ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට

(20.03.2023 – 07:47 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු (3) මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා නොදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයකට අදාළවයි.

අදාළ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මුල්‍ය බලයට හානි සිදුවන බවයි ඔහු සඳහන් කර තිබුණේ.

ඒ අනුව අදාළ අතුරුතහනම් නියෝගය ලබාදුන් ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන් ෴


මේ මස 30 වනදා සිට දීපව්‍යාප්තව සෑම පාසලකම 1 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි කථනය ඇරඹේ

(20.03.2023 – 07:49 +0530 – hirunews.lk/sinhala)

මේ මස 30 වනදා සිට සෑම පාසලකම 1 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි කථනය විෂයක් ලෙස දීපව්‍යාප්තව ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඊයේ (19) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු විෂය නිර්දේශ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටියා ෴


18 වංගුව මාර්ගය තවදුරටත් වැසේ

(20.03.2023 – 07:51 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 50 කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසිත් සමඟ සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

මේ අතර බණ්ඩාරවෙල – පූනාගල – හබරගල වත්තේ වතු නිවාස පෙළක් ඊයේ (19) නායයෑමට ලක්වීමෙන් එහි ජීවත්වූ හත්දෙනෙකු (7) තුවාල ලබා සිටියදී රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රදේශයට රාත්‍රියේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ නායයෑම සිදුව ඇති බවත්, තුවාලකරුවන්ගෙන් හතරදෙනෙකු (4) දියතලාව මූලික රෝහලට සහ තවත් තුන්දෙනෙකු (3) කොස්ලන්ද රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

නායයෑම සිදුවීමෙන් පසු පවුල් 60 ක පුද්ගලයින් 200 දෙනෙකු පමණ පූනාගල පාසලේ කඳවුරක නවතා තිබෙනවා.

නායයෑමට ලක්වූ ප්‍රදේශයට පවතින අධික වර්ෂාව සහ මීදුම නිසා සහන කණ්ඩායම්වලට එම ස්ථානයට ළඟාවීමට නොහැකිවී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම බදුල්ල – හල්දමුල්ල සහ මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

මේ අතර ගල් සහ පස් කඳු කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මහනුවර – මහියංගණ ප්‍රධාන මාර්ගයේ 18 වංගුව තවදුරටත් වසා තැබෙන බව පොලිසිය සඳහන් කළා.

එම මාර්ගයේ දෙවන (2) වංගුව ආසන්නයේ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ඊයේ (19) පස්වරුවේ සිට වසා දැමීමටයි පියවර ගැනුනේ ෴


පොතුහර වෙඩි වැදීමකින් මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්

(20.03.2023 – 07:53 +0530 – hirunews.lk/sinhala)

පොතුහැර කන්දෙවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස වෙඩි වැදී මියගොස් සිටියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඊයේ (19) මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කහවත්ත පනාපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මීට දින පහකට (5) පෙර මොරගොල්ල වත්ත නැමති ඉඩමේ කම්කරුවෙකු ලෙස මොහු සේවයට පැමිණ ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

මරණකරු ඊට යාබද කන්දෙවත්ත නැමති ඉඩමේ කැලෑබද ප්‍රදේශයක විදේශ රටක නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් මත තුවාල සහිතව මුණින් අතට වැටී තිබියදී සොයාගෙන ඇති අතර, ඔහු ආසන්නයේම මියගිය ඉත්තෑවෙකුගේ මළ සිරුරක් ද දක්නට ලැබුණු බවයි පොලිසිය සඳහන් කළේ ෴


පනාගොඩ කඳවුරේ සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට HIV

(20.03.2023 – 08:18 +0530 – hirunews.lk/sinhala)

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුර කුටියකින් ගිනි අවියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු දීර්ඝ කාලීන HIV ආසාදිතයෙකු බවට හෙළි වී තිබෙනවා.

ගොඩගම ඛෙත්තාරාම විහාරාධිපති මාලඹේ සීලරතන හිමියන් සමඟයි මෙම සැකකරු අත්අඩංගුවට ගැනුණේ.

මෙම සොරකමට ආධාර අනුබල දුන් සාජන් මේජර්වරයා සීලරතන හිමියන් සමඟ ද සමීප මිත්‍රත්වයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගැනුණු සැකකරු එච්.අයි.වී ආසාදිතයෙකු බව හෙළි වීමෙන් අනතුරුව ඔහු හා සබඳතා පැවැත්වූ සෙසු පිරිස් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට මේ වනවිට සෞඛ්‍ය නිලධාරින් කටයුතු කරනවා ෴


ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ‘දහඅටවංගුව’ නිරීක්ෂණය කරයි

(20.03.2023 – 09:13 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ ‘දහඅටවංගුවේ’ ගල් පෙරළීමේ අවදානමක් සහිත ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ‘ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ’ පිරිසක් අද (20) එම ස්ථානයට ගොස් තිබෙනවා.

‘දහඅටවංගුවේ’ දෙවන (2) වංගුවට ඊයේ (19) පස්වරුවේ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වූ අතර, නායගොස් ඇති කොටසේ ඉහලින් පිහිටා ඇති ඉතා විශාල ගලක් පහළට වැටීමේ අවදානමක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.

මේ අතර ගතවූ පැය විසි හතරේ (24) වැඩිම වර්ෂාපතනය මහ ඉලුප්පල්ලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර 116.6 ක් ෴


ඩොලරයට සාපේක්ෂව ගතවූ සතියේ ශ්‍රී ලංකා රුපියල 7.8% කින් අතිප්‍රමාණ වෙයි

(20.03.2023 – 09:50 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 17 දක්වා ගතවූ සතිය තුළ ඇමරිකානු ඩොලරයට සහ ඉන්දිය රුපියලට සාපේක්ෂව රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

ඩොලරයට සාපේක්ෂව 7.8% කින් රුපියල අතිප්‍රමාණය වී ඇති අතර, ඉන්දීය රුපියලට සාපේක්ෂව 7.6% කින් අතිප්‍රමාණ වී ඇති බවයි මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ යුරෝ සහ ස්ටර්ලිං පවුමට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබෙනවා.

ඒ පිළිවෙලින් සියයට 8.3% ක්, 7% ක් සහ 8% ක් ලෙසටයි ෴


‘රේඩ් ඇමසෝන්’ පළමු කණ්ඩායම ප්‍රංශයේ සිට දිවයිනට

(20.03.2023 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ කාන්තාවක් පමණක් සහභාගිවන ත්‍රාජසනක සහ අභියෝගාත්මක ‘රේඩ් ඇමසෝන්’ ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා ප්‍රංශ තරුණ ක්‍රීඩිකාවන් 250 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ පළමු පිරිස අද (20) දිවයිනට පැමිණියා.

මොවුන් පැරිස් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 564 දරණ යානයෙන් අලුයම 05:15 ට දිවයිනට පැමිණි බවයි කටුනායක ගුවන් තොටුපල ‘හිරු වාර්තාකරු’ සඳහන් කළේ.

මෙම පිරිස පිළිගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් පිරිසක් ද එක්ව ඇති බව සඳහන්.

ත්‍රාසජනක ක්‍රීඩාවලින් සමන්විත මෙම තරගාවලිය අද (20) සිට ලබන 28 වැනිදා දක්වා මහනුවර කේන්ද්‍ර කරගනිමින් අදියර කිහිපයක් යටතේ පැවැත්වීමට නියමිතයි.

ඊට දිවීම, ඔරු පැදීම, බයිසිකල් පැදීම, රළු මාවත් හරහා පයින් යාම වැනි ක්‍රීඩා ද ඇතුළත්.

‘රේඩ් ඇමර්සෝන්’ යනු ප්‍රංශයේ ආරම්භ වූ ජනප්‍රිය ත්‍රාසජනක ක්‍රීඩා තරඟ මාලාවක් ෴


පූනගල නායයෑමෙන් නිවාස විස්සකට (20) අර්ධ හානි

(20.03.2023 – 10:23 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල – පූනගල වතුයායේ සිදුවූ නායයෑමෙන් නිවාස විස්සකට (20) අර්ධ හානි සහ තවත් නිවාස 3 ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නායයෑම හේතුවෙන් නිවාස 23 ක පවුල් 62 ක් ඉන් ඉවත් කළ බවයි.

මුදාගත් 220 දෙනෙකු පූනගල පාසලේ රඳවා සිටිනවා.

එමෙන්ම ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් දැනට වසා දමා ඇති දහඅටවංගුව මාර්ගය අද (20) උදෑසන අධ්‍යයනයකින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ස්ථානය නිරීක්ෂණය කරන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළා.

ගල් පෙරළීමේ අවදානම සහිත ප්‍රදේශය නැරඹීමට යාමෙන් වළකින ලෙසට ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴


තම නැගණිය ගැබිනියක් කළ අයියා දින 14 කට හිරේ !

(20.03.2023 – 10:51 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක් ව ඇයගේ ම වැඩිමහල් සොහොයුරා විසින් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත අදාළ සැකකාර සොහොයුරා දින 14 කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම නියෝගය මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (19) දිනයේ දී ලබාදෙනු ලැබුවා.

වයස අවුරුදු 22 ක් වූ මෙම සැකකාර තැනැත්තා විසින් 18 හැවිරිදි තම නැගණිය ගැබිනියක් කර පසුව දරුගැබ විනාශ කිරීමට යාපනය අච්චුවේලී රෝහලට ගිය අවස්ථාවේදියි වෛද්‍යවරු විසින් ඒ බව පොලිසිය දැනුම්දී ඇත්තේ.

රෝහල් පොලිසිය විසින් සැකකරුව අත් අඩංගුවට ගෙන අච්චුවේලී පොලිසියට භාර දෙනු ලැබුවා.

දැරියව පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා ෴


ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ‘විශේෂ බෞද්ධ චාරිකා දුම්රිය සේවාව’ යළි ආරම්භ කරයි

(20.03.2023 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලෝක බෞද්ධ ප්‍රජාවගේ ගමන් පහසුව උදෙසා ඉන්දියාවේ හා නේපාලයේ පුරා ඇති බෞද්ධ ආගමික ස්ථාන සඳහා වන විශේෂ බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය, සුවිශේෂී නවීකරණ අංග රැසක් සමගින් යළි ආරම්භ කර තිබෙනවා.

‘මහා පරිනිර්වාණ දුම්රිය’ ලෙස මෙම දුම්රිය නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම දුම්රිය ගමන 2019 දී පළමුවරට ආරම්භ වූ අතර කොවිඩ් වසංගතයෙන් පසු මේ වසරේ මාර්තු 11 වැනිදා සිට බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය යළි ක්‍රියාත්මක කෙරෙනවා.

ඉන්දියාව සහ නේපාලය පුරා පැතිරී ඇති, සියලු වැදගත් බෞද්ධ ගමනාන්තයන් තමන් විසින්ම ආවරණය කිරීම දුෂ්කර කාර්යයක් විය හැකි නමුත්, මෙම දුම්රිය මගින්, මගීන්ට මෙම පුදබිම් වෙත පහසුවෙන් ළඟා විය හැකි පරිදි පහසුකම් සලසා තිබීම විශේෂත්වයක්.

නවදිල්ලියේ සෆ්දර්ජුං දුම්රිය ස්ථානයෙන් මෙම දුම්රිය ගමන් ආරම්භ කරනවා.

මෙම බෞද්ධ චාරිකා සංචාරක දුම්රිය බුද්ධගයාව, රාජ්ගීර් (රාජගහනුවර) සහ නාලන්දා, වාරානාසි (බරණැස), සාරානාත්, ලුම්බිණි, කුෂිනගර් (කුසිනාරානුවර), ශ්‍රාවස්ති (සැවැත්නුවර) සහ අග්‍රා යන ඓතිහාසික ස්ථාන ආවරණය කර නැවත නවදිල්ලි සෆ්දර්ජුං දුම්රිය ස්ථානයට ළඟා වෙනවා.

බෞද්ධ සංචාරක දුම්රිය බුදුන් වහන්සේගේ ජීවිතයට හා ඉගැන්වීම්වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ සියලුම ස්ථාන ආවරණය කිරීම විශේෂත්වයක්.

චාරිකාව සදහා සැළසුම් කර ඇති කාලය දින 08 ක්.

නවදිල්ලියෙන් දුම්රිය ගමන් අරඹන්නේ පස්වරු 02:30 ටයි.

ඔබ සංචාරය කරන සෑම නගරයකම තරු පන්තියේ හෝටල්වල ඔබට නවාතැන් හිමිවන අතර බෞද්ධ සංචාරක දුම්රිය ගමන අතරතුර සියලුම ආහාර පාන සපයනු ලබනවා.

https://www.irctcbuddhisttrain.com/ යන වෙබ් අඩවිය ඔස්සේ වට්ටම් සහිතව ඔබටත් දැන්ම ඔබේ සංචාරය වෙන් කරවා ගත හැකියි.

මෙම දුම්රියේ සංචාරය කරමින් අද්විතීය අත්දැකීමක් ලබමින් බෞද්ධ වන්දනීය ස්ථාන දැක නරඹා පහන් සිත් ඇතිකර ගැනිමට අවස්ථාව පවතිනවා ෴


නිවසෙන් පහළට මොටෝරිය පෙරළීමෙන් ගුරුවරයෙක් මරුට

(20.03.2023 – 12:16 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – පස්සර ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදුව එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ මෝටර් රථයක් බවයි පොලිසිය පැවසුවේ.

අනතුර අද (20) පෙරවරුවේ 07:30 ට පමණ සිදුව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මඩොල්සිම විද්‍යාලයේ සේවය කළ 34 හැවිරිදි ගුරුවරයෙක්.

ගුරුවරයාගේ නිවස ද පිහිටා ඇත්තේ අනතුර සිදු වූ ස්ථානයට ඉහළින් වන අතර, නිවසෙහි සිට මෝටර් රථය මාර්ගයට ගැනීමට උත්සාහ කිරීමේ දී එය පෙරළී අඩි 60 ක් පහතින් පිහිටි මාර්ගය මතට වැටී තිබෙනවා.

එමෙන්ම මෙම අනතුර සිදු වූ ස්ථානයේ දී ම එනම් 2021 වර්ෂයේ දී ද බස් රථයක් පෙරළී පුද්ගලයින් 14 දෙනෙකුට දිවි අහිමි වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *