නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට

නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට


නව දූෂණ විරෝධී කෙටුම්පත නීතිපතිට

(30.03.2023 – 13:27 +0530 – hirunews.lk/sinhala)

නව දූෂණ විරෝධී කෙටුම්පත මගින් පැමිණිල්ලක් නොමැතිව වුව ද, වංචා හා දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අල්ලස් කොමිසමට බලය පවරා තිබෙනවා.

මෙම කෙටුම්පත පිළිබඳ කොළඹදී අද (30) අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කියා සිටියේ මෙම කෙටුම්පත හරහා ජනාධිපතිවරයා, ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන් හා තානාපතිවරුන් ද වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවයි.

+


ආර්ථික අර්බුදය හමුවේ කොහිල පරිභෝජනය 45% කින් ඉහළට

(30.03.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොහිල පරිභෝජනය සියයට 45 කින් පමණ ඉහළ ගොස් ඇති බව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ඒ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය සිදුකරන ලද පර්යේෂණයකට අනුවයි.

ආර්ථික අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමත් සමග වැඩි පිරිසක් අඩු මුදලට සපයා ගත හැකි ආහාර ද්‍රව්‍ය කෙරෙහි යොමුවීම, මෙම තත්ත්වයට හේතුවී ඇති බවයි එම ආයතනය පවසන්නේ.

2021 වසරේ සැප්තැම්බර් මස සිට 2022 වසරේ අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම කාලය තුළ ගෘහස්ථ ඒකක වල එළවළු පරිභෝජනය ඉහළ ගොස් තිබු අතර, ඉන් කොහිල සඳහා තිබූ ඉල්ලුම සියයට 45 දක්වා ඉහළ ගොස් ඇති බවයි එම වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් ඊට සාපේක්ෂව, කැරට්, වට්ටක්කා, වම්බටු පරිභෝජනය පහත වැටී ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය පවසනවා.

එමෙන්ම, රටේ ජනගහනයෙන් සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර ඇති අතර, තවත් සියයට 38 ක් ගන්නා ආහාර ප්‍රමාණය අවම කර ඇති බවයි ඔවුන් පවසන්නේ.

වතු අංශයේ සියයට 68 ක් ම තමන් දෛනිකව උපයන මුදලින් වැඩි ප්‍රමාණයක් ආහාර සදහා වැය කර තිබෙනවා.

එමෙන්ම, රත්නපුර, අම්පාර, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 75 ක් තමන් උපයන මුළු මුදලම ආහාර ලබා ගැනීම සඳහා වෙන් කර තිබීම ද විශේෂත්වයක්.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දත්ත කළමනාකරණ ඒකකයේ අංශ ප්‍රධානී ප්‍රසන්න විජේසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කොහිලවලට අමතරව කොස් පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

කෙසේ වෙතත්, අද (30) වනවිට වෙළඳපොලේ එළවලු මිල ගණන් සීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා.

කැරට්, බෝංචි, ලීක්ස්, පතෝල, බණ්ඩක්කා, වැටකොලු, වට්ටක්කා ආදී එළවළු වර්ග රැසක මිල පහත බැස ඇති බවයි වෙළඳපොල වාර්තා සඳහන් කළේ.

එවන් පසුබිමක පිපිඤ්ඤා කිලෝවක මිල රුපියල් 15 දක්වා පහත බැස තිබෙනවා.

ඒ හේතුවෙන් නොච්චියාගම රාජාංගනය ප්‍රදේශයේ පිපිඤ්ඤා වගා කරන ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි ෴


බිත්තර ලක්ෂ 8 ක් බේකරි හිමියන් වෙත බෙදා හැරේ

(30.03.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 8 ක් බේකරි හිමියන් වෙත ලබාදීම අද (30) සිදුකෙරුණා.

ඒ මුතුරාජවෙල පිහිටි කර්මාන්තපුරයේ දී යි.

එම අවස්ථාවට දිවයිනේ මහා පරිමාණ බේකරි හිමියන් දස (10) දෙනෙකු පමණ එක්ව සිටියා.

ඔවුන් එම බිත්තර තොග සඳහා කලින් මුදල් ගෙවා තිබුණා.

මේ අතර, ජාතික සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු සුජීව ධම්මික ප්‍රකාශ කළේ බිත්තර ආනයනයට උනන්දු වන බලධාරින් දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක් බවයි.

+


බදු ප්‍රතිපත්තියට එරෙහි විරෝධතා ලබන සතියේ සිට යළිත්

(30.03.2023 – 14:08 +0530 – hirunews.lk/sinhala)

රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් යළිත් වරක් එළැඹෙන සතියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ග අරඹන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා.

මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ඇතුලු සේවකයින් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව අද (30) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන්ධන මිල පහත දැමීමට රජය තීරණය කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල් 450 ක් විදේශීය සමාගම් තුනක් (3) සඳහා විවෘත කිරීමේ තීරණයට එරෙහි වෘත්තීය සමිති ත්‍රියාමාර්ගයක් ආරම්භ වූ පසුබිමකයි.

ඒ අනුව ඊයේ (29) පෙරවරුවේ දක්නට ලැබුණු ඉන්ධනහල්වල තදබදය පස්වරුව වන විට අවසන් වුණා.

මේ අතර ඊයේ (29) දිනයේදී ඉන්ධන මිල පහත දැමීමට තීරණය කිරීමෙන් පසු බස් ගාස්තු 12.9% කින් අඩු කිරීමටත් ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 20 කින් අඩු කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉන්ධන මිල පහත දැමීමට සාපේක්ෂව දුම්රිය ගාස්තු අඩුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ඉන්ධන මිල පහත හෙළීමත් සමග පාසැල් ප්‍රවාහන සේවා ගාස්තු ද පහත හෙළීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.

මේ අතර ඉන්ධන බෙදා හැරීමට බාධා කළ බවට චෝදනා කරමින් වෘත්තීය සමිති නායකයින් ඇතුලු සේවකයින් 20 ක් අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණයට එරෙහිව ඛනිජ තෙල් සේවකයින් පිරිසක් අද මානව හිමිකම් කොමිසමට පැමිණියා ෴


12 හැවිරිදි සිසුවියක් අපයෝජනය කළ ගුරුවරයෙකු අත්අඩංගුවට

(30.03.2023 – 15:15 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට- මයුරපුර ප්‍රදේශයේ පාසලක දොළොස් (12) හැවිරිදි සිසුවියක් හෝටලයකට රැගෙනගොස් අපයෝජනය කළ බව කියන පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සිසුවියගේ පියා සිදුකළ පැමිණිල්ලක් අනුව හම්බන්තොට වරාය පොලිසිය මගින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 28 වැනිදා පාසල් යන බව පවසා නිවසින් පිටව ගිය අදාළ සිසුවිය යළි නිවසට නොපැමිණීම හේතුවෙන් පියා ඒ පිළිබඳව සොයා බැලීමේදී දැරිය නිවසට යාබද බැල්ලගස්වැව මංසන්ධියේ දී මෝටර් රථයක නැඟී යනු දැක ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, දැරිය සොයා මව්පියන් බැල්ලගස්වැව මංසන්ධියට යන අවස්ථාවේ දැරිය ආපසු නිවසට එමින් සිට ඇති අතර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ සැකකාර ගුරුවරයා ඇය හෝටලයක් වෙත රැගෙන ගොස් අපයෝජනයට ලක්කර ඇති බවයි ෴


බහාලුම් ප්‍රවාහන සේවා ගාස්තුත් 08% කින් අඩු කෙරේ

(30.03.2023 – 15:53 +0530 – hirunews.lk/sinhala)

සිය සේවා ගාස්තු 08% කින් පහළ දැමීමට සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ෴


වැලිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් කර සැකකරුවන් පලා ගිය වෑන් රථය සොයා ගැනේ

(30.03.2023 – 16:51 +0530 – hirunews.lk/sinhala)

වැලිගම, මිදිගම ප්‍රදේශයේ දී ඊයේ(29 ) පස්වරුවේ හෝටල් හිමිකරුවෙකුට වෙඩි තබා සැකකරුවන් පලා ගිය වෑන් රථය අහංගම පොලිස් වසමේ පණු ගල්ගොඩ ක්‍රීඩාංගණයේ දමා ගොස් තිබිය දී පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරී කණ්ඩායමක් විසින් සොයාගෙන තිබෙනවා.

එම වෑන් රථය මාතර පාලටුව ප්‍රදේශයේ කුලී රථ සේවා මධ්‍යස්ථානයක් මගින් පුද්ගලයකු විසින් 14 වැනිදා ලබා ගෙන එය 29 වැනිදා භාර දෙන බවට කුලී පදනම මත ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

කුලී පදනම මත ලබාගත් පුද්ගලයන් කවුරුන් ද යන වග මිදිගම පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්යය බලකා කොක්මාදුව කදවුරේ නිලධාරීන් පරීක්ෂණ මෙහෙයවනවා ෴


මහාචාර්ය චන්දිම ජීවන්දර ලොව හොඳම තරුණ විද්‍යාඥයන් 06 දෙනා අතරට

(30.03.2023 – 17:26 +0530 – hirunews.lk/sinhala)

ලොව හොදම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර තේරී පත්ව තිබෙනවා.

ලබන අප්‍රේල් මස 20 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තීකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් සංවිධාන කරන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී මීට අදාළ සම්මානය ප්‍රදානය සිදුකෙරෙනු ඇති.

ලොව හොදම තරුණ ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයින් 06 දෙනා අතරට බ්‍රිතාන්‍යයෙන් බැහැරව විද්‍යාඥයෙකු තේරීපත්වූ පළමු (1) අවස්ථාව මෙයයි ෴


පොහොට්ටුවේ හඬ පටය ‘ලීක්’ කළේ පිටරටකින් – සමන් ලාල් ප්‍රනාන්දු

(30.03.2023 – 18:28 +0530 – hirunews.lk/sinhala)

බැසිල් රාජපක්ෂ සමග කළ සාකච්ඡාවෙන් මාධ්‍යයට නිකුත් වී ඇත්තේ හඬ පටයේ කොටසක් පමණක් බව මොරටුවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති සමග පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම හඬ පටය විදේශ රටකට යවා එම රටින් මාධ්‍යය ආයතනයකට ලැබී ඇති ‍බවට තොරතුරු ලැබී ඇති බවයි ඔහු පවසන්නේ.

මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් ද මෙම හඬ පටයේ කරුණු රැසක් හෙළිදරව් කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරීක්ෂණයක් කරන බවත් එය අවසන් වූ පසු මෙම නොහොබිනා කාර්ය කළ පුද්ගලයා කවුරුන් ද යන්න තමන් රටට හෙළිදරව් කරන බව ද සමන් ලාල් ප්‍රනාන්දු පැවසුවා.

+


හෙරොයින්වලට ලොල් වූ ජේලර්ට උසාවියෙන් ලද නියෝගය

(30.03.2023 – 18:35 +0530 – hirunews.lk/sinhala)

අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වූ බන්ධනාගාර නියාමකවරයෙකු නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගෙන අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පුනරුත්ථාපනය කිරීම සඳහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.

මෙලෙස පුනරුත්ථාපනය කිරීමට නියෝග කලේ, මහර බන්ධනාගාරයේ 31 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකු යි.

නිට්ටඹුව පොලිසියේ දූෂණ මර්දන අංශය වෙත ලැබුණු තොරතුරක් මත නිට්ටඹුව කොන්ගස්දෙනියේ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී පුද්ගලයකු හෙරොයින් මිලිග්‍රෑම් 2120 ක් සමග අත්අඩංගුවට ගත් අතර එම ස්ථානයේදීම, අධික ලෙස මත් වී සිටි පුද්ගලයකු ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අධික ලෙස මත් වී සිටි පුද්ගලයා වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු විශාල වශයෙන් හෙරොයින් පානය කළ සිටි බවටයි හෙළි වී ඇත්තේ.

පසුව සිදුකළ විමර්ශනවල දී එම හෙරොයින් පානය කළ පුද්ගලයා මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු බවටත් පොලිසිය විසින් තහවුරු කර ගනු ලැබුවා ෴


යාල කළු කොටියාට ජීවිතය අවදානමක්

(30.03.2023 – 20:25 +0530 – hirunews.lk/sinhala)

යාල වනෝද්‍යානයේ කළු කොටියා සැරිසරන ජබුරාගල ප්‍රදේශය සංචාරකයන් සඳහා වසා දැමීමට වනජිවි දෙපාර්තමේන්තුව තීරණය කිරීමත් සමග එම සත්ත්වයාගේ ජීවිතය අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙනවා.

මෙම සත්ත්වයාගේ ආරක්ෂාව ගැන සලකා අදාළ කොටස ඊයේ (29) සිට වසා දැමීමටයි වනජිවි දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

මාස 7 ක් පමණ වයසැති කළුකොටියෙකු යාල වනෝද්‍යානයේ සැරිසරන බවට මීට පෙර තොරතුරු වාර්තා වී තිබුණ ද, එය නිෂ්චිතවම තහවුරු වූයේ පෙරේදා (28) දිනයේ දී ඡායාරූප ශිල්පියෙකු මෙම සත්ත්වයා ඡායාරූපයට නගා එය සමාජ මාධ්‍යයට මුදා හැරීම සමඟයි.

ඒ සමගම සංචාරකයින් මෙන්ම ඡායාරූප ශිල්පීන් ද වැඩි වශයෙන් යාල වනෝද්‍යානයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෑත කාලයේ යාල වනෝද්‍යානයෙන් කළු කොටියෙකු වාර්තා වූ පළමු (1) අවස්ථාව ද මෙය වෙනවා.

මෙම සත්ත්වයා මව සමග සැරිසරන අතර, සත්ත්වයාගේ සංචාරයට බාධා වන අයුරින් ඇතැම් සෆාරි ජිප් රථ රියදුරන් මාර්ගය දෙපස ජිප් රථ නවතා තිබූ බව ද වාර්තා වුණා.

ඒ සමගයි මෙම සත්ත්වයා සැරිසරන ප්‍රදේශය සංචාරකයන්ට වසා දැමීමට වනජිවි දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, ජබුරාගල කොටස දඩයම්කරුවන්ගේ තිප්පොලක් වන බැවින් සංචාරකයින්ට එම ප්‍රදේශය තහනම් කිරීමෙන් මෙම සත්ත්වයා දඩයම්කරුවන්ගේ ගොදුරක් විය හැකි බව පරිසරවේදී නයනක රංවැල්ල පෙන්වා දෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *