‍නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි

නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි


නඩු භාණ්ඩ අලෙවි කිරීමට තැත් කළ පිරිසක් අල්ලයි

(25.03.2023 – 16:22 +0530 – hirunews.lk/sinhala)

නඩු භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ගජමුතු 5 ක්, රුපියල් ලක්ෂ 120 කට අලෙවි කිරීමට තැත් කළ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාර සේවකයෙකු සහ නඩු භාණ්ඩ කාමරය භාරව කටයුතු කළ සේවකයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දඹුල්ල පොලිස් විශේෂ කාර්යාංශ ඒකකයට ලද බුද්ධි තොරතුරක් මත මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් චීන ජාතිකයෙකුට අදාළ ගජමුතු අලෙවි කිරීමට තැත් කර ඇති අතර, තැරැව්කරුවන් ලෙස පෙනී සිටිමින් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මේ අතර, අධිකරණය ලබා දුන් නියෝගයක් අභියෝගයට ලක් කරමින් නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ නීතිඥවරයෙකු සහ නීතිඥවරියක අත්අඩංගුවට ගන්නා ලෙස මැදවච්චිය මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

අධිකරණ නියෝගයක් මත පෙත්සම්කාර පාර්ශවයට ඉඩමක භුක්තිය භාරදීමට ගිය මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරියට සහ පිස්කල්වරයෙකුට මෙම බාධා කිරීම සිදුව තිබෙනවා.

එහිදී අදාළ නීතිඥවරයා සහ නීතිඥවරිය අධිකරණ නියෝගයේ අත්සන ප්‍රශ්න කරමින් අපහාසාත්මක ප්‍රකාශ සිදුකර ඇති අතර, ඊට අදාළව පොලීසිය පසුව අධිකරණයට කරුණු දක්වා තිබුණා.

ඒ අනුව, සැකකාර නීතිඥවරුන්ට ඊයේ (24) අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළත්, ඔවුන් එහි පෙනී සිට නැහැ.

ඒ අනුවයි, මහේස්ත්‍රාත්වරයා සැකකාර නිතිඥවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

+


පංචායුධ සහ කරාබු සොරා ගත් ගුරුවරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(25.03.2023 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල ප්‍රදේශයේ පෙර පාසලක දරු දැරියන්ගේ පංචායුධ සහ කරාබු සොරකම් කළ බව කියන පෙර පාසල් ගුරුවරියන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාලයක සිට එම පෙර පාසල් සිසු සිසුවියන්ගේ පංචායුධ සහ කරාබු අස්ථානගත වීම් වාර්තා වී ඇතත්, දෙමාපියන් එය දරුවන් අතින් අස්ථානගත වන බව සිතා, නොසලකා හැර සිට ඇති බව සඳහන්.

එහෙත්, ළමයින් බහුතරයකගේ පංචායුධ සහ කරාබු එලෙස අස්ථානගත වීම සම්බන්ධයෙන් සැක සිතූ දෙමාපියන් ඒ පිළිබඳව පෙර පාසලේ ප්‍රධාන පාලිකාවට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව, සිදුකළ සොයා බැලීම්වල දී අනාවරණ වී ඇත්තේ සැකකාර ගුරුවරියන් දෙදෙනා (2) විසින් මෙම රන් ආභරණ දරුවන්ගෙන් සොරකම් කර ඇති බවයි.

පසුව ඊයේ (24) දිනයේ අදාළ පෙර පාසලේ ප්‍රධාන පාලිකාව සහ දෙමාපියන් කෑගල්ල පොලීසියට ඒ පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඒ අනුවයි සැකකාර ගුරුවරියන් දෙදෙනා (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

+

+


වසන්ත මුදලිගේට යාපනයේ වැසියන්ගෙන් විරෝධයක්

(25.03.2023 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදී පනත වහා ඉවත් කරන ලෙසට බලකරමින් යාපනයේදී සංවිධානය කර තිබූ මහජන කතිකාවතකට සහභාගී වීමට ගිය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ට විරෝධයක් එල්ල වුණා.

ඒ ප්‍රචණ්ඩත්වය මතුකරමින් යාපනයේ පවතින සාමයට බාධ නොකරන ලෙස ඉල්ලමින්.

+


හෝමාගම වෙඩිතැබීමක්

(25.03.2023 – 23:10 +0530 – sinhala.adaderana.lk)

හෝමාගම මාබුල්ගොඩ ප්‍රදේශයේ ගරාජයක් ඉදිරිපිට නතරකර තිබූ බස් රථයකට සහ ත්‍රිරෝද රථයකට අද (25) රාත්‍රියේ දී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි හෝමාගම පොලීසිය කියයි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු (2) වෙඩිතැබීම සිදුකර ඇත.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැති අතර වාහන දෙකට (2) අලාභ සිදුවී ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

හෝමාගම පොලීසිය පරීක්ෂණ පවත්වයි ෴


සැක සහිත යතුරුපැදි 08 ක් පොලිස් භාරයට

(25.03.2023 – 14:47 +0530 – sinhala.adaderana.lk)

එංජින් ධාරිතාවය ඉහළ යතුරුපැදි 08 ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනියුක්ත ගල්කිස්ස කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම විසින් සිදුකරනු ලැබූ මෙහෙයුමකදී මෙම යතුරුපැදි සොයාගෙන ඇත.

බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේ ආයතනයක් තුළ තිබී ඒවා සොයාගෙන තිබේ.

මෙම යතුරුපැදි සඳහා ව්‍යාජ බවට සැක කෙරෙන ලියකියවිලි ඉදිරිපත් කර තිබෙන බවට පොලීසියට ඇතිවූ සැකය මත ඉදිරි පොලිස් විමර්ශන සිදුකෙරෙයි.

ඉන් යතුරුපැදි දෙකකට (2) කිසිදු ලේඛනයක් නොමැති බවද හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුව අද (25) දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

+


රනිල් කියන්නේ කවුද..? මම සත්තුන්ට අපහාස කරන්න කැමති නෑ ..විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස (26.03.2023)

+


කිරි තේ කෝප්පයක මිලත් අඩුවෙයි

(26.03.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala)

කිරි තේ කෝප්පයක මිල හෙට සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ කිරිපිටි මිල පහත දැමීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව රුපියල් සියයක්ව (100) පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

හෙට (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කළ අතර, ඒ අනුව කිරි පිටි කිලෝග්‍රෑමයක් (1) රුපියල් 200 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බවයි ඔවුන් කියා සිටියේ ෴


ඕනෑම මහාමාර්ගයක් දෙපස නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව

(26.03.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අප්‍රේල් 01 වනදා සිට 12 වනදා දක්වා දිවයිනේ ඕනෑම මහා මාර්ගයක් දෙපස සිය නිෂ්පාදන අලෙවි කිරීමට ජනතාවට අවස්ථාව ලබා දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ඒ අනුව එළවළු, පළතුරු, රෙදිපිළි ඇතුළු ඕනෑම නිෂ්පාදනයක් අලෙවි කළ හැකි බවයි.

ඊට අදාළ අවසර පත්‍ර ප්‍රදේශීය ලේකම්වරුන් මගින් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ ෴


පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් හෙට (27) සිට

(26.03.2023 – 10:08 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29 කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට (27) සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙවර මහකන්නයේදී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී මේ සඳහා යොදාගන්නා බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ අනුව මුල් අදියර යටතේ දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සහල් බෙදාදීම සිදුවනු ඇති.

හෙට (27) දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශවල දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි ෴


අල්ලස් ලබාගත් ග්‍රාම නිලධාරිනියක් අත්අඩංගුවට

(26.03.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදියි.

ඡන්ද හිමි නාම ලේඛනයට පැමිණිලිකරුගේ හා ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරදීම සඳහා එලෙස රුපියල් 50,000 ක මුදලක් ලබාගත් බවටයි අනාවරණ වී ඇත්තේ ෴


2023 පාසල් වාරය හෙටින් (27) ඇරඹේ

(26.03.2023 – 12:52 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු (1) වාරයේ පළමු (1) අදියර හෙට (27) සිට ආරම්භ වනවා.

එම අධ්‍යයන වාරය අප්‍රේල් මස 04 දක්වා පැවැත්වෙන අතර, අලුත් අවුරුදු නිවාඩුව අප්‍රේල් 05 වනදා සිට 16 දක්වා ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

එමෙන්ම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු (1) ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ද මෙම වාරයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පසුගියදා ප්‍රකාශ කළා.

මේ අතර ගුරු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.

ඇතැම් ගුරු වෘත්තිය සමිති පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීම කණගාටුවට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *