සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි


සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අභාවප්‍රාප්ත වෙයි

(28.03.2023 – 10:27 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංගීත කලාව වෙනුවෙන් මහා මෙහෙවරක් සිදුකර, හෙළ සංගීතයේ අපූර්ව සටහන් තැබූ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සූරීන් අද (28) ජීවන ගමනට සමු දුන්නා.

පුරා දශක 6 ක් ශ්‍රී ලාංකිකයන් පිනවූ මේ සොඳුරු ආචාර්යවරයා – ගාන්ධර්වයා, 1942 පෙබරවාරි 15 වනදා ගොතටුවේදී උපත ලැබුවා.

1947 දී වැඩිමහල් සොහොයුරිය වූ ඊඩා සමඟ ඔහු ගමේ උත්සවයක ගීයක් ගයමින් තම කලා චාරිකාව ආරම්භ කලා.

පාසල් කාලයේ දී දක්ෂ තබ්ලා වාදකයෙකු වූ ඔහු පසුව සංගීතය හැදෑරීම සඳහා භාත්කණ්ඩේ සරසවියට ඇතුලු වුණා.

1965 යළි දිවයිනට පැමිණ ගුවන් විදුලි ගායකයෙකු ලෙස සංගීත දිවියට නව පිටුවක් එක් කරන ‘සනත් නන්දසිරි’ නම් මේ අපූර්ව ගාන්ධර්වයා රජයේ සේවයට එක්වන්නේ උහන මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයා ලෙසයි.

පසුව කැළණිය සරසවියේ කථිකාචාර්යවරයෙකු බවට පත්වන ඔහු 1974 දී ‘සංගීත් නිපුන්’ විභාගය අති දක්ෂ ලෙස සමත්වුණා.

‘ඇවිලිනු ගිනි දැල්’ ඇතුලු සොඳුරු ගී රැසක් කැටිකරගත් ඔහුගේ පළමු ගී තැටිය මෙරට රසිකයන් වැළඳගත්තේ අපූර්ව නිර්මාණ ගොන්නක් ලෙසින්.

1967 ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටය වෙනුවෙන් ගී ගයමින් ඔහු සිය ‘චිත්‍රපට ගී සංගීත පරිච්ඡේදය’ ආරම්භ කළා.

ඒකපුද්ගල ගී ප්‍රසංග කලාව ජනප්‍රිය වූ යුගය සනත් නන්දසිරි නම් මේ අපූර්ව කලාකරුවා ශක්තිමත් කරන්නේ ‘ස්වර්ණ කුණ්ඩල’ ප්‍රසංගයෙන්.

මෑත ඉතිහාසයේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියටත්, පසුව එහි කුලපති ධූරයටත් පත්වන සනත් නන්දසිරි සංගීතවේදියානන් අද (28) මියයන තුරුම එම තනතුර හොබවනු ලැබුවා.

සනත් නන්දසිරි සූරීන් වනාහි මෙරට සංගීත කලාවේ විවිධාංගීකරණය වූ ගීත නිර්මාණකරණයේ නිපුණයෙකි. ප්‍රේමය, විරහව, ඇතුලු මානුෂිය හැඟීම් ඔහු අපූර්ව අයුරින් මෙරට රසික ජනතාවට එන්නත් කළා.

එතුමා දහම් මග සහ ජීවිතයේ යථාර්ථය එකට කැටිකරගත් ගීත ගොන්නක් ලාංකේය කලාකෙතට දායාද කරනු ලැබුවා.

තමන්ට ම ආවේනික වූ අපූර්ව හඬකින්, අනුකරණය සහ ආවේණිකත්වය පසෙක ලා සංගීත කලාකෙත පෝෂණයට එතුමා කළ මෙහෙවර වදනින් විස්තරකළ නොහැකියි.

මේ අපූර්ව සංගීත ඇදුරුතුමන්ට අප නිවන් සුව පතන්නේ, එතුමාගේ වියෝගය පිළිබඳ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සංවේගය සමඟින්.

+++++++++

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි සූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (01)

(28.03.2023 – 14:17 +0530 – sinhala.adaderana.lk)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා (01) සවස 5 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

එතෙක් දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සනත් නන්දසිරි සූරීන්ගේ නිවසේ තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීහු පැවසූහ.

දශක හයකට (6) අධික කාලයක් මධුර හඬින් රටක් සනහා ලූ ජ්‍යෙෂ්ඨ ගායනශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අද (28) සිය ජීවන චාරිකාවට සමුදුන්නේය.

කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ එතුමා මියයන විට 81 වැනි වියෙහි පසුවුණි.

මෙරට ගීත ක්ෂේත්‍රයට කිසිදා අමතක නොවන ගීත රැසක් දායාද කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සූරීන් ගොතටුව ප්‍රදේශයේදී උපත ලබන්නේ 1942 පෙබරවාරි 15 වැනිදාය.

ගොතටුව මහා විද්‍යාලය, ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන එතුමා සංගීත ක්ෂේත්‍රයට පිවිස ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ඇතුළු සංගීත ක්ෂ්‍රේත්‍රෙය් භූමිකා රැසක් දිග්විජය කරන්නට සමත්වුණි.

දශක හයකට (6) වැඩි කාලයක් පුරා මෙරට ශ්‍රාවකයාගේ සවන් මධුර හඬින් මුසපත් කළ එතුමා රසික හදවත් තුළ ජීවමාන කළ ගීත අතර, ‘මගේ රටට දළදා හිමි සෙවණයි…’ අදටත් මෙරටට සෙත් පතන ගීත අතරේ ඉහළින්ම පවතී.

සුභාවිත ගීත කලාවත්, සරල තනු ගීත කලාවත් මැනවින් රසික හදවත් තුළ තැන්පත් කරන්නට සනත් නන්දසිරි සූරීන් සතුවූයේ අසීමිත හැකියාවකි.

ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද සනත් නන්දසිරි සූරීන් ය.

එතුමා 1971 වසරේ දෙසැම්බර් 18 වනදා ගායිකා මල්කාන්ති නන්දසිරි දේවිය සමග යුගදිවියට එළැඹිණි.

ඔවුන් දෙදෙනාට දාව ‘නිශාමනී අනුරාධා’ දියණිය උපත ලැබූ අතර ඇය ද ගායන ශිල්පිනියකි.

පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසත් සනත් නන්දසිරි සූරීන් කටයුතු කළේය.

සනත් නන්දසිරි සූරීන් අද (28) පෙරවරුවේ මියගියේ නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදීය.

කලක පටන් අසනීප තත්ත්වයේ පසුවූ සනත් නන්දසිරි සූරීන් මියයන විට 81 වැනි වියෙහි පසුවිණි.

+

+

meemessa.com – Prof. Sanath Nandasiri (195 mp3 files)


සහරාන්ට ආධාර දුන් කෝටිපති ව්‍යාපාරිකයාට දින 90 ක රැදවුම් නියෝග

(28.03.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala)

‘තවුහිද් ජමාද්’ සංවිධානයේ නායක ‘සහරාන් හෂීම්’ ගෙන් අවි පුහුණුව ලබා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල ලබාදුන් බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙකු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන හමුවේ ඊයේ (27) කළ කරුණු දැක්වීමකට අනුවයි.

මෙලෙස දින 90 ක රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ‘ඒ.එස්. අබ්දුල්ලා’ නැමැති පුද්ගලයෙකුවයි.

අන්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වී ඒ සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා සැකකරු, අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු ‘සහරාන් හෂීම්’ගේ හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක දී අවි පුහුණුව ලබා ඇති බවටද හෙලිව තිබෙනවා ෴


කුඩා ළමයින් අතර ඇස් රෝගයක්

(28.03.2023 – 07:36 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල කුඩා ළමයින් අතර ඇස් රෝගයක් පැතිර යන බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම මෙහි ලක්ෂණ බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.

+


ඉහළ මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම්

(28.03.2023 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ආනයනික භාණ්ඩ මිල විශාල ලෙස අඩු වී ඇති බැවින් එහි වාසිය ජනතාවට ලබා නොදී තවදුරටත් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ඇති පසුබිමක ඉහළ දැමූ භාණ්ඩ බොහෝමයක මිල ගණන් මේ වන විට පහත බැස තිබෙනවා.

එහෙත් බොහෝ වෙළඳසැල් හිමිකරුවන් විසින් ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කරන බවටයි එම අධිකාරියට පැමිණිලි ලැබී ඇත්තේ.

එබැවින් දිවයින පුරා වැඩි මිලට භාණ්ඩ අලෙවිකරන වෙළඳසැල් සොයා විශේෂ වැටලීම් සිදු කරන බවයි පාරිභෝගික අධිකාරියේ සභාපති නිතීඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ ෴


අලුත් අවුරුද්දට කේක් හිඟ වෙයි ද?

(28.03.2023 – 08:05 +0530 – hirunews.lk/sinhala)

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කේක් නිෂ්පාදන ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ, වෙළඳපොලේ මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන් ෴


සියලු චෝදනා ප්‍රතිකෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියයි

(28.03.2023 – 08:20 +0530 – hirunews.lk/sinhala)

තමන් සභාපතිධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතුවු කරුණු පිළිබද මේ වන විට නිල වශයෙන් අද (28) මුදල් අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් සිදුකර ඇතැයි මහජන උපයෝගිතා කොමිසෙම් සභාපති ජනක රත්නායක පවසනවා.

එමෙන්ම එම සියළු චෝදනා ප්‍රතිකෂේපකරන බවයි සභාපතිවරයා පවසන්නේ.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයාට අයත් යැයි සැලකෙන ආයතනයක් මගින් විදුලිය තොග වශයෙන් ලබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමේ බලපත්‍රයක් ලබාගැනිම ඇතුළු චෝදනා රැසක් ඔහුට එල්ල වී තිබුණා.

තවද පාර්ලිමේන්තු ක්‍රියාවලියක් හරහා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කීරීමට රජය තීරණය කර ඇති බව ද වාර්තා වෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබුණා.

දින 13 කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

ඒ, කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *