නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී

නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී


නීතිවිද්‍යාල විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීමේ ගැසට්ටුව වැඩි ඡන්දයෙන් පරදී

(21.03.2023 – 11:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පාර්ලිමෙන්තුවේ දී වැඩි ඡන්ද 112 කින් පරාජයට පත් වී තිබෙනවා.

ඊට පක්ෂව ලැබූණු ඡන්ද සංඛ්‍යාව 01 ක් වන අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 113 ක් ෴


නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(21.03.2023 – 11:13 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියක් (1,00,00,000) වටිනා අයිස් තොගයක් සමග ‘කැලුම් මංගල සිල්වා’ හෙවත් ‘මංගල’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රත්මලාන – ධර්මාරාම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලීසිය ඊයේ (20) සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන ‘ජූඩ් ප්‍රියන්ත’ යන අයගේ ගෝලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරු සතුව අයිස් ග්‍රෑම් 600 ක් තිබී ඇති අතර ඔහු ත්‍රිරෝද රථ රියදුරෙකු බව සඳහන් ෴

(21.03.2023 – 09:20 +0530 – sinhala.adaderana.lk)

විදේශගතව සිට රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන ‘රත්මලානේ දේවින්ද’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන හවුල්කාරියක් ලෙස සැලකෙන කාන්තාවක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ‘මොරටුවේ කුඩු රැජින’ ලෙස හැඳින්වෙන බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

මොරටුව පොලිස් වසමේ මොරටුවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී 49 හැවිරිදි එම සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී හෙරොයින් ග්‍රෑම් 05.250 ක්ද ඇය සන්තකයේ තිබී හමුවිය ෴


ටෙලිකොම් සමාගමේ රජයේ කොටස් අලෙවි කිරීම ගැන සේවක අප්‍රසාදය

(21.03.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් අලෙවි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණයට අප්‍රසාදය පළ කරන බව එහි සමගි සේවක සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික එදිරිබන්දු අද (21) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ රජය ගත් මෙම තීරණයට ටෙලිකොම් ආයතනයේ සේවකයින් දැඩි විරෝධය පළ කරන බවයි.

මේ අතර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ සතු සමාගම්වලට අමතරව, ලංකා හොස්පිටල්ස් සමාගමේ රජයේ සතු කොටස්වල හිමිකාරිත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

මෙම තීරණය අදාළ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට දැනුම් දී තිබුණේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින්.

ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින අතර ලංකා හොස්පිටල්ස් හි කොටස් ප්‍රාග්ධනයෙන් 51%ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතිනවා. ඉතිරි 2% කොටස් මහජන බැංකුව සතුයි.

+


ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය තරුණයින් 4 දෙනෙකු අතුරුදන්

(21.03.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය තරුණයින් 04 දෙනෙකු අද (21) උදෑසන දියේ ගිලි අතුරුදන්ව තිබෙනවා.

10 දෙනෙකුගෙන් යුත් තරුණයන් පිරිසක් මෙහි දියනෑමට පැමිණ ඇති අතර ඉන් 04 දෙනෙකු දියේ ගිලි අතුරුදන්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අතුරුදන්ව අත්තේ කල්මුණේ, කාත්නන්කුඩි සහ සයින්දමරුදු ප්‍රදේශවල පදිංචි 20 සහ 22 අතර වයසේ පසුවන තරුණයින් පිරිසක්.

අතුරුදන්වූ තරුණයින් සොයා මේ වන විට පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා ෴

වැල්ලවාය – ඇල්ලවල ඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තරුණයින් 04 දෙනාගෙන් එක් (01) අයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.

+

+


ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

(21.03.2023 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේකෂ්ව ශ්‍රී ලංකා රුපියලේ අගය යළි ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව, අද (21) ඩොලරයක විකුණුම් මිල දැක්වුණේ රුපියල් 334.93 ක් ලෙසයි.

එහි ගැණුම් මිල 316.84 ක් ලෙස දැක්වුණා.

ඊයේ (20) දිනයේ දී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.71 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ 349.87 ක් ලෙසයි ෴


ගුරු වෘත්තීය සමිති හෙට විරෝධතාවක?

(21.03.2023 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ගුරු වෘත්තීය සමිති නායකයින් සහ අධ්‍යාපන ලේකම් ගුරුමාරු මණ්ඩල නියෝජිතයින් අතර පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කරනවා.

ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුනොත් හෙට (22) දිනයේ දී ගුරුවරුන් කොළඹ දී විරෝධතාවක නිරත විමටයි ගුරු සංගම් තීරණය කර ඇත්තේ .

ජාතික පාසල් මාරු මණ්ඩලය අහෝසි කරන බවටත්, ගුරු මාරු වීම් සියල්ල අහෝසි කරන බවටත් ගෙන තිබූ නියෝගය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරන බවයි ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ.

+


විදේශ රැකියා ආයතනයක් ආරම්භ කිරීමට පැවති සීමා දැඩි වෙයි

(21.03.2023 – 13:55 +0530 – hirunews.lk/sinhala)

විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනුමත රැකියා ඒජන්සි ආයතනයක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍රයේ බැංකු ඇපකරය රුපියල් 7,50,000 සිට රුපියල් මිලියන 3 (3,000,000) දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම ඇපකරය දෙවන (2) වසරේ සිට රුපියල් මිලියන 5 (5,000,000) දක්වා ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ.

රැකියා ඒජන්සි සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සලකා, මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේ දී එහි ක්‍රියාකාරිත්වය දැඩි නියාමනයට ලක් කිරීමට ද පියවර ගන්නා බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ෴


ගුරු ස්ථාන මාරු වීම් අප්‍රේල් 17 සිට ක්‍රියාත්මක යි

(21.03.2023 – 16:46 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම පාසල්වල දස (10) අවුරුදු සහ වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව අප්‍රේල් 17 වනදා සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ, විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන්ගේ හැර අනෙකුත් ස්ථාන මාරු මෙලෙස ක්‍රියාත්මක වන බවයි ෴


විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කෙරෙයි

(21.03.2023 – 16:58 +0530 – hirunews.lk/sinhala)

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කළ ද විශ්වවිද්‍යාල විභාග පැවැත්වීමට තීරණය කර ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල ඉහළ දැමීම ආදී කරුණු පිළිබඳ සිය විරෝධය පළ කරමිනු යි දිවයින පුරා විවිධ වෘත්තිකයන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වුණේ.

කෙසේ වෙතත් උසස් පෙළ ප්‍රතිඵල පරීක්ෂාව සඳහා ගුරුවරුන් මෙන් ම විශ්වවිද්‍යාල ආචාර්‍යවරුන් ද තවමත් සිය කැමැත්ත පළ කර නෑ ෴


මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් දෙකක් (2)

(21.03.2023 – 17:15 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහි ව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් (2) ගොනු කළා.

ඒ, අධිකරණයට අපහාස කළේ යැයි තීන්දු කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින්.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අයවැයෙන් වෙන් කළ මුදල් රඳවාගැනීම වළක්වමින් මාර්තු 03 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගවලට අනුකූලව කටයුතු නො කිරීමෙන් ඔහු අධිකරණයට අපහාස කළ බවට පෙත්සම්වල සඳහන් වනවා.

මේ අතර, මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට බදු දීමට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනුකර තිබූ සංශෝධිත අධිචෝදනා පත්‍රයක් ආපසු හරවා යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ අද (21) නියෝග කළා.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට (3) එරෙහිවයි එහිදී චෝදනා ගොනුකර තිබුණේ.

කෙසේ වෙතත් සංශෝධිත අධිචෝදනා පත්‍රය ඉදිරි දිනයක් යොදා අත්සන් කර තිබීම හේතුවෙන් අධිකරණය මෙලෙස එය හරවා යැවූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴


IMF ණය මුදල ශ්‍රී ලංකාවට මැජික් උත්තරයක් (Silver Bullet) නො වන බවට මූඩි විශ්ලේෂකයෙකුගෙන් ප්‍රකාශයක්

(21.03.2023 – 18:08 +0530 – hirunews.lk/sinhala)

බහුපාර්ශ්වික සහ ගෝලීය මූල්‍ය ආයතනවලින් කොපමණ අරමුදල් ලැබුණත් ශ්‍රී ලංකාවට දුෂ්කර මාවතක් තිබෙන බව Moody’s Analytics හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක් අඟහරුවා දා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සඳුදා ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3 කට ආසන්න විස්තීරණ ණය මුදලක් අනුමත ක‍රනු ලැබුවා.

Moody’s Analytics හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Katrina El පවසන්නේ, නියත වශයෙන් ම මෙම ණය මුදල ශ්‍රී ලංකාව සිතන පරිදි අර්බුදයට මැජික් උත්තරයක් (Silver Bullet) නො වන බව යි.

ශ්‍රී ලංකාවට කෙතරම් අරමුදල් හෝ සහයෝගයන් ලබා දුන්න ද ශ්‍රී ලංකාවේ තත්ත්වය තවමත් දුෂ්කර මාර්ගයක් වනු ඇති බව මතක තබා ගත යුතු බවත් ඔහු අවධාරණය කරනවා ෴


බස් රථයක් හදිසියේ ගිනිගනී

(21.03.2023 – 10:37 +0530 – sinhala.adaderana.lk)

හොරණ – රත්නපුර මාර්ගයේ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද (21) අලුයම පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ගින්න හට ගැනීමත් සමගම එහි සිටි මගීන් පිටතට පැන දිවි බේරාගෙන තිබුණි.

රත්නපුර සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ බස්රථය හොරණ බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට බස් නැවතුමේ නවත්වා මගීන් රැගෙන යළි ගමන් ආරම්භ කිරීමත් සමගම බස් රථයේ ඉදිරිපස කොටස ගිනි ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

බස්රථයේ එම අවස්ථාවේ මගීන් හතළිහකට (40) අධික පිරිසක් සිට ඇති අතර කිසිවෙකුටත් එහිදී තුවාල සිදුවී නැත.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *