SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය


SLT ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට කැබිනට් අනුමැතිය

(20.03.2023 – 18:36 +0530 – hirunews.lk/sinhala)

රජය සතු ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) හී කොටස් විකිණීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

රජය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් හී කොටස් අයිතිය දරන්නේ, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් වන අතර, කොටස් විකිණීමේ ක්‍රියාවලිය, රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය හරහා ක්‍රියාත්මක වීමට නියමිත බව සඳහන්.

ඒ බව ශ්‍රී ලංකා ටෙලිකොම් හී ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් අද (20) කොළඹ කොටස් වෙළෙඳපොළට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ යි ක්‍රියාත්මක වන්නේ ෴


රජය සතු ‘ලංකා හොස්පිටල්ස්’ කොටස් විකිණීමට කැබිනට් අවසරය

(20.03.2023 – 18:53 +0530 – hirunews.lk/sinhala)

රජය සතු ‘ලංකා හොස්පිටල්ස්’ ආයතනයේ කොටස් විකුණා දැමීමට කැබිනට් අවසරය හිමි වූ බව වාර්තා වනවා.

ඒ අනුව Deloitte විගණන සහ බදු උපදේශන ආයතනය මඟින් මේ බව කොළඹ කොටස් නිකුතුවට දැනුම් දී ඇති බව යි වාර්තා වන්නේ ෴


බලධාරින්ගේ ඇස නො ගැටීමෙන් කැප්පෙටිපොළ ඉංග්‍රීසි බලකොටුව විනාශ මුඛයට

(20.03.2023 – 17:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටට විදේශ විනිමය උපයා දෙන මාර්ග අතරින් සංචාරක කර්මාන්තයට ලැබෙන්නේ ඉහළ ම ස්ථානයක්.

විදේශ විනිමය අර්බුදයක් පවතින මෙවන් යුගයක දී සංචාරක ආකර්ශනය බහුල වූ ස්ථානයක් අරාජිකත්වයට ගිය පුවතක් පිළිබඳ කැප්පෙටිපොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඉහළ සංචාරක ආකර්ශනයක් සහිත කැප්පෙටිපොළ ඉපැරණි ඉංග්‍රීසි බලකොටුවේ වර්තමාන තත්ත්වය පිළිබඳ ව යි එසේ වාර්තා වන්නේ.

බහුල ව දෙස් විදෙස් සංචාරකයන් ගමන් ගන්නා නුවරඑළිය – බදුල්ල මාර්ගයේ කැප්පෙටිපොළ නගරයේ මෙම බලකොටුව පිහිටා ඇති බව සඳහන්.

බලධාරින්ගේ නිසි අවධානය යොමු නො වීම හේතුවෙන් අද වන විට මෙම වටිනා ස්ථානය පාළු ස්වභාවයක් ගෙන ඇති බව යි අපට වාර්තා වන්නේ.

බලකොටුවක් ලෙස හැඳින්වුව ද මෙම ස්ථානය ඉංග්‍රීසින්ගේ අශ්වාරෝහක බලකාය ස්ථාපනය කර තිබූ අශ්වගාලක් ලෙස ද ඉතිහාසයේ සඳහන් වනවා.

ඌවේ විමුක්ති අරගළය මර්දනය කිරීම සඳහා එවකට ඉංග්‍රීසින්ගේ බදුලු දිසාපතිවරයා වූ ඩග්ලස් විල්සන් නමැත්තා විසින් 1818 දී යි මෙම බලකොටුව ඉදි කර ඇත්තේ.

දිගින් අඩි 90 ක් ද පළලින් අඩි 40 ක් හා උසින් අඩි 15 කින් ද යුක්ත වූ මෙම බලකොටුව අඩි 9 ක උසකින් යුතු ආරුක්කු හැඩැති දොරකින් ද අලංකාරවත් වනවා.

අද වන විට මෙම ස්ථානය ගැන සඳහන් නාම පුවරුව ද විනාශයට පත් වී ඇති ආකාරය දැක ගත හැකි අතර, මෙම ස්ථානය සංචාරකයන් කෙරෙහි ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු බලධාරියකු කටයුතු කර නැති බව ද අපට වාර්තා වනවා.

මෙවැනි වටිනා ස්ථානයක් බලධාරින්ගේ අවධානය යොමු නො වීම හේතුවෙන් මෙසේ අභාවයට යාම පිළිබඳ තමන් කනගාටුවට පත් වන බව යි ප්‍රදේශවාසින් ද අවධාරණය කරන්නේ ෴


මහ බැංකුව දිනකට රුපියල් බිලියන 113.5 ක් මුද්‍රණය කර ඇති බව උදය ගම්මන්පිල පවසයි

(20.03.2023 – 19:05 +0530 – hirunews.lk/sinhala)

රජය එක් (1) දිනකදී එනම් මාර්තු 15 වැනි දින රුපියල් බිලියන 113.5 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව රුපියල් බිලියන 113.5 කට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම, රජයට දිනකට රුපියල් බිලියන 113.5 ක මුදල් මුද්‍රණය කළ හැකි නම්, මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9 ක මුදල් මුද්‍රණය කළ නොහැකි යැයි ඔවුන් පවසන්නේ කෙසේද යන්න පිළිබඳව උදය ගම්මන්පිල වැඩිදුරටත් විමසනවා ෴

+

+


යළි ශක්තිමත් වෙන රුපියල – රාත්‍රියේ එන IMF තීන්දුව

(20.03.2023 – 20:28 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා.

ඒ අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.71 ක් ලෙස දැක්වුණු අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 349.87 ක් ලෙසයි.

මේ අතර මෙරට ඩොලර් අර්බුදය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම හිමි වීමෙන් පසු අවසන් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ක්ෂිංහුවා පුවත් සේවය ඔහු උපුටා දක්වමින් සඳහන් කර තිබුණේ, ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක මූල්‍ය පහසුකම සඳහා මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද (20) ලබාදීමට නියමිත බව යි.

එම මූල්‍ය පහසුකමත් සමඟ මෙරටට අත්‍යවශ්‍යය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත මෙරටට ලැබෙන බවයි මහබැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

එම ණය පහසුකම මෙරටට ලැබීමෙන් ආයෝජන අවස්ථා ඉහළ නංවා ගැනීමට සහ විදේශ අරමුදල් සඳහා ප්‍රවේශ වීමට අවස්ථාව සැළසෙන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ද බීබීසී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරටට ලැබීමට නියමිත මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී මාධ්‍යවේදිනිය ප්‍රශ්නකළේ ඉදිරියටත් බදු පැනවීම් ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නියමිත ව ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ආර්ථික ප්‍රතිසංස්කරණවල දරුණුම කොටස මේ වන විට අවසන් කර ඇති අතර දැඩි තීරණ බහුතරයක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවයි.

බදු තවදුරටත් ඉහළ නැංවීමක් සිදුනොකරන නමුත් බදු ජාලය පුළුල් කළ හැකි බවයි විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙරටට ලබාදෙනු ලබන විස්තීර්ණ ණය මුදල පිළිබඳ තීන්දු ගැනීම සඳහා එහි විධායක කමිටුව ඇමරිකානු වේලාවෙන් අද (20) රාත්‍රි 10 ට පමණ රැස්වන බවයි.

හෙට (21) උදෑසන 08:30 ට පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් දැනුම් දෙනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා ෴


දහඅටවංගුව යළි වැසේ

(20.03.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මහනුවර- මහියංගන මාර්ගයේ දහඅටවංගුව ප්‍රදේශය අද (20) පස්වරුවේ යළි වසා දැමුණා.

ඒ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව යි.

එම මාර්ගයේ දෙවන (2) වංගුව ආසන්නයේ තවදුරටත් ගල් පෙරළීමේ අවදානම සහ පවතින මීදුම් තත්ත්වය සළකා මාර්ගය මෙලෙස වසා දැමුණු අතර හෙට (21) උදෑසන 05 ට මාර්ගය විවෘත කරන බවයි මාර්ග සංවර්ධන අධිකාරිය කියා සිටියේ.

මේ අතර බණ්ඩාරවෙල – පූනාගල ප්‍රදේශයේ නායයෑම් තත්ත්වය සම්බන්ධයෙන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ කියා සිටියේ පුනාගල ප්‍රාථමික විද්‍යාලයේ රදවා සිටින නායයෑමෙන් අවතැන් වූ පවුල්වල පිරිස් මිරියබැද්ද රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කරන බවයි.

ඊයේ (19) රාත්‍රියේ පූනාගල වතුයායේ කබරගල සිදුවූ නායයෑමකින් නිවාස 3 ක් මුළුමනින්ම විනාශ වී තවත් නිවාස විස්සකට (20) අර්ධ හානි සිදු වුණා.

නායයෑමත් සමඟ දිය සීරාවට හසුව ගසාගෙන යෑමෙන් අනතුරුව මුදාගත් හත්දෙනෙකු (7) තුවාල ලබා මේ වනවිට කොස්ලන්ද සහ දියතලාව මුලික රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල – ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල ඇල්පිටිය, නාගොඩ, බද්දේගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, විල්ගමුව සහ නාඋල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නිකුත් කර ඇති නායයැම් අවදානම් නිවේදනය හෙට (21) රාත්‍රි 08:30 දක්වා බලපැවත්වෙන පරිදි නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ප්‍රකාශ කළා.

වැසි තත්ත්වයෙන් අඩුවීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමු, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික් වලත් ඇතැම් ස්ථාන වලට මිලිමිටර 50 ඉක්මවු තද වැසි ඇතිවිය හැකි බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ ෴

++++++++++

20-03-2023

15 වැනි ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු ඇරඹේ

(20.03.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

මෙරට 15 වන ජන හා නිවාස සංගණනයේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර සඳහන් කළා.

මේ වන විට සිතියම් සකස්කර අවසන් බවත්, ගොඩනැගිලි ලැයිස්තුගත කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

අවසන්වරට ජන හා නිවාස සංගණනයක් සිදු කරනු ලැබුවේ 2012 වසරේ දී වන අතර 2021 වසරේ යළි සංගණනයක් සිදු කිරීමට සැළසුම් කර තිබුණද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමුණා.

කෙසේ වෙතත් මෙවර සංගණනයේ දී වයස, සෞඛ්‍ය, රැකියාව, පදිංචිය ආදි තොරතුරු ලබාගැනීමට නියමිත බවයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර කුමාර කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *