බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ

බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ


බීමතින් වාහන පැද්දොත් ඇපත් නෑ – වාහනෙත් නෑ

(27.03.2023 – 12:30 +0530 – hirunews.lk/sinhala)

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි.

මෙම නව තීරණයත් සමග අත් අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර තුන්වන (3) පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ ෴


සිපෙට්කෝ සේවකයෝ සත්‍යග්‍රහයක

(27.03.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් සංස්ථා සේවකයින් අද (27) එම සංස්ථා ගොඩනැගිල්ල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා.

ඒ රජය විසින් ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමේ උත්සාහයක නිරත වන බව පවසමින්.

කොළොන්නාව නිමාව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිටදී අද (27) පෙරවරු 09:30 ට පමණ මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ ඛනිජ තෙල් වෘත්තිය සමිති ඒකමුතුව විසින්.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ දක්වා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහි සිය ඉල්ලීම්වලට ද මෙතෙක් බලධාරීන්ගේ අවධානය යොමුවී නොමැති බවයි එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක සඳහන් කළේ.

මේ අතර රජයේ බදු ප්‍රතිපත්තිය තවමත් ක්‍රියාත්මක බවත් ඊට අන්තර්වාර විසඳුමක් ලබා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අඛන්ඩ වැඩ වර්ජනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට මාර්තු මාසයේ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ආණ්ඩුවේ අසාධාරණ බදු පනතට එරෙහිව මෙරට වෘත්තිකයින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර මේ වනවිට බොහෝ කාලයක් ගතව ඇති බවයි.

නමුත් ඊට විසඳුමක් ලබා නොදී ආණ්ඩුවේ බලධාරීන් විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිටින බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ.

වෘත්තිකයින් ගෙන යන සටන මැඩපැවැත්වීමට ඔවුන්ට එරෙහිව ගෙනයන සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

වැඩ වර්ජනය මර්දනය කිරීමේ උපක්‍රමයක් වශයෙන් වැටුප් නොගෙවා සිටීම වැනි ඉතා අශිෂ්ට ක්‍රියාමාර්ගවලට පවා වත්මන් පාලනය එළඹෙමින් සිටින බවත් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා අත්තනෝමතික ලෙස එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මාර්තු මස වැටුප අත්හිටුවා ඇතැයි ද විපක්ෂ නායකවරයා පවසනවා.

එබැවින් වහාම ආචාර්යවරුන්ගේ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙසත් එසේ නොවන්නේ නම් මූලික අයිතීන් උල්ලංඝනයට එරෙහිව ගත හැකි සෑම පියවරයක්ම ව්‍යවස්ථාදායකය හා අධිකරණය තුළදී ගන්නා බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

+


IMF සල්ලි ලැබීම ගැන මෙරට ද්විපාර්ශ්වික ණයහිමියන් දැනුවත් කිරීම මාර්තු 30 දා

(27.03.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුමැතිය හිමි වීම පිළිබඳව මෙරට ද්විපාර්ශ්වික ණය හිමියන් සහ ආයෝජකයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතයි.

මෙරට සියලුම ණය හිමියන් සමඟ සද්භාවයෙන් සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගීවීමට නියමිතයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර සියලුම ණය හිමියන් සමඟ සද්භාවයෙන් සහ පූර්ණ විනිවිදභාවයකින් යුතුව අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා වැදගත් සන්ධිස්ථානයක් බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන ප්‍රකාශ කරන්නේ.

රාජ්‍ය ණය තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීමට මෙම සාකච්ඡා ඉවහල් වනු ඇති බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

උද්ධමන අනුපාතිකය අඛණ්ඩව මාස පහක් (5) සඳහා අඩු වී ඇති අතර මෙරට විදේශ මුදල් සංචිත 2023 පෙබරවාරියේ දී ඩොලර් බිලියන 2.2 දක්වා වර්ධනය වී ඇති බවයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් පවසන්නේ.

ලංකාව නිවැරදි මාර්ගයේ ගමන් කරන නමුත් තව බොහෝ දුර යා යුතුව පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්‍රි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට ආර්ථික කළමනාකරණය නිසි පරිදි සිදු කළහොත් නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සිදු නොවනු ඇති බවයි ෴


අමරවීර පොහොර බෙදද්දී ගොවියෝ ඇමතිට දෙහි කපති

(27.03.2023 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ගොවීන් සඳහා මඩපොහොර බෙදාදීමේ උත්සවයක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දී සිදුකෙරුණා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ගිරිතලේ ගොවිජන ව්‍යාපාරයේ ගොවීන් විසින් මහ කන්නය යටතේ වගාකල වී අස්වනු නෙලීමේ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා.

එහෙත් අස්වනු සදහා ලැබෙන මිල ඉතා විශාල ලෙස පහළ යාම හේතුවෙන් ගොවීන් පත්ව ඇත්තේ දැඩි දුෂ්කරතාවකටයි.

වගාවන්ට වැළඳුනු විවිධ රෝග හේතුවෙන් වි වගාව විනාශ වී ගිය පසුබිමක, අසීරුවෙන් වගාකරගත් අස්වැන්න පහළ යාම නිසා ගොවීන් දැඩි පිඩාවකට පත්ව සිටිනවා.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර, පුලස්තිගම ගොවීන් විසින් මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල අවසන් වෙමින් පවතිනවා.

එහෙත් ගොවීන් පවසන්නේ නෙලා ගත් වී අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැති නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

ප්‍රදේශයේ සිටින මහා පරිමාණ වී මෝල් හිමියන් රුපියල් 70 ත් 80 ත් අතර වූ ඉතා අඩු මුදලට වී මිලදී ගැනීමට කටයුතු කිරීම ගැටලුව තව තවත් උග්‍ර වීමට හේතු වී තිබෙනවා.

+


දකුණ හැඩ කළ උණවටුන ඔත්පල වෙයි

(27.03.2023 – 13:30 +0530 – hirunews.lk/sinhala)

දිගින් දිගටම පැමිණි බාධක හමුවේ යන්තම් හිස එසවීමට පටන්ගත් ජාතියක් ලෙස අප සැමවිටම දූරදර්ෂීව කටයුතු කිරීම මේ මොහොත් ඉතා වැදගත්.

නමුත් ඇතැමුන්ගේ නොමනා හැසිරීම හේතුවෙන් තවදුරටත් අප රටට ලෝකය හමුවේ යැපුම් මානසිකත්වයෙන් ජීවත් වන්නට සිදුවේදැයි ඇත්තේ ප්‍රශ්නාර්ථයක්.

මේ, සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් පවතින පසුබිමක ඇතැම් පිරිසකගේ අයහපත් ක්‍රියාකළාප හේතුවෙන් පත්ව ඇති බලපෑමයි.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශය මෙරට සංචාරක කලාප අතර සුවිශේෂී ස්ථානයක් බවට පත්වන්නේ එහි ඇති සිත්ගන්නා සුළු ආකර්ෂණීය බව නිසාමයි.

විදෙස් සංචාරකයින් විශාල පිරිසක් දෛනිකව උනවටුන මුහුදු තීරයේ සුන්දරත්වය විඳගැනීමට පැමිණෙනවා.

පාස්කු ප්‍රහාරයේ බලපෑමත් කොවිඩ් වසංගතයේ බලපෑමත් හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට මරු පහරක් එල්ලවූ බව නොරහසක්.

නමුත් මේවනවිට පැවති ගැටළු නිරාකරණය වෙමින් නැවතත් ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයින්ට සංචාරය කිරීම සඳහා වඩාත් සුදුසු රටක් බවට පත්ව තිබෙනවා.

පවතින ආර්ථික අර්බුදය විසඳීමට සංචාරක කර්මාන්තයෙන් උපයාගන්නා විනිමය සෘජු ලෙස දායක වනවා.

නමුත් මෙරට ඇතැම් පිරිසකගේ නොමනා ක්‍රියාකලාප හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

මේ අතිශය සිත්ගන්නා සුළු පරිසරයකට හිමිකම් කියන ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන සංචාරක කලාපයේ ඇතැමුන්ගේ හැසිරීමේ ප්‍රතිඵලයි.

තැන තැන දමාගොස් තිබෙන කසල හේතුවෙන් සංචාරකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.

එමගින් හමා එන දුර්ගන්ධය පරිසර පත්ධතියට ද එල්ල කර ඇත්තේ දැඩි බලපෑමක්.

සංචාරකයින්ට සංචාරය කිරීම සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කර දීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමක් බව සියල්ලන් මතක තබා ගත යුතුයි.

ඒ ඔස්සේ සෘජු හා වක්‍ර ලෙස වීශාල පිරිසකගේ ජීවනෝපාය මාර්ග ද සැකසී තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ අඩාලවීමේ බලපෑම අත්විඳි ජනතාවක් ලෙස මීට වඩා දූරදර්ශී ලෙස ක්‍රියාකිරීම අප සියළු දෙනාගේම වගකීමක්.

+

දිවයිනට පැමිණෙන සංචාරකයින් වැඩිවශයෙන් ගැවසෙන උණවටුන සංචාරක කලාපයේ මතුව ඇති කසල ගැටලුවට තාවකාලික විසදුමක් ලබාදීමට කටයුතු කරන බව හබරාදූව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුනිලා රත්නවීර ප්‍රකාශ කළා.

හිරු දහවල් ප්‍රවෘත්ති විකාශයෙන් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකිරීමෙන් පසුවයි ඇය මේ බව සඳහන් කළේ.

ප්‍රදේශයේ එක්රැස්වන ඝන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීම නිසා ගැටළුකාරී තත්වයක් මතුව ඇති බව එහිදී අප අනාවරණය කළා.

අදාළ ප්‍රවෘත්තිය විකාශය කිරීමෙන් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් හබරාදූව ප්‍රාදේශීය සභාවේ ලේකම් සුනිලා රත්නවීර කියා සිටියේ දැනට එක්රැස්ව ඇති ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමට තාවකාලික ස්ථානයක් අද දිනය තුළ ලබාදෙන බවයි ෴


ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුර

(27.03.2023 – 13:36 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී ගාලු කුමාරි දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම දුම්රිය හරස් මාර්ගයට කිසිදු දුම්රිය ගේට්ටුවක් හෝ සංඥා පද්ධතියක් සවි කර නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ෴


මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන විස්සක් (20)

(27.03.2023 – 14:38 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් (20) වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් මසකට සහල් කිලෝ 10 ක් නොමිලේ ලබාදීමේ වැඩසටහනට වීරකැටිය ප්‍රදේශයේදී එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට මාස දෙකක් (2) සඳහා ක්‍රියාත්මක කර ඇති සහල් නොමිලේ බෙදාදීමේ වැඩසටහනේ කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇති බවයි ෴


කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කෙරේ

(27.03.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala)

තංගල්ල – වැලිආර – නෙතොල්පිටිය ප්‍රදේශයේ දී කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඇය අද (27) උදෑසන සිය නිවසේ සිට ක්‍ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි නෙතොල්පිටිය ප්‍රදේශයේම පදිංචි විවාහක කාන්තාවක්.

පෙර දින සිදුවූ රාජකාරි ගැටළුවක් හේතුවෙන් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *