සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි


සංඝරත්නයට ඉතිහාසයෙන් ම පැවරුණු වගකීමක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

(20.03.2023 – 13:47 +0530 – hirunews.lk/sinhala)

රට බේරා ගැනීම සඳහා ඉතිහාසය විසින් මහා සංඝරත්නයට පැවරූ කාර්යය ඉටුකිරීමට සූදානම් බව පැපිලියාන ශ්‍රී සුනේත්‍රාදේවි පිරිවෙන් රජමහා විහාරයේ විහාරාධිපති, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ අදහස් පළකළේ, බණ්ඩාරගම කිඳෙල්පිටියේ පැවති උත්සවයක් අමතමින්.

+


ඇප මුදල් භාර නොගන්නැයි කියූ හපුහින්න ජනාධිපති කාර්යාලයට

(20.03.2023 – 13:15 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න එම ධුරයෙන් ඉවත්කර ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ධුරය සඳහා අනුයුක්ත කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමක දී ලේකම්වරයා සඳහන් කළේ තමන් අද (20) පෙරවරුවේ සිදුකළ කැඳවීමකට අනුව ජනාධිපති කාර්යාලය වෙත ගිය බවයි.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාර නොගන්නැයි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ලෙස සිටිය දී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත ලබාදුන් නියෝගයක් හේතුවෙන් ඔහු පිළිබඳ ඇතිවූයේ දැඩි කතාබහක්.

පසුව ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසම වෙතද කැඳවනු ලැබුවා.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ කැබිනට් මණ්ඩල තීරණයක් අනුව තමන් අදාළ ලිපිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත යොමුකළ බවයි ෴


ගැටුමක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක්

(20.03.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

අඹුසැමි අර්බුදයක් විසඳීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට මඩකලපුව – කාත්තන්කුඩි – ආරියම්පති ප්‍රදේශයේ දී ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ඉන් පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු (2) තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරීන් ආරියම්පති ප්‍රදේශයේ නිවසකට ගොස් පැමිණිල්ල විභාග කිරීම ආරම්භ කර තිබෙනවා.

එහිදී එම නිවසේ සිටි පිරිමි පුද්ගලයා පහරදීම සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ ඔහු යුද සමයේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු බවයි ෴


නිසි මිලක් නැතිව වේලෙන ගොවීන්

(20.03.2023 – 13:54 +0530 – hirunews.lk/sinhala)

සිය වී අස්වනු සඳහා නිසි මිලක් නොමැති බව පවසනමින් ප්‍රදේශ රැසක ගොවීන් මැසිවිලි නගනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, මෙවැනි තත්ත්වයන් යටතේ තවදුරටත් වී ගොවිතැන පවත්වාගෙන යාම ඉතා අසීරු කටයුත්තක් බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, දිසාව ප්‍රදේශයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

නමුත් ගොවීන් පවසන්නේ, නෙළා ගත් වී අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීමෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි.

වී සඳහා දැනට පවතින රුපියල් 100 ක සහතික මිලට වී කිලෝවක් අලෙවි කිරීමෙන් තමන්ට කිසිදු ලාභයක් හිමි නොවන බවයි.

පොළොන්නරුව මොරගහකන්ද මහවැලි කලාපයේ ගොවීන්ද මහ කන්නය සඳහා වගා කළ වී අස්වනු නෙළීම මේ වනවිට අරඹා තිබෙනවා.

නමුත්, අස්වනු නෙලීමට යොදාගැනෙන යන්ත්‍ර සූත්‍ර සඳහා වැය වන මිල ඉතා අධික වීමත් නෙලාගත් අස්වැන්න නිසි මිලකට විකුණාගැනීමට නොහැකිවීමත් නිසා ඔවුන් පත්ව සිටින්නේ දැඩි පීඩාවකටයි.

ප්‍රදේශයේ මහා පරිමාණ වී මෝල් හිමියන් තම අස්වැන්න අඩු මිලට ගන්නා බවට ද ගොවීන් චෝදනා කරනවා.

මේ අතර තිරප්පනේ, සිවලාකුලම තාඹරකුලම යන ගම්මානවලට නිරතුරුවම සිදුවන වන අලි තර්ජන හේතුවෙන් ගොවිතැන් ආරක්ෂා කරගත නොහැකි වී තිබෙනවා.

ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සළසා දී තම වගාවන් ආරක්ෂා කර ගැනීමට වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

+


ගාල්ලේ නිල් පොකුණේ ගිලී ළමයෙකු ජීවිතක්ෂයට

(20.03.2023 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පිහිටි නිල් පොකුණේ දිය නෑමට ගොස් වයස අවුරුදු 10 ක කුඩා ළමයකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴


බූරු මූණා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(20.03.2023 – 14:21 +0530 – hirunews.lk/sinhala)

‘රවිඳු සංඛ’ හෙවත් ‘බූරු මූණා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

මීට පෙර සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු අවි ආයුධ ජාවාරමක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණ කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් ද වැඩිදුර විමර්ශන සිදුකරන බවයි බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ පියා ගොනුකර තිබූ පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ අනුව, එම විරෝධතා අප්‍රේල් මස 04 වැනිදාට පෙර ගොනු කරන ලෙසයි අධිකරණය නීතිපතිවරයාට දැනුම් දී ඇත්තේ ෴


මෙරට සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක පෝෂණ වැඩසටහන ගැන ඇමරිකාවෙන් පැහැදිළි කිරීමක්

(20.03.2023 – 14:27 +0530 – hirunews.lk/sinhala)

පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2021 වසරේ සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක හතක සිසු සිසුවියන් 95,000 ක් වෙත අතිරේක ප්‍රෝටීන් පෝෂණ ලබා දී ඇති බව මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චංග් පවසනවා.

මෙම වැඩසටහන යටතේ සහල්, එළවළු තෙල්, කහ පරිප්පු, ඇලස්කන් රෝස සැමන් ලබා දීමට කටයුතු කළ බවට ගුරුආරගම ප්‍රාථමික විද්‍යාලයේ සංචාරයකට එක්වූ අවස්ථාවේ ජූලි චංග් ප්‍රකාශ කළ බවයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙරට සිසුන්ගේ සාක්ෂරතාව ඇතුළු අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් කොරෝනා වසංගත සමයේ ඩොලර් මිලියන 27.5 ක වියදමින් ආරම්භ කෙරුණු ආහාර තොග සැපයීම මෙම වසරේ දී සම්පූර්ණ කිරීමට නියමිතයි ෴


අලි අගල් කැපීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(20.03.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

වනජීවී සංරක්ෂණ කලාපවල අලි ඇතුන් ගම් වැදීම වැළැක්වීම සඳහා අලි අගල් කැපීමට හිටපු වනජීවී අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ, එස්. තුරෙයිරාජා, ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේයි.

එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අලි අගල් කැපීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බව පෙන්වා දුන්නා.

මෙම අගල් කැපීම නිසා කුඩා සතුන්ට, ශාඛවලට මෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට ද දැඩි හානි සිදු වන බවයි නීතිඥවරයා සඳහන් කළේ.

මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සැප්තැම්බර් මස 22 වැනිදා පෙත්සම විභාගයට ගැනීමටයි නියෝග කළේ ෴


OnmaxDT ඇතුළු පිරමීඩ ක්‍රම 3 කට අපරාධ චෝදනා?

(20.03.2023 – 17:02 +0530 – hirunews.lk/sinhala)

1988 අංක 30 දරන බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් ‘පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම’ ක්‍රියාත්මක වන බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබී තිබෙනවා.

ඒ අනුව ආයතනය තුනක (3) ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බැංකුව මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු බව යි වාර්තා වන්නේ.

එම ආයතනය තුන (3) විසින්, ඉහත සඳහන් කළ වගන්තිය උල්ලංඝනය කර ඇති ද යන්න විමර්ශනය කිරීම එහි අරමුණ වී තිබුණු බව සඳහන්.

ඒ අනුව,

• Fast 3Cycle International (Pvt)Ltd(F3C)
• Sport Chain App,Sports Chain ZS Society Sri Lanka
• OnmaxDT යන ආයතනය අරභයා ඉහත විමර්ශනය සිදු වී තිබෙනවා.

විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, ඉහත සඳහන් ආයතන තුන (3) සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියා කර ඇති බව යි.

ඒ අනුව බැංකු පනතේ 83ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට සලකා බලනු පිණිස ඉහත විමර්ශන ප්‍රතිඵල නීතිපතිවරයා වෙත යොමු කෙරෙනු ඇති ෴


වරාය නගර සාදයේ දී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 03 දෙනා රිමාන්ඩ්

(20.03.2023 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වරාය නගරයේ පැවැත්වූ සාදයක් අතරතුර තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 03 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (20) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 18 වැනිදා අලුයම මෙලෙස ඝාතනය කර තිබුණේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි, 23 හැවිරිදි තරුණයෙක්.

ඔහුගේ පෙම්වතිය මීට පෙර පෙම් සබඳතාවක් පැවැත්වූ පුද්ගලයා විසින් අදාළ ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වුණා.

අදාළ සාදයේ දී සැකකරු මීට පෙර පෙම් සබඳතාව පැවත්වූ තරුණිය ඝාතනයට ලක්වූ තරුණයා සමඟ සිටිනු දැක තිබෙනවා.

එම අවස්ථාවේ , කෝපයට පත්ව ඔහු මෙම පහර දීම සිදු කර ඇති බව සදහන්.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන් පහරදීම සඳහා සහය වී ඇති අතර පහරකෑමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණයා එහිදී ජීවිතක්ෂයට පත්වුණා.

පහර දීම සිදුකළ සැකකරු කොළඹ – වරාය පොලිය විසින් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා ෴


‘හරක් කටා’ සහ ‘කුඩු සලිදු’ ගේ දෙමව්පියන් ඉදිරිපත් කළ පෙත්සම් සඳහා සීමිත විරෝධතා ගොනු කිරීමට නීතිපතිට අවසර

(20.03.2023 – 17:42 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක් කටා’ සහ ‘සලිදු මල්ශික’ හෙවත් ‘කුඩු සලිදු’ යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාලව අප්‍රේල් මස 04 වැනිදා ට පෙර සීමිත විරෝධතා ගොනු කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ, මෙම පෙත්සම අද (20) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා (2) රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බව දැනුම් දුන්නා.

එම සැකකරුවන් දෙදෙනා (2) කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

මෙම අවස්ථාවේ දී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන තම සේවාදායකයින් ගේ ජීවිත ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව දන්වා සිටියා.

‘කුඩු සලිදු’ නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘මාකඳුරේ මධුෂ්’ නමැති සැකකරු රැඳවුම් නියෝග අවසන් වී දින දෙකකින් (2) පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේ දී වෙඩි තබා මරා දැමු බව පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් අවි ආයුධ රැස් කොට වෙඩික්කරුවන් යොදා ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම් ඇතුළු අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා එල්ල වී තිබෙන බව ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයේ සඳහන් වන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ සැකකරුවකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකිරීම විමතිය දනවන කරුණක් බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි කියා සිටියා.

‘හරක් කටා’ නැමති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙන බව සඳහන් කළා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනු කර තිබෙන හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම අවස්ථාවේ දී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්වලට අදාල සීමිත විරෝධතා අප්‍රේල් මස 04 වැනිදාට පෙර ගොනුකරන ලෙසයි අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *