධනුජිත සදූෂ කියා සිටියේ ෴


තෙල් සංස්ථාවෙන් අනිවාර්ය නිවාඩු යැවූ පිරිස මහින්ද හා සාකච්ඡාවක්

(01.04.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන සැපයුමට බාධාවන පරිදි වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමේ චෝදනාවට අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති නායකයින් ඇතුලු විසිදෙනා (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වුණා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා.

මේ අතර අනිවාර්ය නිවාඩු යැවූ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයින් අතරින් පස්දෙනෙකු (5) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන් ද සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ අනිවාර්ය නිවාඩු යැවූ එම වෘත්තිය සමිති නායකයින්ට සාධාරණයක් ඉටු කිරීමට මෙහිදී අපේක්ෂා කරන බවයි ෴


වැවිලි ප්‍රජාවට ස්ථිර ලිපින ඉල්ලා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට

(01.04.2023 – 15:30 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සිටින වැවිලි ප්‍රජාවට ස්ථිර ලිපින ලබාදීමට නියෝග කරන ලෙස ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් නම් පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙරට වෙසෙන ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල පදිංචිය සඳහා ස්ථිර ලිපිනයන් නොමැතිකම හේතුවෙන් ඔවුන් මෙරට පුරවැසියන් ලෙස නොසලකන බවයි පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා ෴


ආනයනික කිරිපිටි මිල අඩු වෙයි

(01.04.2023 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල අද (01) සිට අඩුකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, අද (01) සිට ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ යනු ඇති.

එමෙන්ම ඔවුන් සඳහන් කරන්නේ නව මිල ගණන් යටතේ සඳුදා (03) සිට නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බවයි ෴


පුරාවිද්‍යා භූමියක නිදන් සෙවූ හමුදාවේ 3 දෙනා සහ ශ්‍රමණවේශධාරියා රිමාන්ඩ්

(01.04.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

පුරාවස්තු සෙවීමේ අරමුණින් අධි තාක්ෂණික උපකරණ වලින් පුරාවිද්‍යා භූමියක් පරීක්ෂා කරමින් සිටි සිද්ධියට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ තුන් (3) දෙනා සහ ශ්‍රමණවේශධාරියා මේ මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කරදියනාරු පොලිස් වසමේ මාවඩිඕඩෙයි ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් අධි තාක්ෂණික උපකරණවලින් පුරාවිද්‍යා භූමියක් පරීක්ෂා කරමින් සිටියදී යුද හමුදා ලු‍තිනන් කර්නල්වරයෙකු, කෝප්‍රල්වරයෙකු, යුද හමුදා සැරයන්වරයකු සහ ශ්‍රමණවේශධාරියෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (31) දිනයේයි.

ඒ විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ෴

+


පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් අතිවිශේෂ දැනුම්දීමක්

(01.04.2023 – 18:21 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නව දුරකථන අංක දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බත්තරමුල්ල – සෙත්සිරිපාය 2 වැනි අදියර ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙහි මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය ස්ථාපිත කර ඇති බැවින් සියලුම මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු එම ස්ථානයෙන් සිදුවන බවයි.

මෙතෙක් මහජනතාව විසින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වෙත ඇමතුම් ලබාගත් දූරකථන අංක මේ වනවිට ක්‍රියා විරහිත කර ඇති බවත්, පහත දැක්වෙන නව දූරකථන අංක වෙත අමතා පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි බවත් නිවේදනයේ සඳහන්.

‘හන්ටින්’ පහසුකම සහිතව නව දූරකථන අංක ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කරනවා.

ඒ අනුව නව දූරකථන අංක ලෙස;

011 288 7903
011 288 7906
011 288 7907
011 288 7973

මේ අතර මින් ඉදිරියට මෙම මධ්‍යස්ථානය MCC යන කෙටි නාමයෙන් ද හැඳින්වීමට කටයුතු කෙරෙනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *