‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක්

‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක්


‘බූරුමූණා’ පිටුපස විදේශයේ සිට මෙහෙය වන පාතාල අත් 06 ක්

(24.03.2023 – 08:39 +0530 – hirunews.lk/sinhala)

දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කරන පාතාල වෙඩික්කරුවෙකු වන ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරුමූණා’ සමඟ ඩුබායි හි රැඳී සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ 06 දෙනෙකු සබඳතා පවත්වා ඇති බව විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

ඔවුන් විසින් විවිධ කටයුතු සඳහා ඔහු මෙහෙයවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ‘බූරුමූණා’ විදෙස් රටවල හෝ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තවත් අපරාධ කල්ලි සමඟ සබඳතා පවත්වා ඇත්ද යන්න සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

විදෙස්ගත ජාවාරම්කරුවන් ප්‍රමාද වන මත්ද්‍රව්‍ය මුදල් ලබා ගැනීම ඇතුළු විවිධ කටයුතු සඳහා පුද්ගලයන්ට තර්ජනය කිරීමට මෙන්ම බිය වැද්දවීම් සඳහාද ‘බූරුමූණා’ගේ සහය ලබාගෙන තිබුණා.

හංවැල්ලේ වෙළඳසැලක ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා ‘බූරුමූණා’ යොදාගත් ගිනි අවිය ද තවමත් සොයාගෙන නැහැ.

ඒ සම්බන්ධයෙන්ද තවදුරටත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා.

මේ අතර පාතාල සාමාජික ‘බූරුමුණා’ට පැන යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් 8 දෙනෙකු මාර්තු 31 දක්වා යළි රිමාන්ඩ් කිරීමට අධිකරණය තීන්දු කර තිබෙනවා ෴


අම්මා සොයා ගිය දරුවන් දෙදෙනෙකු (2) සැඩපහරකට හසුවේ

(24.03.2023 – 08:59 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල – බෝගොඩ ගම්මානයේ දිය පහරකින් එගොඩ වෙමින් සිටියදී අතුරුදන්වූ හත්හැවිරිදි (7) දැරියගේ සිරුර සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් 10 හැවිරිදි වියේ පසුවන ඇගේ සහෝදරයාගේ සිරුර මේ දක්වා හමුවී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට මුහුණ දුන් දරුවන් බෝගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ කුළී වැඩට ගිය මව නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් ඇය සොයා ගිය අවස්ථාවේ දරුවන් මෙලෙස සැඩ පහරට හසුව ඇති බවයි.

මෙම දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බව සඳහන්.

ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව අතුරුදන් වූ පිරිමි දරුවා සෙවීමේ කටයුතුවල නිරතව සිටිනවා ෴


පෑලියගොඩ – මැනිං වෙළඳපොළේ කසළ ගැටළුවක්

(24.03.2023 – 09:12 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – මැනිං වෙළඳපොල සංකීර්ණයෙන් බැහැර කරන කසළ විශාල ලෙස ඒකරාශීවීම හේතුවෙන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින්ද අසීරුතාවට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් දැඩි දුඟදක් ද හමා යන අතර, එළවළු, පළතුරු මිලදී ගැනීම සඳහා ජනතාවගේ පැමිණීම ද අඩුවී ඇති බවයි ‘සීමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ’ භාණ්ඩාගාරික නිමල් අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර මැනිං වෙළඳපොලේ ව්‍යාපාරිකයින් ඊයේ (23) වෙළඳපොල භූමියේදී උද්ඝෝෂණයක නිරතවුණේ තමන්ට මුහුණපෑමට සිදුව ඇති ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ෴


ගංජා ළඟ තබාගත් ‘ක්‍රයිම් ඕ.අයි.සී.’ සහ කොස්තාපල් අත්අඩංගුවට

(24.03.2023 – 09:24 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා සමඟ කිලිනොච්චිය – පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකු සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (22) රාත්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔවුන් ඊයේ (23) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාාගර ගත කෙරුණා.

මෙම පිරිස භාරයේ තිබී කේරළ ගංජා කිලෝ 2 ග්‍රෑම් 250 ක් සොයා ගෙන තිබෙනවා.

මෙම පොලිස් නිලධාරියා කේරළ ගංජා අලෙවි කරන බවට සුරාබදු දෙපාර්තමේන්තුවට කළක සිට තොරතුරු ලැබී තිබූ අතර, මොහු දකුණු පළාතේ පුද්ගලයින් කිහිපදෙනෙකුට ගංජා අලෙවි කරන බවටයි වාර්තාවී තිබුණේ.

ඒ අනුව මෙම පුද්ගලයින් හරහා උපාය දූතයෙකු මාර්ගයෙන් ගංජා මිලදී ගැනීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පලෙයි ප්‍රදේශයට ගොස් තිබුණා.

එහිදී යි සැකකරුවන් පලෙයි ප්‍රදේශයේ පිහිටි පොල් සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනයකට පැමිණෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම්දී තිබුණේ.

එම අවස්ථාවේ ගංජා තොගය රැගෙන ආ අදාළ පලෙයි පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴


පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ වැටලීම් අරඹයි

(24.03.2023 – 09:37 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කය ම ප්‍රධාන තොග අලෙවිසැල්, ගබඩා පරීක්ෂා කිරීම මෙන්ම සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීමද සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එමෙන්ම, මෙම කාලය තුළ ජංගම වෙළඳුන් සහ සේල් පැවැත්වෙන ස්ථාන අධීක්ෂණය කිරීම සඳහාද නිලධාරීන් යොදවනු ඇති.

එසේම උත්සව සමයේදී වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා ෴


ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහත දමයි

(24.03.2023 – 09:59 +0530 – hirunews.lk/sinhala)

ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10 ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා.

එම ආයතනය නිවේදනය කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.

ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුලූණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා.

එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින් ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

ඊට අමතරව ලොකු ලූණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් 7 කින්.

මේ අතර ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හමුවේ පිටකොටුව තොග වෙළඳපලේ අල, ලූණු, සීනි සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක තොග මිල අඩුවී තිබෙනවා.

ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 125ක් වන අතර, ළුෑණු කිලෝවක තොග මිල රුපියල් 94ක්.

එසේම පරිප්පු කිලෝවක තොග මිල 350 ක් වන අතර, සීනි කිලෝවක තොග මිල රුපියල් 180 ක් බවයි පිටකොටුව තොග වෙළඳුන් ප්‍රකාශ කළේ.

මේ අතර එළඹෙන උත්සව සමයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා වැටලීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයම ප්‍රධාන තොග අලෙවිසැල්, ගබඩා සහ සිල්ලර වෙළඳසැල් පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පාරිභෝගික කටයු පිළිබඳ අධිකාරියේ වැටලීම් අංශය සඳහන් කළේ.

උත්සව සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු අක්‍රමිකතා සිදුකරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.


දෑත් කපා රැගෙන ගිය සැකකරු අධිකරණයට භාරවෙයි

(24.03.2023 – 10:33 +0530 – hirunews.lk/sinhala)

මොරටුව -කොරළවැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද (24) උදෑසන මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණා.

පොලිස් කණ්ඩායමක්ද අධිකරණය ආසන්නයේ රැඳී සිටි නමුත්, නීතීඥයෙකු සමඟ මෝටර් රථයකින් පැමිණි සැකරකැ මෙලෙස අධිකරණයට භාර වූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

පසුගිය 21 වනදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුටයි. පහරකෑමෙන් දෑත් අහිමි වූ දෙදරු පියෙකු වන එම පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර ‘රවිඳු සංඛ ද සිල්වා’ හෙවත් ‘බූරුමූණා’ට කටුනායක ගුවන් තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් ශ්‍රමණවේශධාරීන් දෙදෙනා (2) ඇතුලු සැකකරුවන් අටදෙනා (8) මේ මස 31 වනදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ වෙත සැකකරුවන් අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

මේ අතර නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ බොරැල්ල – කුරුප්පු පාර ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී අද (24) විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

ඒ, නීතීඥ සාලිය පීරිස් අපරාධ රැසකට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන ‘මිදිගම චින්තක’ නොහොත් ‘හරක් කටා’ නැමැත්තාගේ නඩුවලට පෙනී සිටීමට විරෝධය පළ කරමින් ෴


හාලිඇළ සැඩපහරකට හසුවූ දරු දෙදෙනා (2) ගේ සිරුරු සොයාගැනේ

(24.03.2023 – 14:01 +0530 – hirunews.lk/sinhala)

හාලිඇළ – බෝගොඩ ගම්මානයේ සැඩපහරකට හසුව අතුරුදන්වූ දරුවන් දෙදෙනා (2) ගෙන් 10 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුරද අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා.

අද (24) අලුයම් කාලයේ අට (8) හැවිරිදි ඔහුගේ නැගණියගේ සිරුර ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියට මුහුණදුන් දරුවන් බෝගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර, ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ, කුළී වැඩට ගිය මව නිවසට පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් සිය මව සොයා ගිය දරුවන් මෙලෙස සැඩපහරට හසුව ඇති බවයි.

දරුවන්ගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන අතර, මව සමඟ දරුවන් දෙදෙනා (2) නිවසේ තනිව ජීවත්වී තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ සිට ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව සහ නාවික හමුදාව දරුවන් සොයා මෙහෙයුම් දියත් කළ අතර, දරුවන්ගේ මවද සිද්ධිය පිළිබඳව අදහස් පළ කළා.

+


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි – පොලිස්පති පුටුවට තවමත් නමක් නැහැ

(24.03.2023 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මෙතෙක් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නාමයෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලැබී නොමැති බව වාර්තා වනවා.

පොලිස්පතිවරයා හෙට (25) දිනයේ විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන්.

පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නාම යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතු වනවා.

අනතුරුවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී එම පුද්ගලයාගේ නම සඳහා අනුමැතිය ලබාදීම හෝ වෙනත් නමක් යෝජනා කර එවන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දීමක් සිදුකරනු ලබන්නේ.

පොලිස්පතිවරයා විශ්‍රාම යෑමත් සමඟ එම ධූරයට වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීම හෝ වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබාදෙනු ඇතැයි විවිධ වාර්තා පළ වුණා.

කෙසේ වෙතත්, පසුගිය සඳුඳා (20) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සිය විරෝධය පළ කර තිබෙනවා.

අරගලය පැවති සමයේ දී මෙන්ම මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනිබත් කිරීමේ සිද්ධීන්වල දී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙහිදී ඔවුන් නොසතුට පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

අද (24) පස්වරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා.

එහි දී ස්වාධීන කොමිෂන් සභා සඳහා ලැබුණු නාමයෝජනා පිළිබඳව සලකා බැලීමට නියමිත බවයි වාර්තාවන්නේ.

පසුගියදා ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට ඒ සඳහා අයදුම් කරන ලෙස දන්වමින් පුවත්පත් දැන්වීම් පළ කෙරුණා.

ඒ අනුව ලැබී ඇති අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අතුරින් සලකා බැලීම සඳහා අයදුම්පත් තෝරා ගැනීම අද (24) දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සිදුකරනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *